කැලණි පන්සල් ගියාම මට වඳින්න වෙන්නෙත් නැහැ - සුදීක්ෂා සමාධි

gossiplanka image 1
මායාවී ටෙලිනාට්‍ය තුළින් ඔබේ ආලින්දයට එන මංගේෂ්වරී ඇයයි. කුඩා දැරියක මෙන් ජීවිතය අතපත ගාන්නී ඇයයි. විටෙක බොළඳ යුවතියක මෙන් ආදරය පුදන්නී, හඬා වැලපෙන්නී ඇයයි. මෙවර හදසර කතාබහ මංගේෂ්වරී නම් අභියෝගාත්මක චරිතයට පණ පොවන අති දක්ෂ රංගන ශිල්පිනී සුදීක්ෂා සමාධි සමඟයි.


සුදීක්ෂා ඔබ ගැන හැඳින්වීමක් කරමු?


සුදීක්ෂා සමාධි කියන්නේ කලාවට ගොඩක් ආදරය කරන සාමාන්‍ය ජීවිතේ ගොඩක් සරල විදිහට ඉන්න කැමති ගැහැනු ළමයෙක්.


‘මායාවී’ ප්‍රේක්ෂකයා ආදරයෙන් වැළඳගත් ටෙලිනාට්‍යයක්. අදහසක් දක්වමු?


මේ කතා කරන මොහොත වනවිට යූටියුබ් අවකාශයේ වැඩිම වාර ගණනක් ප්‍රේක්ෂකයන් විසින් නරඹපු ටෙලිනාට්‍ය විදිහට මායාවී අංක එකට ඇවිත් තියෙනවා. ඒ නිසා මම හිතනවා මායාවී කියන්නේ ගොඩක් ලස්සන, ඒ වගේම ප්‍රේක්ෂකයන්ගේ හදවතට කතා කරන්න පුළුවන්, හදවතේ හැඟීම් අවුස්සන්න පුළුවන් විදිහේ ලස්සන නිර්මාණයක්. ඒ නිසා වෙන්න ඇති මායාවී නාට්‍යයත් එක්ක මේ තරම් ප්‍රේක්ෂකයන් පිරිසක් එකතුවෙලා ඉන්නෙ.


මංගේෂ්වරීගේ චරිතය ඔබට දැනෙන්නේ කොහොමද?


මංගේෂ්වරී කියන්නේ මම පුදුම විදිහට විඳින චරිතයක්. මංගේෂ්වරීගේ චරිතය ගොඩක් සංවේදීයි. බලන කෙනෙකුට ඒක හාස්‍යක් වුණාට චරිතයත් එක්ක ජීවත් වෙන කෙනෙක් විදිහට මම මංගේෂ්වරීට ගොඩක් ආදරය කරන, අනුකම්පා කරන කෙනෙක්. මොකද, අනිත් අය මංගේෂ්වරීගෙන් හිනා වුණාට, එයා කරන වැඩවලින් සතුටු වුණාට, අවංකවම මංගේෂ්වරී කියන්නේ අනුකම්පා කරන්න ඕනෑ චරිතයක්. හැබැයි එයාට හොඳ බුද්ධියක් තියෙනවා.


ඇත්තටම මංගේෂ්වරීගේ චරිතය අභියෝගයක්. ඔබ මේ අභියෝගය ජය ගත්තේ කොහොමද?


ඔව්... මංගේෂ්වරී කියන්නේ මගේ ජීවිතේ හම්බවුණු අභියෝගාත්මකම චරිතයක්. කතා කරන විලාසය, ඇවිදින විලාසය, බලන බැල්ම, හිනාවෙන විදිහ, අඬන විදිහ, මේ හැම දෙයක්ම ටෙලිනාට්‍ය පුරාවටම එකම රිද්මයකට, එකම ආකාරයකට ඉදිරිපත් කරන්න මට සිද්ධ වුණා. එහෙම නොකළා නම් මායාවී ටෙලිනාට්‍ය ඇතුළත මංගේෂ්වරී කියන චරිතය මේ තරම් කැපී පෙනෙන චරිතයක් බවට පත් වෙන්නේ නැහැ. ලොකුම අභියෝගය තමයි මායාවී මෙගා නාට්‍යයක් වීම. දැනට විකාශනය වී තිබෙන සියලු‍ම කොටස්වල මංගේෂ්වරී චරිතය එකම ආකාරයකට හැඬීම, ඇවිදීම, සිනාසීම ආදී සියලු‍ම අංග චලන එකම රිද්මයකට පවත්වාගෙන යාම තමයි මට ලැබුණු ලොකුම අභියෝගය. අද වෙනකොට මම එම අභියෝගය ජය අරගෙන තියෙනවා කියලා හිතනවා. මොකද, තව ඉදිරියටත් මායාවී ටෙලිනාට්‍ය විකාශනය වීමට තියෙනවා. ඉතින් ඉදිරියේදීත් මේ විදිහටම මංගේෂ්වරීව පරිස්සම් කිරීම මගේ වගකීමක්. මංගේෂ්වරීගේ අංග චලන, භාවයන් එකම විදිහට නිරූපණය කිරීමත් එක්ක මංගේෂ්වරීගේ චරිතය මම පුදුම විදිහට පරිස්සම් කරන චරිතයක් වෙලා තියෙනවා.


