මං ඇවිත් තියෙන්නෙ ගැළපෙනම තැනට - ප්‍රියන්ත සෙනෙවිරත්න

gossiplanka image 2
නළුවෙක්, නිවේදකයෙක්, ගායකයෙක් ලෙස ප්‍රේක්ෂකයා අතරට එන ඔහු මේ දිනවල හමුවන්නේ ‘ඔබ එන්න ඇවිත් යන්න’ ටෙලිනාට්‍යය හරහාය. මෙරට කලාවේ හාස්‍යෝත්පාදක රංගන ශිල්පීන් අතර කාගේත් ආදරය දිනාගත් ප්‍රියන්ත සෙනෙවිරත්න සමඟයි මේ කතාබහ.


“මේ දවස්වල ටෙලිනාට්‍ය දෙකක රූගත කිරීම් සිදු වෙනවා. හිරු නාළිකාවේ විකාශය වන අලුත්ම ටෙලිනාට්‍ය ‘ඔබ එන්න ඇවිත් යන්න’ ටෙලිනාට්‍ය සමඟ සම්බන්ධ වෙලා ඉන්නවා. එහි මම ටෙඩී කියන චරිතය කරනවා. ඊට අමතරව දෙරණ නාළිකාවේ විකාශය වන ‘බේකරි ගෙදර’ ටෙලිනාට්‍යයේ රඟපානවා. හිරු මෙගා ස්ටාර්ස් රියැලිටි වැඩසටහනේ ඉදිරිපත් කිරීම් සමඟත් සම්බන්ධ වෙලා ඉන්නවා.”


ටෙලිනාට්‍ය තුළින් ප්‍රේක්ෂකයා පිනවන ඔහු සිනමාව තුළින් ද ඒ අයුරින්ම තම හැකියාව මැනවින් විදහාපායි. ලොකු කුඩා කාගේත් ආදරය දිනා ගත් ඔහු සිනමාව තුළද කාගේත් සිත් තුළ අමතක නොවන චරිතයක් වී ඇත. ක්ලීන් අවුට්, සිකුරු හතේ, එතුමයි මෙතුමයි, සුහද කොකා, කතුරු මිතුරු වැනි සිනමාපට රැසකින් හාස්‍ය ඉපිදවූ ප්‍රියන්තගේ මේ දිනවල සිනමා කටයුතු ගැන කතා කළේ මෙලෙසිනි.


“මම අන්තිමට රංගනයෙන් දායක වුණු සිනමාපටය ‘කාසි වාසි’. දැන් එය තිරගත වෙනවා. මම ‍රංගනයෙන් දායක වුණු උදයකාන්ත වර්ණසූරියගේ සාජන් පුංචිසෝම චිත්‍රපටය, සුනිල් ප්‍රේමරත්නගේ අමුතු ගුරුකම චිත්‍රපටය, සමීර නාඔටුන්නගේ වයිෆ් චිත්‍රපටය, පූජිත අධ්‍යක්ෂණය කළ එලද බ්‍රා චිත්‍රපට ඉදිරියට එන්න තියෙනවා”


බොහෝ දෙනාගේ ආදරය නොමදව ලබමින් ඔහු කලාවේ ඉතා දිගු ගමනක් පැමිණ ඇත. එම ගමනේ ආරම්භය පිළිබඳව ඔහු ඉතා සතුටින් තම මතකය අවදි කරයි.


“කලාවට සම්බන්ධ වීම ගැන තියෙන්නේ දිග කතාවක්. මම පාසල් වේදිකාවේ ගොඩක් නාට්‍යවල හිටියා. දහම් පාසලේ නාට්‍යවල රඟපෑවා. ප්‍රසිද්ධ වේදිකාවට ආවේ 1985 අවුරුද්දේ ජගත් මුතුකුමාරණගේ ‘මකුළු දැල්’ වේදිකා නාට්‍යයෙන්. ඊට පස්සේ ජාතික රූපවාහිනියේ ළමා වැඩසටහන්වලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. එහිදි 1986 ශ්‍රීමතී ලියනගේ නිෂ්පාදනය කළ කතන්දර පිටුව වැඩසටහනට සම්බන්ධ වුණා. එතැන් සිට රූපවාහිනී වැඩසටහන්වලට සහ වේදිකා නාට්‍යවලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා.”


