රඟපෑම ගැන ආයෙත් හිතන්නේ නැහැ - ජානකී විජේරත්න

gossiplanka image 1
ලාංකීය සිනමාවට ගුණාත්මක සහ ප්‍රමිතියෙන් යුතු සිනමා නිර්මාණ බිහිවෙමින් තියෙනවා. මේ දිනවල තිරගත වන දේවි කුසුමාසන කියන්නෙත් නවීන තාක්ෂණික ක්‍රම භාවිත කරමින් ඉහළ ප්‍රමිතියෙන් යුතුව අධික පිරිවැයක් දරලා කරපු නිෂ්පාදනයක්. මේ චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ ලයිකා සමාගම මඟින් මෙවැනි වැඩි පිරිවැයක් දරලා චිත්‍රපට කරලා ලාභ ලබන්න පුළුවන් ද ඒ ගැන වගේම ලයිකා ප්‍රඩක්ෂන් හි ඉදිරි නිර්මාණ ගැන අපි කතා කළේ Lyca Productions & EAP films and theaters හි උපසභාපතිනි ජානකී විජේරත්න සමඟ


ලයිකා සමාගම තුළ ඔබේ භූමිකාව එක්ක ඔබට තියෙන කාර්යභාරය මොකක් ද?


ලයිකා ප්‍රඩක්ෂන් කියන්නේ ඉන්දියාවේ දැවැන්ත චිත්‍රපට නිෂ්පාදන ආයතනයක්. ඒ නිසා මට ඕනේ වුණා ඒ ලයිකා කියන සන්නාමය ලංකාවට ගෙනත් ලංකාව තුළත් ලයිකා ප්‍රඩක්ෂන් සන්නාමය යටතේ හොඳ ප්‍රමිතියෙන් යුතු චිත්‍රපට නිෂ්පාදනය කරන්න. මම මූලික වෙලා ඒ යෝජනාව ලයිකා සමාගමට ඉදිරිපත් කරලා ලංකාවට ගත්තා. ඒ නිසා මේ වෙද්දී ලයිකා ප්‍රඩක්ෂන් සන්නාමය යටතේ ලංකාවේ නිර්මාණය වන සියලුම නිර්මාණ සිදු වෙන්නේ මගේ යටතේ. මේ වෙද්දී මම ලයිකා සමගාමේ ලංකාවේ Lyca Productions & EAP films and theaters හි උපසභාපතිනිය විදිහට ඒ යටතේ තියෙන වගකීම් එක්ක තමයි මගේ වෘත්තිමය භූමිකාව සැකසිලා තියෙන්නේ.


ලයිකා ප්‍රඩක්ෂන් සන්නාමය යටතේ නිර්මාණය වුණු පළමු නිර්මාණය වන රාණි ගැන මතක් කළොත්?


රාණි කියන්නේ අපේ නිෂ්පාදන ආයතනයෙන් මගේ යටතේ නිර්මාණය වුණු පළමු චිත්‍රපටය. ඇත්තෙන්ම සතුටු වෙන්න පුළුවන් නිෂ්පාදන ආයතනයක් විදිහට අපි ලබපු සාර්ථකත්වය ගැන. රාණි චිත්‍රපටය එක්කම සිනමා කර්මාන්තය තුළ නැවුම් පිබිදීමක් ඇති වුණා. සම්මානනීය අධ්‍යක්ෂ අසෝක හඳගම මහතා රාණි චිත්‍රපටය ඉතාම ලස්සනට අපිට නිර්මාණය කර දුන්නා. ඒ එක්කම එහි රඟපෑ ශිල්පීන් අතර ප්‍රවීණ රූපණවේදීන් වන ස්වර්ණා මල්ලවආරච්චි, සනත් ගුණතිලක හිටියා, ඒ අතර වත්මන් පරපුරේ දක්ෂ ශිල්පීන් වන අශාන් ඩයස්, බිමල් ජයකොඩි, මයුර කාංචන, සජිත ඇන්තනී වගේ අයත් හිටියා. මේ හැමෝගෙන්ම අපිට අපේ නිර්මාණය සාර්ථක කර ගන්න උපරිම දායකත්වයක් දුන්නා. එහි සාර්ථකත්වය තමයි අපි ලයිකා නිෂ්පාදන හි පළමු පියවර විදිහට තැබුවේ. ඒ හරහා ලැබුණු උත්තේජනය එක්ක අපිට පුළුවන් තවත් නිර්මාණ ඉදිරියට කරන්න.


ලයිකා ප්‍රඩක්ෂන් සන්නාමය යටතේ නිර්මාණය වුණු දෙවන සිනමා නිර්මාණය තමයි මේ දිනවල තිරගත වන දේවි කුසුමාසන චිත්‍රපටය, ඒ ගැන විශේෂයෙන්ම කියන්න දෙයක් ඇති?


