
ඔහු නමින් අරුණ ශාන්ත. ජාතික පුවත්පතක් සමග ප්‍රථම වතාවට සම්මුඛ සාකච්ඡාවකට එක්වන අරුණ, ‘මව්රට’ ‘හාට්’ සමග දොඩමලු වුණේ මේ විදියටයි.
මේ දවස්වල ගොන් බන්නා ගැන හැමෝම හොයනවා නේද?
ඔව්. තාම ගොඩක් අයට හිතාගන්න බෑ ගොන් බන්නා චරිතය නිරූපණය කරන්නේ කවුද කියලා.
ඉතින් අරුණ ‘ගොන් බන්නා’ට ලැබෙන මේ ප්‍රේක්ෂක ප්‍රතිචාර ගැන මොකද හිතන්නේ?
ගොඩක් සතුටුයි. මේ දවස්වල ජාතික රූපවාහිනියේ විකාශය වන ‘මුරුගසන් වරුසාව’ ටෙලි නාට්‍යය ගොඩ දෙනෙක් නරඹනවා. හැබැයි ඉතින් ඒ බලන අයට ලොකු ගැටලුවක් වෙලා තියෙනවා ගොන් බන්නා චරිතය රඟපාන කෙනාව හඳුනගන්න බැරි නිසා. මොකද මගේ ස්වරූපය සම්පූර්ණයෙන්ම වේශ නිරූපණයෙන් වෙනස් කරලා තියෙන්නේ. ටෙලිනාට්‍යයේ වේශ නිරූපණ ශිල්පී තරිඳු පතිරණ ගොඩක් මහන්සි වෙනවා මගේ ස්වරූපය වෙනස් කරන්න. මාව චරිතයට ගැළපෙන විදියට වේශ නිරූපණය කරන්න ඔහුට පැය එකහමාරක් විතර ගතවෙනවා.
‘ගොන් බන්නා’ චරිතයට මේ තරම් ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙන්න හේතුව මොකක්ද?
මම නළුවෙක් වෙන්න පොඩි කාලේ ඉඳලා උත්සාහ කළා. පසුව මම අධ්‍යාපන කටයුතු අවසන් කරලා රංගනය හදාරන්න සුදුසු පාසලක් හෙව්වා. ඔය විදියට කුමුදු නිශාන්ත අයියාගේ රංගන පාසලට සම්බන්ධ වුණා. ඒ අතරතුර තමයි ‘මුරුගසන් වරුසාව’ ටෙලිනාට්‍යයේ සංඛ වීරසිංහ අයියා මාව ගොන් බන්නා චරිතයට තෝරාගත්තේ. සංඛ වීරසිංහ අයියාට මම ස්තුතිය පුදකරනවා මේ චරිතයට මාව තෝරා ගැනීම ගැන. ඒ වගේම ටෙලි නාට්‍යයේ සියලු දෙනාගෙන් මට ලොකු සහායක් ලැබුණා. මම ආධුනික ශිල්පියෙක් කියලා මාව අයින් කළේ නැහැ. ඒ සියලු දෙනාගෙන්ම ලැබුණු ආශීර්වාදය ගොන් බන්නා චරිතය සාර්ථක කරගන්න හේතුවක් වුණා.
මේ, අරුණගේ කුලුඳුල් ටෙලි අත්දැකීමද?
ඔව්. මම පළමු වතාවට තමයි ටෙලිනාට්‍යයක මේ විදියට රඟපාන්නේ. මේ ටෙලිනාට්‍යයේ වැඩකටයුතු අවසන් වෙනකම් වෙන නිර්මාණයකට සම්බන්ධ වෙන්න අදහසක් නැහැ. මොකද මම තවම ගොන් බන්නා තුළ ජීවත් වෙන නිසා.
මේ චරිතයට ජීවය දෙන්න අරුණ මොන වගේ කැපකිරීමක්ද කළේ?
අඩු මානසික මට්ටමක් සහිත පුද්ගලයෙක් තමයි ගොන් බන්නා කියන්නේ. ඔහුගේ ජීවිතය වැඩිපුරම ගතකරන්නේ හරක් සමග. සමාජයේ මේ වගේ චරිත මම ඕනෑ තරම් දැකලා තියෙනවා. මගේ ගම් පළාත පොළොන්නරුව. මම සමාජයේ දැකපු චරිත සහ ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂතුමාගේ උපදෙසුත් අරගෙන මේ චරිතයට උපරිම සාධාරණයක් මම කරනවා. ඒ වගේම මේ චරිතය වෙනුවෙන් මම උපරිම මහන්සි වෙනවා.
වසන්ත විතාරණගේ
