ලැබෙන නිදහස හරි විදිහට පාවිච්චි කරන්න අපි දැනගන්න ඕන -කුෂ්ලානි රණවන

gossiplanka image 2
කඩවසම් රුවක් හිමි ඔහු කලාවට පිවිසෙන්නේ නිරූපණය ඔස්සේය. එය ඔහු ජාත්‍යන්තරය දක්වා රැගෙන ගියේය. ජාත්‍යන්තරය ජයගත් ප්‍රථම ශ්‍රී ලාංකේය නිරූපණ ශිල්පියා මෙන්ම වැඩිම ජාත්‍යන්තර තරග සංඛ්‍යාවකට සහභාගී වූ නිරූපණ ශිල්පියා ද ඔහුය. හිරිපොද වැස්ස සිනමා නිර්මාණයේ ප්‍රගීත් ලෙසින් ප්‍රේක්ෂක ආදරය ඉහළින්ම දිනාගත් ඔහුට කලාවේ දිගු ඉතිහාසයක් හිමිය. රොෂාන් රණවන නමින් රිදී තිරයේ මෙන්ම පුංචි තිරයේ ද නම රැන්දූ ඔහු ගායනයේ මෙන්ම නිවේදනයේ ද දක්ෂයෙකි. ඔහුගේ සාර්ථක දිවි ගමනට නිරතුරුව සෙවණැල්ල වන ඇය කුෂ්ලානි රණවනය. ඔවුන්ගේ සොඳුරු කැදැල්ලේ තොරතුරු බෙදාගනිමින් පළමුව අප හා කතාබහට එක්වූවේ රොෂාන්ය.


රොෂාන් කියන්නේ හැමදාම ජනප්‍රිය තරුවක්. කොහොමද මේ දවස්වල නිර්මාණ කටයුතු?  


‘අහස්’ සහ ‘See You’ ටෙලි නිර්මාණ මේ වෙද්දි විකාශය වෙලා ඉවරයි. ‘රෝස පිහාටු’ කියලා අලුත්ම ටෙලි නිර්මාණයක් ඉදිරියේදී එන්න තියෙනවා. ඊට අමතරව මගේ අලුත්ම චිත්‍රපටය ‘අහස සිඹින ආදරයක්’ ඉතාම ඉක්මනින් තිරගත වේවි. ඒ වගේම ‘සිහින සරුංගල්’ ළමා චිත්‍රපටය සහ ඉන්දියානු අධ්‍යක්ෂවරයෙක් යටතේ නිර්මාණය වුණු ‘මයි සිම්බා’ චිත්‍රපටයත් එන්න තියෙනවා. හිටපු චිත්‍රපට අධ්‍යක්ෂ ඇලරික් ලයනල්ගේ චිත්‍රපටයේ ඉතිරි වැඩ කටයුතු ඔහුගේ පුතුගේ සහායෙන් කරන්න කටයුතු යොදලා තියෙනවා. මේ දේවල් එක්ක තමයි මේ දවස් ගෙවෙන්නේ.


නිරූපණය ශිල්පියෙක් විදිහට ඔබ ක්ෂේත්‍රය හඳුනගත්තත් ප්‍රේක්ෂකයින් ඔබව හඳුනගන්නේ රංගන ශිල්පියෙක් විදිහට. ඒ අතීතය ගැන සිහිපත් කළොත්?


ඔව්. නිරූපණ ශිල්පියෙක් විදිහට මුලින්ම මං කලාව හඳුනගෙන 2002 වසරේ මිස්ටර් ශ්‍රී ලංකා කිරුළ හිමිකර ගන්නවා. ඒ වසරේම චීනයේ ෂැංහායිවල පැවැති මෑන්ට් හන්ට් ජාත්‍යන්තර තරගයෙන් හත්වැනියා බවට පත්වෙන්නේ නිරූපණ ශිල්පියෙක් ජාත්‍යන්තර තරගයකදී ටොප් ටෙන් ආව පළමු අවස්ථාව විදිහට. එතෙක් ශ්‍රී ලාංකේය නියෝජනයන් සිදු වෙලා තිබුණත් අවසන් දහදෙනා අතරට එන්න කිසිවකුටත් හැකිවෙලා තිබුණෙ නැහැ. 2003 වසරේ Mr. World සහ ට්‍රැෆින් ඉන්ටර්නැෂනල් තරග නියෝජනය කිරීමේ අවස්ථාව ලැබුණා. ඒ වසරේදීම නැවතත් තුර්කියේ පැවැති Best modal of the World තරගයෙන් ලෝකයේ තුන්වැනි ස්ථානය ලැබෙනවා. 2006දී නැවතත් සිංගප්පූරුවේදී පැවැති Mr. International තරගයෙන් ලෝකයේ අටවැනි ස්ථානයට පත්වෙනවා. ලංකාව නියෝජනය කරමින් වැඩිම ජාත්‍යන්තර තරග සංඛ්‍යාවකට ඉදිරිපත් වෙලා තියෙන්නෙත් මං.


