
ප්‍රොෆෙසර් චේතිය නිසා අමිල මේ දිනවල ගොඩක්ම ජනප්‍රිය වෙලා. කොහොමද ඒ අත්දැකීම?
මම මෙතෙක් කරල තියෙන වැඩත් එක්ක බලද්දි මේක අභියෝගාත්මක චරිතයක් විදිහට තමයි මුලින්ම දැනුණේ. රංගන ශිල්පියෙක් විදිහට චේතිය හරහා මගේ හැකියාවන් එළියට ගන්න පුළුවන් කියන විශ්වාසය මට ඇති වුණා. මේක නෙගටිව් ටයිප් රෝල් එකක් නිසා මුලින්ම ගොඩක් අය කැමැත්තක් දැක්වුවේ නැහැ. මගේ අම්මවත් කැමැති වුණේ නැහැ. ඒත් පස්සෙ හරි ප්‍රේක්ෂකයින් මේක රංගනයක් විතරයි කියන එක තේරුම් ගනීවි කියන විශ්වාසය මට තිබුණා. මේ සඳහා මට ආරාධනා ලැබෙන්නේ නිෂ්පාදක ප්‍රභාත් රෝෂණගෙන්. අධ්‍යක්ෂ විදිහට කටයුතු කළේ ඉන්දික ධර්මවර්ධන.
ප්‍රතිචාර ගැන කතා කළොත්?
මුලදි මිනිස්සු බණින්න ගත්තට මේක රංගනයක් විතරයි කියන එක පස්සේ ඔවුන් තේරුම් ගත්තා. මේක රංගන ශිල්පියෙක් විදිහට මට ලැබුණු හොඳ අවස්ථාවක්. ඔයා හොඳට රඟපානවා. මෙච්චර කල් කොහේද හිටියේ කියලත් ගොඩක් අය අහනවා. චිත්‍රපට ගොඩක රඟපාලා තිබුණට මීට කලින් මේ වගේ ප්‍රේක්ෂකයින් අතරට යන්න අවස්ථාවක් ලැබිලා නෑ. චේතියගේ චරිතෙත් එක්ක අපිට ඔයාව දැක්කමත් කේන්ති යනවා කියන අයත් හිටියා. හිතුවටත් වඩා ඉහළින් ලැබෙන ප්‍රතිචාර ගැන ලොකු සතුටක් දැනෙනවා. කොහේ ගියත් දැන් මිනිස්සු මාව අඳුරගන්නවා. චේතිය සර් ආවා කියනවා. චේතිය සර් නේද අහනවා. චේතියත් එක්ක ප්‍රේක්ෂකයින් එක්ක තියෙන බැඳීම ගොඩක් වැඩි වුණා.
විශ්වවිද්‍යාල පද්ධතිය ගැන මිනිස්සුන්ගේ හිතේ අප්‍රසාදයක් ඇතිවෙනවා කියලා චෝදනා එන්නේ නැද්ද?
මේක රචනා කරන ලක්ෂාන් වස්තුහේවාට මට වඩා මේ ගැන ප්‍රශ්න මතුවුණා. ඇත්තම කිව්වොත් මේ වගේ චරිත අද සමාජයේ ඉන්නවා. සමහර ප්‍රොෆෙසර්ලා ලක්ෂාන්ට වගේම මටත් කතා කරලා අහනවා මේ මගේ චරිතය ද ලියල තියෙන්නෙ කියලා. එහෙම පිරිස් ඉන්නවා. මේ වගේ දේවල් සමාජගත කරන්නෙ නැතුව ඉඳීම තමයි ගැටලුව. කවුරුත් තාම මේකට විරුද්ධව ඉදිරිපත් වෙලා නැහැ. චේතියගෙ චරිතය විතරක් නෙවෙයි මේකෙන් මත්ද්‍රව්‍ය භාවිතය ගැනත් කතා වෙනවා. මේ වගේ දේවල් ගැන සමාජය දැනුම්වත් කරන එක හොඳයි කියල කතා කරන හාමුදුරුවරු වගේම පූජකවරුත් ඉන්නවා. අපි මේ වගේ දේවල් සමාජගත නොකරන නිසා තමයි සමාජය දැනුම්වත් නැත්තේ. සාමාන්‍යයෙන් අපි නිර්මාණයකින් කියන්න උත්සාහ කරන්නේ හොඳ පැත්ත විතරයි. නමුත් මම නම් හිතන්නේ නිර්මාණයක් තුළින් හොඳ නරක දෙපැත්තම සමාජගත කරන්න අපිට හැකියාව තියෙන්න ඕන.