ටෙලිනාට්‍ය හා සිනමාව ඔස්සේ රසික හදවත් පිනවන ප්‍රියන්තගේ කලා ගමනේ ආරම්භය සිදු වූයේ වේදිකා නාට්‍ය හරහාය.


“මේ දවස්වල නම් මම වේදිකා නාට්‍යවලට සම්බන්ධ වෙලා නෑ. මගේ රාජකාරි සහ පෞද්ගලික නිදහස නිසා වේදිකා නාට්‍යවලට සම්බන්ධ වෙන්නෙ නෑ. දැන් ගොඩක්ම කරන්නේ Company eventsවලින් නිර්මාණය කෙරෙන කෙටි නාට්‍යවලට සම්බන්ධ වෙනවා. ඒ වගේම පිටරටවල සන්දර්ශන සහ ප්‍රසංග සඳහා සම්බන්ධ වෙනවා. ඊට අමතරව ඒවගේ නිවේදන කටයුතුවලට සම්බන්ධ වෙලා ඉන්නවා.”


බොහෝ දෙනා රූපවාහිනී තිරය ඉදිරියේ හිඳගන්නේ තමාට ඇති ප්‍රශ්න මොහොතකට හෝ අමතක කර රසවින්දනයක් ලැබීමටයි. එවිට හාස්‍යෝත්පාදක නළුවාට ඇත්තේ සුවිශේෂ කාර්යභාරයකි. පබළු ටෙලි නාට්‍යයේ බෙනා මාමා, පොඩි මාමාහි පොඩි මාමාගේ චරිතයත්, කියාදෙන්න ආදරේ තරම් නාට්‍යයේ ලින්කන්ගේ චරිතයත් ඊට අමතරව ඉසුරු භවන, පිනි, අකුරු මැකී නෑ, අන්කල් සෑම් වැනි ටෙලිනාට්‍ය රැසකින්ම රසිකයන් පිනවූ ප්‍රියන්තට ලැබෙන රසික ආදරය නම් අඩුවක් නැත.


“මම කරපු හැම ටෙලිනාට්‍යකම චරිතවල මතකය අදටත් හැමෝම අතර තියෙනවා. එක එක්කෙනාගේ රසවින්දනය අනුව තෝරා බේරාගෙන බලපු ටෙලිනාට්‍යවල මම කරපු චරිත ගැන ජනතාව අතර ලොකු මතකයක් තියෙනවා. එහිදි ජනතාවට සමීප, විනෝදාත්මක වගේම සංවේදී අවස්ථා තිබුණ නිසා විවිධ මතක සටහන් තියෙනවා. ඒ අය හමුවුණාම ගොඩක් ආදරෙන් ඒවා ගැන කතා කරනවා.”


ප්‍රියන්ත කියන්නේ ගීත ගායනයටත් දක්ෂයෙකි. ඕනෑම ගීතයක් ඔහුගේම විදිහට ගායනා කිරීමේ හැකියාව ඔහු සතුව මැනවින් පවතී.


“මම ගීත ගායනයටත් සම්බන්ධ වෙනවා. අලුතින් මගේම ගීත කිහිපයක් පටිගත කිරීමට සූදානම් වෙලා ඉන්නවා. ඒවා සංගීතවත් කරලා රසිකයන්ට දෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.


මට සම්මාන කිහිපයක්ම ලැබිලා තියෙනවා. ඉසුරු භවන ටෙලිනාට්‍ය සඳහා වසරේ විශිෂ්ටතම හාස්‍යෝත්පාදක රංගන ශිල්පියා ලෙස සම්මානයට පාත්‍ර වුණා. ඒ වගේම පහ සමත් චිත්‍රපටය වෙනුවෙන් හොඳම ප්‍රහසන නළුවා ලෙස ජනාධිපති සම්මානය ලැබිලා තියෙනවා. ඒ වගේම තව කුසලතා සම්මාන රැසක් ලැබිලා තියෙනවා.”


රූගත කිරීම්, නිවේදන කටයුතු, විදෙස් සංචාර අතර සිදු වූ අමතක නොවන රසවත් සිදුවීම් බොහෝමයක් ප්‍රියන්තට ඇත. ඒ පිළිබඳ ඔහු අප හා පැවසුවේ සිනාසෙමිනි.