ජාත්‍යන්තර තරග කියන්නේ අද සුලබ දෙයක්. ජාත්‍යන්තරයේ ජයග්‍රහණයක් ලද පළමුවැනි නිරූපණ ශිල්පියා විදිහට වර්තමානය ගැන මොකද හිතෙන්නේ?


ඇත්තම කිවුවොත් අද ජාත්‍යන්තර තරග නියෝජනය කරන්න ලැබෙනවා කියන්නෙත් වාසනාවක්. අද තාක්ෂණයේ දියුණුව නිසා තත්පරයක් ඇතුළත ඕනෙම දෙයක් මුළු ලෝකෙටම කියන්න පුළුවන්. මාධ්‍ය ගොඩක් දියුණුයි. සමාජ මාධ්‍යවලින් ලැබෙන සහායත් උපරිමයි. ඒ දවස්වල මේ කිසිදෙයක් තිබුණෙ නැහැ. තරගයකට ගියාට කිසිකෙනෙක් දන්නෙවත් නෑ. රංගන ශිල්පියෙක් විදිහට ජනප්‍රිය වුණාටත් පස්සේ තමයි මං ඒ වගේ තරගවලට ගියා කියලා ගොඩක් දෙනෙක් දන්නේ. ඒක අපේ අවාසනාවක්.


ඒ කියන්නේ රොෂාන්ගේ ජාත්‍යන්තර ජයග්‍රහණ ගැන ප්‍රේක්ෂකයින් දැන ගන්නේ ඔබ රංගන ශිල්පියෙක් වුණාටත් පස්සෙද?


අවාසනාවකට ඇත්ත කතාව ඒකයි. මං සිනමාවට ඇවිත් අවුරුදු 21යි. නමුත් නිරූපණ ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු 24ක්. මුලින්ම සිනමාවට දායක වෙන්නේ උදයකාන්ත වර්ණසූරියගේ හිරිපොද වැස්ස සිනමාපටයේ ප්‍රගීත්ගේ චරිතයෙන්. ඒක මගේ කුලුඳුල් රංගන අත්දැකීම විදිහට අතිශයින්ම ජනප්‍රිය වුණා. හොඳම නැඟී එන නළුවාට හිමි ජනාධිපති සම්මානයත් හිමිවුණා. හිරිපොද වැස්ස තිරගත වෙන්න කලින් මං රංගනයෙන් දායක වුණු වසූදා ටෙලි නිර්මාණය විකාශය වුණා. ඒවා ගැන කතා කරද්දි තමයි බොහෝ දෙනෙක් මගේ තරග ජයග්‍රහණ ගැන දැනගත්තේ.


හිරිපොද වැස්සත් අහම්බෙන් ලැබුණු අවස්ථාවක් නේද?


ඔව්. ඒකට මගේ අම්ම තමයි ඉල්ලුම්පතක් දාල තිබුණේ. ඔඩිෂන් ඉවර වුණාටත් පස්සෙ තමයි මට ඔඩිෂන් එන්න කියලා ලියුම එන්නේ. අම්මගේ බල කිරීමට තමයි මං එදා උදයකාන්ත මහත්තයව මුණගැහෙන්නේ. ඒත් එදා හරි දන්වන්නම් කියලා මාව එවුවා. මගේ වෙලාවට ඊට පස්සේ මං සම්බන්ධ වුණු වෙළෙඳ දැන්වීමක කැමරා අධ්‍යක්ෂ වගේම ඩිරෙක්ටර් විදිහට කටයුතු කළ ජයනාත් ගුණවර්ධන තමයි හිරිපොද වැස්ස කැමරා අධ්‍යක්ෂ වෙලා හිටියේ. මං දැක්ක ගමන්ම ඔහු මගෙන් ඇහුවේ ඔයා නළුවෙක් වෙන්න කැමැති නැද්ද කියලා. මං ආසයි. මං මෙහෙම ඔඩිෂන් එකකටත් ගියා කියලා මං කිව්වා. ඉන්නකො මං ඔයාට කෙනෙක්ව අඳුන්වලා දෙන්නම් කියලා ඔහු එතැනට ගෙන්නුවේ උදයකාන්ත මහත්තයාමයි. ඒ හමුවීමෙනුත් ටික කාලෙකට පස්සේ තමයි මාව ප්‍රධාන චරිතයට තෝරගත්තා කියන ඇමතුම ලැබෙන්නේ.‍