දේවි කුසුමාසන චිත්‍රපටය කියන්නේ මම දන්නා තරමින් දැනට වැඩිම පිරිවැයක් යොදලා කරපු චිත්‍රපටය. විශාල රංගන ශිල්පීන් ගණනාවක් එක්ක මේ චිත්‍රපටය නිර්මාණය කළේ සම්මානිත අධ්‍යක්ෂ ජයන්ත චන්ද්‍රසිරි මහතා. ජයන්ත චන්ද්‍රසිරි කිවුවම හැමෝම දන්නවා අපේ ඉතිහාස කතා ගැන හොඳින් අධ්‍යයනය කරලා හරිම දේ ප්‍රේක්ෂකයින්ට දෙන අධ්‍යක්ෂවරයෙක්. මම සතුටු වෙනවා දේවි කුසුමාසන චිත්‍රපටය සාර්ථකව නිම කිරීම ගැන. පෞද්ගලිකවම ගත්තම මට ආස හිතුණා මේ චිත්‍රපටය වැඩ අවසන් කරලා බලද්දී. අපි දන්නා ඉතිහාස කතා අතරේ නොදැන හිටිය ඉතිහාස කතාවක් සිනමාත්මකව නිර්මාණය වෙලා තියෙනවා. ඉන්දියාව වුණත් ඉතිහාසය අලළා නිර්මාණය කරපු නිර්මාණ සාර්ථක වෙලා තියෙනවා. ඉතින් අපිට තියෙන ඉතිහාසය එක්ක අපේ ඉතිහාස කතාත් සිනමාත්මකව නිර්මාණය වෙන්න ඕනේ හොඳ ප්‍රමිතියකින් යුතුව.


දැන් ඔය යොදපු වැඩිම පිරිවැය ලංකාව වගේ රටක අද තියෙන සිනමා කර්මාන්තය තුළ ලාංකීය ප්‍රේක්ෂකයින් හරහා යළි උපයා ගන්න පුළුවන් කියන විශ්වාසය ඔබට තියෙනවද?


අපේ රටේ සිනමා කර්මාන්තය නඟාසිටුවන්න කවුරු හරි ඒ අභියෝගය භාර ගන්න ඕනේ. එහෙම නැතුව හැමදාම ලෝ බජට්වලින් ෆිල්ම් හදලා ප්‍රේක්ෂකයින්ට හොඳ නිර්මාණයක් දෙන්න බැහැ. අද ඉන්න ප්‍රේක්ෂකයින් හුඟක් බුද්ධිමත්. ඒ අය නෙට්ෆ්ලික්ස් බලන ඇමසන් බලන අය. ඒ නිසාම තමයි අපේ රටේ හැදෙන චිත්‍රපටවලට ලොකු ඉල්ලුමක් නැත්තේ. මොකද අපි ඒ ප්‍රමිතියට චිත්‍රපට හදන්න හිතන්නේ නැති එක. නිර්මාණයේ අවශ්‍යතාව අනුව දැනට තියෙන උපරිම තාක්ෂණය එක්ක අවශ්‍ය පිරිවැය යොදලා චිත්‍රපට කළාම මම හිතනවා ප්‍රේක්ෂකයින් මේ චිත්‍රපට ආදරෙන් වැලඳ ගනී කියලා. ඒක අභියෝගයක් තමයි. හැබැයි බැරි නැහැ. ලංකාවේ ජනගහනයෙන් සියයට 10ක් ෆිල්ම් බලනවා කියන එක ලොකු ටාගට් එකක් අපේ. ඉතින් එතනට ගෙනියන්න පුළුවන්. ඒක අපි රාණි චිත්‍රපටය තුළින් අත් වින්දා. හොඳ ගුණාත්මක නිර්මාණ බලන්න ප්‍රේක්ෂකයින් සිනමාශාලා වෙත එනවා. 80/90 දශකවල චිත්‍රපට ගොඩක් ජනප්‍රිය වුණා. සිනමාශාලා පීරී ඉතිරෙන්න ප්‍රේක්ෂකයින් ආවා. මේ පටන් ගැන්ම තුළ නැවත අපිට එවැනි ප්‍රේක්ෂකයින් බිහි කරන්නට අපිට පුළුවන් කියන විශ්වාසය මා තුළ තියෙනවා. ඒ වෙනුවෙන් හැමෝම එකතු වෙලා හැමකෙනාගෙන්ම මේ සඳහා සහයෝගය තියෙන්න ඕනේ.