මෙතනදි චේතිය විදිහට ඔබට තමයි සජීවී ප්‍රතිචාර අත්විඳින්න වෙන්නේ?
ඔව්. එහෙම ප්‍රශ්නත් තිබුණා. නමුත් රංගන ශිල්පියාගේ කාර්ය වන්නේ ලැබෙන චරිතයට පණ පෙවීම. මං මේ චරිතය භාරගන්න හේතුව වුණෙත් මේ තුළ මට ගොඩක් දේවල් කරන්න තියෙනවා කියලා දැක්ක නිසා. සමහර විට ඒක මං මුහුණදීපු දෙයක් වෙන්නත් පුළුවන්. එහෙම නොවෙන්නත් පුළුවන්. මුහුණදීපු නැති දෙයක් නම් මං ඒක ගැන හොයන්න ගන්නවා. ඒකත් රංගන ශිල්පියෙක් විදිහට මට ඉදිරියට යන්න අවස්ථාවක් වුණා කියල හිතෙනවා. අනිත් අතට අපි මේ චරිත ගැන ගවේෂණය කරලා අධ්‍යක්ෂවරයා සහ රචකයා එක්ක සාකච්ඡා කරලා ඔවුන්ගෙනුත් යම් යම් දේ එකතු කරගත්ත නිසා තමයි මේ චරිතය මේ තරම් සාර්ථක වෙන්න හේතුව වුණේ.
ඔබට මේ තරම් ප්‍රේක්ෂක ආදරයක් ලැබුණ ප්‍රේමවන්තයා චේතිය කිව්වොත්?
ඔව්. ඒක ඇත්ත. මං සිනමාවේ බොහෝ අවස්ථාවල ප්‍රේමවන්තයා වෙලා තියෙනවා. ඒත් සිනමාව කියන්නෙ සීමිත ප්‍රේක්ෂකාගාරයක්. ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය ගත්තම විශාල පිරිසකට විහිදෙනවා. ඒකත් එක කාරණයක්. අනිත් එක තමයි මේ වෙද්දි ටෙලි නිර්මාණවලට සමාජ මාධ්‍ය තුළ විශාල ප්‍රේක්ෂකාගාරයක් හැදිලා තියෙනවා. චේතිය හරහා අමිල කරුණානායක කියන්නෙ කවුද කියන එක ප්‍රේක්ෂකයින්ට හඳුනගන්න සමාජ මාධ්‍යත් ලොකු හේතුවක් වුණා.
ඒ කියන්නෙ අමිල ඉදිරියටත් පුංචි තිරයේ වැඩියෙන් දකින්න ලැබේවි කියන එකද?
පහුගිය දවස්වල ටෙලි නිර්මාණ දෙක තුනකටම ආරාධනා ලැබුණා. ඒත් ඒ හැම චරිතයක්ම චේතියට සමානයි. මං ඒ වගේ එකක් කළ නිසා තව එකක් කරන්න මගේ කැමැත්තක් නෑ. වෙනස් චරිතයකට ආරාධනා ලැබුණොත් භාරගන්නවා.
අමිල ක්ෂේත්‍රයට පිවිසෙන්නේ මෝස්තර නිරූපණය හරහා. මෙතෙක් ආපු ගමන සිහිපත් කළොත්?