ඔබ ගොඩක් ජනප්‍රිය සිනමා තරුවක් විදිහට. පුංචි තිරයේ දායකත්වය ගැන කතා කළොත්?


මුලින්ම මං හිරිපොද වැස්ස හරහා සිනමාවට සම්බන්ධ වුණත් හිරිපොද වැස්ස තිරගත වෙන්න කලින් මං පසුව සම්බන්ධ වුණු වසූදා ටෙලි නිර්මාණය විකාශය වුණා. වසූදාහි අමල් කියන චරිතය ප්‍රේක්ෂකයින් අතරට ගිහින් ගොඩක් ජනප්‍රිය වුණා. හිරිපොද වැස්ස තිරගත වෙද්දී අමල් නිසා මං ගොඩක් ජනප්‍රිය වෙලා හිටියා. හිරිපොද වැස්ස තිරගත වෙද්දි ඒකත් මට ලොකු වාසියක් වුණා. ඊට අමතරව ආසයි මං පියාඹන්න, සුවඳ දැනුණා ජීවිතේ, ඩාන්සින් ස්ටාර්, චැලෙන්ජර්ස්, මහින්දාගමනය, කුසපබා වගේ සිනමා නිර්මාණ වගේම වසූදා, කාව්‍යා, සිහින විමන් වගේ ටෙලි නිර්මාණත් ගොඩක් ජනප්‍රිය වුණා.


රොෂාන් රණවන කියන්නේ සාර්ථක යුග දිවියක් ගත කරන රංගන ශිල්පියෙක් විදිහටත් ප්‍රසිද්ධයි. ආදරණීය බිරිය කුෂ්ලානිගේ හමුවීම ගැන කතා කළොත්?


එයා හිටියේ මගේ ආච්චියි සීයයි හිටපු ගෙවල් ළඟ. මං එයාලව බලන්න ගිය වෙලාවක තමයි එයාව මුලින්ම දකින්නේ. ඒ 2001දී. අපි යාළු වෙන්නේ 2003දී. දැනට අපි විවාහ වෙලා අවුරුදු දොළහක්. දැන් අපිට ලස්සන පුංචි පුතෙකුත් ඉන්නවා.


ඇයගෙන් ලැබෙන සහාය මොන වගේද?


ඇයගෙන් උපරිම සහායක් ලැබෙනවා. මටත් වඩා මගේ වැඩ ගැන උනන්දු වෙන්නේ එයා. මං දේකට කම්මැලි වුණත් එයා තමයි මාව උනන්දු කරවන්නේ. යන තැන,අඳින පලඳින ඇඳුම, කරන දේ එක්ක කලාවේ හැම දිශාවක් ගැනම හොයලා බලන්න යොමු කෙරෙවුවේ එයා. හරියට මගේ මැනේජර් වගේ තමයි.


මිනෙත් පුතාත් මේ දවස්වල ගොඩක් ජනප්‍රිය චරිතයක්. ඔහු ගැන මොකද හිතෙන්නේ?