“වැඩවලට ගියාම ගොඩක්ම අමතක වෙන්නෙ ගෙදර තමයි. ගෙදර අමතක වෙලා ගෙදරින් වෙන ප්‍රශ්න තමයි ගොඩක්ම තියෙන්නේ. සමහර වෙලාවට නෝනා ගෙන්න කියපු ඒවා අමතක වෙලා තියෙනවා. ඒවා ගොඩක් අමතක වෙන සිද්ධි. නැවත ආවම කියපු ඒවා ගෙනාවද අහද්දි තමයි මට මතක් වෙන්නේ. මෑතකදි නම් ඒ වගේ අමතක නොවන සිද්ධි වුණේ නෑ.”


ප්‍රියන්ත කලාවට අවතීර්ණ වූ කාලයට වඩා මෙරට අද වන විට පවතින කලා ක්ෂේත්‍රයේ වෙනස්කම් රැසක් සිදු වී ඇත. කවදත් කලාවට එක සේ ආදරය කරන ඔහු මෙසේ පවසයි.


“අද වෙද්දි අපේ කලා ක්ෂේත්‍රය ගොඩක් හොඳ තැනක තියෙනවා. අපි මුලින් පටන් ගත්ත කාලෙට වඩා අපේ ශිල්පීන්ට ගොඩක් අවස්ථා තියෙනවා. නාළිකා ගොඩක් තියෙනවා. සමාජ මාධ්‍ය තියෙනවා. යූටියුබ් නාළිකා තියෙනවා. වේදිකා නාට්‍යවලට හොඳ අවස්ථාවක් තියෙනවා. ටෙලිනාට්‍ය හා සිනමාව දියුණුයි. ඒත් එක්කම ගොඩක්ම අපේ මානව සම්පත් අඩු බවක් දකින්න තියෙනවා. අපේ රංගන ක්ෂේත්‍රයට අවශ්‍ය අයගේ අඩුවක් තියෙනවා.එකම කෙනෙකුට තමයි ගොඩක් අවස්ථා හිමිවෙලා තියෙන්නේ. හැම ටෙලිනාට්‍යයක්ම බැලුවොත් එකම කණ්ඩායමක් ඉන්නවා වගේ පේනවා. චිත්‍රපටවලත් එහෙමයි. තාක්ෂණය අතින් සහ නිර්මාණශීලිත්වය අතින් හොඳ නිර්මාණ මේ වෙද්දි බිහි වෙනවා.”


කාගේ හෝ සිතක් සතුටින් පිරවීම සියල්ලන්ටම කළ නොහැකි දෙයක්. ඒ හැකියාව හරි අපූරුවට පිහිටපු කෙනෙක් තමයි ප්‍රියන්ත කියන්නේ. හාස්‍යෝත්පාදක නළුවෙක් ලෙස ඔහු ලබන සතුට පිළිබඳව අප සමඟ පැවසුවේ මේ ආකාරයෙනි.


“හාස්‍යෝත්පාදක නළුවෙක් වීම ගැන මම ගොඩක් සතුටු වෙනවා. එක එක්කෙනාට උරුම වෙච්ච දෙයක් තියෙනවනෙ.මං කල්පනා කරනවා මං ඇවිත් තියෙන්නෙ මට උරුම වෙච්ච සහ මට ගැළපෙන තැනට කියලා. මං ඒක හරි ආසාවෙන් කැමැත්තෙන් කරනවා. ඒකේ ප්‍රතිචාර මට තියෙනවා. අපේ දුර්වල තැනුත් තියෙනවා. ඒවත් හදාගෙන අවබෝධයෙන් මේ ගමන යනවා. මම හාස්‍යෝත්පාදක නළුවෙක් ලෙස අතිශයින්ම තෘප්තිමත් වෙනවා.”


ප්‍රියන්තගේ කලා ජීවිතයේ ඉදිරි බලාපොරොත්තු ගැන ඇහුවම ඔහු දුන්නේ මේ වගේ උත්තරයක්.


“මගේම කියලා යූටියුබ් නාලිකාවක් ආරම්භ කරන්න කැමැත්තක් තියෙනවා.

gossiplanka image 1
Previous Post Next Post