මං නිරූපණ ශිල්පියෙක් විදිහට තමයි මුලින්ම ක්ෂේත්‍රය හඳුනගන්නේ. 2008 වසරේ මිස්ට ශ්‍රී ලංකා තරගය වගේම 2011 වසරේ ලංකාවේ මෑන් හන්ටර් ඉන්ටර්නැෂනල් තරගය ජයග්‍රහණය කරනවා. ඊට පස්සේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මිස්ටර් ඉන්ටර්නැෂනල් තරගය සඳහා මැලේෂියාවට වගේම මෑන් හන්ටර් සඳහා කොරියාවට යන්න අවස්ථාව ලැබෙනවා. ඒත් එක්ක තමයි වෙළෙඳ දැන්වීම්වලට, මියුසික් වීඩියෝවලට ආරාධනා ලැබෙන්නේ. ඒවා රූපවාහිනියේ දකිද්දි තමයි මට රංගනය ගැන ආසාවක් ඇතිවෙන්නේ. ඒත් එක්කම රංගනය ගැන හදාරනවා. ඔඩිෂන්වලට සහභාගි වෙනවා. පළමු සිනමා අත්දැකීම ලබන්නේ 2014 වසරේ නාලක විතානගේ අධ්‍යක්ෂණය කළ රූපාන්තරණ සිනමාපටයෙන්. ඊට පස්සේ චිත්‍රපට දහයකට අධික ප්‍රමාණයකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙනවා. ඒ අතරින් කබඩි, කම්බිලි වගේ චිත්‍රපට ගොඩක් ජනප්‍රිය වුණා. පෝරිසාදයා චිත්‍රපටයේ හොඳම විලන් රෝල් එකට නිර්දේශත් වුණා. එහෙම ආපු ගමනක් මේක. ඒත් ටෙලි නාට්‍යයකට සම්බන්ධ වුණේ නම් ගොඩක් කාලෙකින්. ගොඩක් දෙනෙක් කිව්වා සිනමාවේ ඉඳන් ඇයි මේ වගේ ටෙලි නාට්‍යවලට එන්නේ කියලා. මං කවුරුත් කියන එක විශ්වාස කළේ නැහැ. මේ චරිතය හරහා මට දෙයක් කරන්න පුළුවන් කියන එක ප්‍රේක්ෂකයින්ට පෙන්නන්න පුළුවන් කියන විශ්වාසය මට තිබුණා. ඒ විශ්වාසය අද යම්තාක් දුරකට සාර්ථක වෙලා තියෙනවා කියල හිතෙනවා.
අමිල කරුණානායක කියන්නේ සැබෑ ජීවිතේ ආදරණීය සැමියෙක් වගේම ආදරණීය පියෙක්. චේතිය නිසා ඒ ජීවිතේට බලපෑමක් වෙලා නැද්ද?
චේතියට වගේම මටත් ආදරණීය බිරියක් ඉන්නවා. බබාල දෙන්නෙක් ඉන්නවා. මම දන්නවා කොහොමද දරුවන් එක්ක ගනුදෙනු කරන්නේ කියලා. එයාලට ආදරේ කරන්නෙ එයාල එක්ක හැඟීම් බෙදාගන්නෙ කොහොමද කියලා මං දන්නවා. ඒ වගේම බිරියට ආදරේ කරන්නෙ කොහොමද කියන එකත් මං හොඳින්ම දන්නවා. මගේ අත්දැකීම් එක්ක හරි ලස්සනට මේ චරිතය ගොඩනඟාගන්න පුළුවන් වුණා. ඒ නිසා වෙන්න ඇති මේ චරිතය මේ තරම් සාර්ථක වුණේ. ඒ වගේම මං නොලබපු අත්දැකීම් සමාජයෙන් ගන්නත් පුළුවන් වුණා.
ඔබ වගේ කලාකරුවෙක් බිහිකරන්න සහාය වුණු ඒ ආදරණීය චරිතය ගැනත් කතා කරමු?
හොඳ කලාකරුවෙක් බිහිවෙන්න අනිවාර්යයෙන්ම නිදහස් මනසක් වගේම හොඳ පවුල් පසුබිමක් තිබිය යුතුමයි. හොඳ මවුපිය දෙපළක් වගේම ආදරය කරන්න හොඳ ආදරවන්තියක් මට හිටියා. ඒ ආදරයම බිරිය කරගන්නත් වාසනාව ලැබුණා. අද අපි හොඳ දරුවන් දෙදෙනෙක් එක්ක ලස්සනට ජීවත් වෙනවා.