පහුගිය දවසක හැඳල පන්සලේදී ‘බුදු හාමුදුරුවෝ අපිත් දකින්නැති‘ කියන බැති ගීය මාත් එක්ක ගායනා කළා. එක දවසකදී ඒක ලක්ෂ දාහතරක් බලලා තිබුණා. ගිය අවුරුද්දේ එයා දකුණු ඉන්දියානූ ගායක ක්‍රිෂ් එක්ක ‘මයි සිම්බා‘ චිත්‍රපටයට පසුබිම් ගායනයෙනුත් දායක වුණා. ඒක තමයි ඔහුගේ පළමු සිනමා දායකත්වය. ඒ වගේම අහස සිඹින ආදරයක් සිනමාපටයේ පොඩි අවස්ථාවකට රංගන දායකත්වයත් ලබාදුන්නා. තවත් චිත්‍රපට දෙකකට රංගනයෙන් සහ ගායනයෙන් දායක වුණා. එයාට චිත්‍ර අඳින්නත් පුළුවන්. ඕනෙම තැනකට ගැළපෙන විදිහට අවශ්‍ය දේ කරන්න එයා දන්නවා.


සෙලින්කෝ ෆැමිලි සවාරියත් එක්ක දැන් ඔබේ පුතාත් එක් වෙලා නේද?


එයා ඉපදුණු දවසෙ ඉඳන්ම එහි සන්නාම තානාපති. මං හිතන්නේ එයා වෙන්න ඇති ළාබාලම කෙනා. රටවලට ගියහම එයා මිනිස්සු එක්ක කතා කරනවා. වොයිස් කට් දෙනවා. හරිම ඇක්ටිව්. දැන් අපි සෙලින්කෝ එක්ක එකතු වෙලත් අවුරුදු 11ක්.


රොෂාන්ගේ ආදරණීය බිරිය කුෂ්ලානිත් අපි අපේ කතාබහට එක්කර ගත්තා.


කුෂ්ලානිත් මේ දවස්වල කාර්යබහුල වෙලා නේද?


පුතා ලැබුණට පස්සේ රැකියාවෙන් ඉවත් වෙලා ඉඳලා දැන් ආයෙත් රැකියාවට යන්න පටන් ගත්තා. ඒ නිසා දැන් ජීවිතේ ආයෙමත් ටිකක් කාර්යබහුල වෙලා තියෙනවා.


රොෂාන් කියන්නේ ගොඩක් ජනප්‍රිය චරිතයක්. මේ වගේ සැමියෙක් ලැබීම ගැන මොකද හිතෙන්නේ?


ඇත්තටම රොෂාන් කියන්නේ හරිම ආදරණීය සැමියෙක්. අද සමාජයේ අහන, දකින දේවල් එක්ක පවුලකට වටිනාකමක් දෙන, බිරියකට වටිනාකමක් දෙන, දරුවා වෙනුවෙන් කාලය වැය කරන මේ වගේ කෙනෙක් ලැබෙනවා කියන්නෙ වාසනාවක්. එයාගේ ක්ෂේත්‍රයේ වැඩක් එක්ක කොතරම් කාර්යබහුල වුණත් එයා පවුලට දෙන කාලය හා වටිනාකම ගැන තමයි මං ගොඩක්ම සතුටු වෙන්නේ. ඕනෑම කෙනෙක් විවාහ ජීවිතය පටන් ගන්නේ කිසිදෙයක් නොදැන. විවාහයට පෙර ආදරවන්තයෙක් විතරක් වුණාට විවාහයෙන් පස්සේ වගකීම් එක්ක ගොඩක් දෙනා වෙනස් වෙනවා. එතැනදිත් නොවෙනස් වුණු මං බලාපොරොත්තු වුණු දේවල් උපරිමයෙන්ම ලබාදෙන සැමියෙක් ඔහු.


රොෂාන් කලාවට සම්බන්ධ වෙන්නේ ජනප්‍රිය වෙන්නේ ඔබේ හමුවීමෙන් පස්සේ? ඔබේ අකමැත්තක් තිබුණේ නැද්ද?


ඕනෙම කෙනෙකුට කැමැති දේ කරන්න මං නිදහස දෙනවා. ඒ මගේ හැටි. ඕනෙම කෙනෙකුට තමුන්ට ආස දේ කරන්න, ආස විදිහට ජීවත් වෙන්න නිදහස නැත්නම් එතනින් එහාට ජීවත් වෙලා වැඩක් නෑ. නිදහස කියන දේ ඕනෙම කෙනෙකුට වටිනවා. හැබැයි නිදහස ලැබෙන කෙනා ඒ ලැබුණු නිදහස හරි විදිහට පාවිච්චි කරන්නත් දැනගන්න ඕන.

gossiplanka image 1
Previous Post Next Post