මංගේෂ්වරී, පවන්ට කරන ආදරය සහ අරලියාට දක්වන ළෙන්ගතුකම ගැන කතා කරමු?


මංගේෂ්වරී කියන්නේ මනස අඩුවෙන් වැඩුණු ගැහැනු දරුවකුගේ චරිතයක්. ඒක වර්තමාන සමාජය තුළත් අපි දකින චරිතයක්. එතකොට පවන් කියන්නේ තමන්ගේ තාත්තාගෙන් පස්සේ ඇය දකින ළං වෙන එකම පිරිමි ආත්මය. ඒ නිසා තමයි ඇයට ආදරය, වේදනාව, සතුට, මේ හැමදේම පවන් මුල් කරගෙනම ඇතිවෙන්නෙ. මංගේෂ්වරී වගේ ගැහැනු දරුවෙක්ට පවා ආදරය, ශෘංගාරය, ලිංගිකත්වය කියන දේ ඇතිවෙනවා. නමුත් සමාජ ඇසුරක් නැතිව ගෙදරටම කොටුවුණු ගැහැනු ළමයෙක් විදිහට එයා දකින එකම පිරිමියා වෙන පවන් ගැන ඇල්මක්, කෑදරකමක් ඇති කරගන්නෙ මොකද, ඇයට තවත් තෝරාගැනීම් කරන්න, හිතන්න ඉඩක් නැති නිසා. ඉතින් කවදා හෝ දවසක පවන් ඇයට ආදරය කරාවි කියන බලාපොරොත්තුව ඇතිව මංගේෂ්වරී පුදුමාකාර විදිහට පවන්ට ආදරය කරනවා.

එතකොට අරලියා කියන්නේ අපි සාමාන්‍ය ජීවිතේ දකින මව අහිමිවුණු කුඩා දැරියකගේ චරිතයක්. කුඩා දැරියක් විදිහට ඒ වයසේ තියෙන දඟකාර බව, හුරතල් බව, කෙළිලොල් බව, එක්ක මංගේෂ්වරීගේ නොවැඩුණු මනස නතරවෙලා තියෙන්නේ අරලියාගේ වයසේ. ඇත්තටම මංගේශ්වරී අරලියාට දක්වන්නේ මවකගේ සෙනෙහස නෙවෙයි. මවකගේ සෙනෙහස දක්වන්න තරම් හැකියාවක් ඇයට නැහැ. අරලියාට සහ මංගේෂ්වරීට තියෙන්නේ එක සමාන මානසික මට්ටමක්. මේ නිසා තමයි මංගේෂ්වරී අරලියාට වඩාත් ළෙන්ගතු වෙන්නෙ.


ලැබෙන ප්‍රතිචාර ගැනත් කතා කරමු?


ආදරණීය ප්‍රේක්ෂක ජනතාවගෙන් ලැබෙන ප්‍රතිචාර නම් කියලා නිම කරන්න බැහැ. මේ වකවානුව වෙනකොට ප්‍රේක්ෂකයන් වැඩිපුරම ආදරය කරන චරිතය මංගේෂ්වරී කියලා මම බය නැතුව කියනවා. 2024 වසරේ මාර්තු මාසයේ තමයි මායාවී පටන් ගත්තෙ. එදා ඉඳන් මේ වෙනකම් ආදරය, අනුකම්පාව, ළෙන්ගතුකම, සෙනෙහස එක්ක ප්‍රේක්ෂකයා ආදරයෙන් සලකන මම කරපු එකම චරිතය තමයි මංගේෂ්වරී. මම ඒ ආදරය උපරිම විඳින කෙනෙක්. මම ගොඩක් වෙලාවට කැලණි පන්සලට යනවා. ඒ ගියාම මට වඳින්න වෙන්නෙත් නෑ. ඒ තරමට ප්‍රේක්ෂකයන් පුදුම විදිහට මාත් එක්ක කතා කරන්න එනවා. ඇත්තටම මම ගොඩක් සතුටු වෙන දෙයක් තමයි මගේ ප්‍රේක්ෂකයෝ මාව දැක්ක තැන ඇවිත් කතා කරනවා, ප්‍රතිචාර දක්වනවා, තමන්ගේ අදහස් හුවමාරු කර ගන්නවා. ඒ වෙලාවේ ස්ථානය, අවස්ථාව මොකක් වුණත් මමත් මගේ ආදරණීය ප්‍රේක්ෂකයන් එක්ක ආදරය බෙදා ගන්නවා. එයාලා දෙන සෙනෙහස ආදරය මම ගොඩක් සතුටින් විඳිනවා. ඇත්තටම ප්‍රේක්ෂක ආදරය බාල, මහළු, කුඩා භේදයක් නැතුව ලබන්න තරම් මම මාරම විදිහට වාසනාවන්තයි.