ඒ ආදරණීය හමුවීම ගැනත් කියමු?
ඇය මට හමුවෙන්නේ උසස් පෙළ හදාරණ කාලේ. දැන් ඇය ඉංජිනේරුවරියක්. අපි විවාහ වෙන්නේ අවුරුදු 10ක් ආදරේ කරලා. මගේ ආසාවන් ගැන මගේ මේ ගමන ගැන ඇය මුල ඉඳන්ම දැනගෙන හිටියා. ඒ තේරුම් ගැනීම නිසාම ඇගෙන් මට ලොකු සහායක් ලැබෙනවා. ලැබෙන ප්‍රතිචාරත් එක්ක ඇයත් ලොකු සතුටක් ලබනවා.
සාර්ථක කලාකරුවෙක් බිහිකිරීමට අවශ්‍ය නිදහස් මානසිකත්වය ඔහු වෙත ලබාදෙන ඇය මිහිරුණී ජයවර්ධනයි. අමිලගේ ජනප්‍රියත්වය ගැන ඇය පළකළේ මෙවන් අදහසකි.
චේතිය නිසා අමිලට ලැබුණු ජනප්‍රියත්වයත් එක්ක නම් අපේ ජීවිතවල කිසිම වෙනසක් වෙලා නැහැ. එදා හිටිය ඔහුමයි අදත් ඉන්නේ. අපි හමුවෙන්නේ ඔහු කලාවට එන්නත් කලින්. එදා ඉඳන්ම ඔහුට කලාව ගැන ආසාවක් කැමැත්තක් තිබුණා. ඒත් ඔහු හෙමින් හෙමින් අඩියෙන් අඩිය තමයි මේ ගමන ආවේ.
ගොඩක් දෙනා චේතිය දිහා බලන්නේ වැරදි විදිහට. සජීවීව ලැබෙන ප්‍රතිචාර ගැන මොකද හිතෙන්නේ?
ඇත්තටම මේතාක් සජීවීව කිසිම නරක ප්‍රතිචාරයක් ලැබිලා නෑ. ඔයාගේ චරිතය නිසා අපිට කේන්ති යනවා කියල නම් කියනවා. ඔයා හොඳට රඟපානවා කියලා ඒ ගැන තමයි කියන්නේ.
ඔබත් වගකිව යුතු රැකියාවක නිරත වෙන කෙනෙක්. කොහොමද ඔහුගෙන් ගෙදරට ලැබෙන සහාය?
පුළුවන් හැම වෙලාවෙම මං එයාව ගෙදර වැඩවලට, බබාලගෙ වැඩවලට සම්බන්ධ කරගන්නවා. එතකොට එයාව මට මඟහැරෙන්නෙත් නෑ. දරුවන්ට මඟහැරෙන්නෙත් නෑ. අමිල තමයි හැමදාම වගේ දරුවන්ගේ පාසල් රැස්වීම්වලට යන්නේ. ටීචර්ලගෙන් දරුවන් ගැන දැනගන්නේ. ඒ හැමදේම එයා මට ඇවිත් කියනවා. ඒ සම්බන්ධතාව පවුලක පැවැත්මට ගොඩක් වටිනවා.
ක්ෂේත්‍රයේ කටයුතුවලදී නම් ඔබව දකින්නත් නැති තරම්?
ඇත්තම කිව්වොත් මං යන්නෙම නැති තරම්. අපි දෙන්න ක්ෂේත්‍ර දෙකකනේ. ෆිල්ම් එකක මංගල දර්ශනයකටවත් මං සහභාගි වෙන්නෙ නෑ. ඒක එයාගේ දවසනේ. මං එතැනට ගියොත් මං ගැන හොයන්න වෙනවා. මගේ මූඩ් එක ගැන හිතන්න වෙනවා. එයාට නිදහසේ එයාගේ වැඩටික කරගන්න බැරිවෙනවා. එයාගේ වැඩකටයුතු නිදහසේ කරගන්න දෙන්න මං කැමැතියි.