අද මේ භාරදූර වගකීමක් දරණ ඔබත් මින් පෙර රංගන ශිල්පිනියක්, නිවේදිකාවක් සහ නිෂ්පාදිකාවක්. ඒ පසු කරපු කාල වකවානු තුළ ලද අත්දැකීම් එක්ක ද මේ ගමන ඉදිරියට යන්නේ?


ඔව් මම කාලයක් රංගන ශිල්පිනියක්, නිවේදිකාවක් ලෙස ඉඳලා පසු කාලෙක තමයි නිෂ්පාදිකාවක් වුණේ. නිෂ්පාදිකාවක් වෙද්දී රංගන ශිල්පිනියක් විදිහට ඉන්න කාලේ මම මුහුණ දුන් දේවල්වලින් මම අත්දැකීම් ලබලා තමයි නිෂ්පාදිකාවක් කියන භූමිකාව කළේ. ඒ හැම තැනකදීම මම හිතුවේ රංගන ශිල්පීන් ශිල්පිනියන්ට උපරිම සාධාරණයක් කරන්න ඕනේ කියලා. මොකද ඔවුන් ලබා දෙන දායකත්වයට නිසි වටිනාකම් සහ ඇගයීම කළ යුතු නිසා. මම මේ වෙද්දී ලෝකේ රටවල් ගොඩකට ගිහින් තියෙනවා. මම හැමතිස්සෙම වගේ චිත්‍රපට බලන කෙනෙක්. සිංහල, ඉංග්‍රීසි, හින්දි, දෙමළ ඇතුළුව හැම ජාතියේම චිත්‍රපට බලනවා. ඒ නිර්මාණ තුළ තියෙන තාක්ෂණික පැත්ත සහ ප්‍රමිතිය ගැන හිතලා ඒ දේවල් ඉගෙන ගන්නවා. මම හැමදාම කිවුවේ ලයිකා ප්‍රඩක්ෂන් යටතේ කරන චිත්‍රපට තුළ ඉහළ ප්‍රමිතිය තියෙන්නම ඕනේ කියන එක. ඉන්දියාවේ ලයිකා ප්‍රඩක්ෂන් කියන්නේ දැවැන්ත චිත්‍රපට නිෂ්පාදන ආයතනයක්. රැජිනි කාන්ත්, කමල හසන්, අයිශ්චර්යා මේ හැමෝම එක්ක ඒ අය ෆිල්ම් කරලා තියෙනවා. ඒ නාමය යටතේ අපි කරන නිර්මාණවල ප්‍රමිතිය අඩු කරන්න බැහැ. ඒ නිසා මගේ ජිවිතේ මම ලබපු අත්දැකීම් එක්ක දැන් තියෙන නූතන ලෝකයේ තාක්ෂණික දැනුම එක්ක තමයි අපි නිර්මාණ කරන්නේ.


ඉදිරියට ලයිකා නිෂ්පාදන යටතේ එන්න තියෙන නිර්මාණ මොනවද?


මේ වෙද්දී චානක පෙරේරාගේ ‘කණ්ඩුල‘ චිත්‍රපටයේ වැඩ කරගෙන යනවා. රන්ජන් රාමනායකගේ චිත්‍රපටය ගැනත් කතා කරගෙන යනවා. ඒ එක්කම ප්‍රියන්ත කොළඹගේ, චන්න පෙරේරා වැනි අධ්‍යක්ෂවරු එක්කත් නිර්මාණ කරන්න කතා කරගෙන යනවා. හැබැයි එක වසරක් තුළ ලයිකා සමාගමෙන් චිත්‍රපට දෙකක් හෝ තුනක් තමයි උපරිමයෙන් කරන්න ඉන්නේ.


ඔබ ටෙලි හා සිනමා නිළියක් නැවත රඟපාන්න අදහසක් නැද්ද?


මම රඟපෑවේ මගේ ආසාවට. මම කවදාවත් පූර්ණකාලීනව රංගනය කළේ නැහැ. මම 2012දී තමයි අන්තිමට රඟපෑවේ. එතැනින් පස්සේ මම රඟපෑවේම නැහැ. මම හිතන්නේ දැන් නම් මම ආයේ ඒ දේ කළ යුතුත් නැහැ. දැන් මගේ වෘත්තීය භූමිකාව තුළ තියෙන්නේ රංගනයට එහා ගිය බැරෑරුම් වැඩ කොටසක්. චිත්‍රපට නිෂ්පාදනය පමණක් නෙවෙයි, ඊඒපී සමාගමේ චිත්‍රපට බෙදාහැරිම සහ චිත්‍රපට ශාලා කළමනාකරණය තියෙන්නේ මගේ යටතේ.

gossiplanka image 2
Previous Post Next Post