මේ වසරේදී ඔබ රංගනයෙන් දායක වෙන වෙන සූර්යා චිත්‍රපටය තිරගත වීමට නියමිතයි. ඒ ගැනත් කතා කරමු?


සූර්යා චිත්‍රපටයේ රූගත කිරීම් කළේ 2022 වර්ෂයේ. දැන් 2025 වන විට සූර්යා රිදී තිරයේ ප්‍රදර්ශනය වීමට සියල්ල සූදානම්. මෙය මහේෂ් මුණසිංහ මහතාගේ අධ්‍යක්ෂණයක්. සූර්යා කියන්නේ මගේ තුන්වැනි සිනමා සිත්තම. ඒ වගේම රිදී තිරයේ මගේ පළවෙනි සිනමා අත්දැකීම වුණේ ලස්සන ජයසේකර මහතා අධ්‍යක්ෂණය කළ විලන් චිත්‍රපටය. දෙවැනි නිර්මාණය වුණේ අනූෂ එදිරිමුණි මහතා අධ්‍යක්ෂණය කළ මදර් ලංකා චිත්‍රපටය.

සූර්යා චිත්‍රපටය වගේම මදර් ලංකා චිත්‍රපටයත් මේ වසරේදී තිරගත වීමට සියල්ල සූදානම්. ඉතින් මේ වසරේදී මගේ රංගනය විවිධාකාර චරිත තුළිත් රිදී තිරය ඔස්සේත් ප්‍රේක්ෂකයන්ට දැකබලා ගන්න පුළුවන්.


සුදීක්ෂා... ඔබ ජීවිතය සහ ආදරය ගැන දකින්නේ කොහොමද?


ජීවිතය කියන්නේ හරිම සංකීර්ණ දෙයක්. අටලෝ දහම හරියට තේරුම් අරන් ඒකත් එක්ක ජීවත් වෙන්න පුළුවන්නම්, මම හිතන විදිහට ඒක තමයි ජීවිතය කියන්නෙ. ලොකු ලොකු හැඳින්වීම් කරන්න අවශ්‍ය නැහැ. මම අටලෝ දහමත් එක්ක ජීවත් වෙන කෙනෙක්. මට ඉතින් මේ හැමදේකම උස් පහත් වීම් දරාගන්න පුළුවන්.

ආදරය ගැන කියනවානම් ජීවත් වෙනකොට අපිට ආදරය ඕනෑ. අපි ජීවිතයේ එක එක වයස්වලදී, එක එක විදිහට ආදරය බලාපොරොත්තු වෙනවා. කුඩා කාලයේදී අම්මා තාත්තා, තරුණ වයසේදී පෙම්වතා හෝ පෙම්වතිය, ඊටත් පස්සේ සැමියා හෝ බිරිඳ, දරුවන්. වයසටම යනකොට මුනුපුරන් මිනිපිරියන්. මේ වගේ එක එක වයසේදී අපේ සිතුවිලි වෙනස් වෙනවා. මම හිතන්නේ ආදරයේදීත් සමබරව ජීවිතය ගෙනියන්න පුළුවන් පිරිස අපේ වටේ ඉන්නවානම් අපිට සතුටින් ජීවත් වෙන්න පුළුවන්. පෞද්ගලිකව මම උත්සාහ කරනවා මගේ කවය පුංචි කරගෙන, මට ළැදි, මට ආදරය කරන පිරිසක් මගේ පුංචි කවය ඇතුළේ තියාගන්න.

gossiplanka image 2
මංගලා පවිත්‍රානි

Previous Post Next Post