දැන් වුණත් ඇක්ටිව් වෙලා ඉන්නේ ඩාන්සින් නිසා - නිලන්ති ඩයස්

gossiplanka image 1
නිලන්ති ඩයස් කියන්නෙ එදා රිදී තිරයෙන් ප්‍රේක්ෂක ඔබ වෙත සමීප වුණු කවුරුත් ආදරේ කරන රංගන ශිල්පිනියක්. ඒ වගේම බොහෝ දෙනාගේ ඇස් වශී වෙන විදිහට නර්තනයේ යෙදෙන දක්ෂ නර්තන ශිල්පිනියක්. ඇයගේ සුන්දර නර්තනයෙන් හැඩවෙන සිනමා නිර්මාණයක් තමයි හවුස් ෆුල් කියන්නේ. මැයි 29 වනදා සිට තිරගත වන හවුස් ෆුල් ගැන වගේම මේ දිනවල පුංචි තිරයේ විකාශය වන ප්‍රාර්ථනා ගැන රසඳුන සමඟ කළ කතාබහයි මේ…


මේ දවස්වල මොකද වෙන්නේ


අප්‍රේල් මාසේ නම් දැඩි කාර්යබහුල මාසයක් වුණා. ඒ නිසා මේ මාසේ නම් වැඩි වැඩ කොටසක් භාර ගත්තේ නැහැ. පොඩ්ඩක් නිදහසේ මගේ ඩාන්සින් ටීම් එක එක්ක වැඩ ටිකකට සහභාගි වෙනවා. ඒ එක්කම ලබන මාසේත් ලොකු ප්‍රසංගයකට ඩාන්සින් අයිටම් කිහිපයක් කරනවා. ජිප්සීස් සංගීත කණ්ඩායමේ ප්‍රසංගවලටත් මම ආයේ සහභාගි වෙනවා. ඒ දේවල්වල පුහුණුවීම් වැඩවලට තමයි මේ කාලය යොදා ගන්නේ. ඔය අතරේ ලැබෙන සිනමා නිර්මාණවලට රංගනයෙන් දායක වෙනවා.


මැයි 29 වනදා සිට නැවත නිලන්තිව රිදී තිරයෙන් දකින්නත් ලැබෙනවා නේද?


ඔව්. ලාල් ප්‍රියදේව අයියාගේ හවුස් ෆුල් චිත්‍රපටය මැයි 29 ඉඳන් තිරගත වෙනවා. මොහාන් පෙරේරා මහතාගේ නිෂ්පාදනයක් වගේම සුනිල් ටී. ප්‍රනාන්දු සහ ගිහානි පෙරේරාගේ සම නිෂ්පාදනයක්. සුනිල් ටී ප්‍රනාන්දු මහතාගේ 75 වන සිනමා නිර්මාණය. ලාල් අයියා කියන්නේ මගේ පළමු සිනමා නිර්මාණයේ අධ්‍යක්ෂතුමා. මම ඉස්සෙල්ලාම සිනමාවට එන්නේ 2000 වසරේ තිරගත වුණු ‘ජොලි හලෝ‘ චිත්‍රපටයේ ප්‍රධාන චරිතෙන්. සුනිල් ටී මහතා තමයි මට කතා කළේ මේ හවුස් ෆුල් චිත්‍රපටයේ ලස්සන සින්දුවක් තියෙනවා කියලා. ගංගොඩතැන්න අයියා එක්ක තමයි මට රඟපාන්න තිබ්බේ. ඒ වගේ ප්‍රවීණ කලාකරුවෙක් එක්ක වැඩ කරන්න ලැබීමත් වාසනාවක්. හවුස් ෆුල් කියන්නේ ප්‍රහසන චිත්‍රපටයක් වගේම ලස්සන කතාවක් තියෙන නිර්මාණයක්. ඒ නිසා මම හිතනවා ප්‍රේක්ෂකයින් ආදරෙන් වැලඳ ගනී කියලා. කාලෙකින් මගේ ෆිල්ම් එකකුත් ආවෙත් නැති නිසා වෙනස් වැඩක් වෙයි.


අමතක නොවන මතකයන් ඇති?


මට ගංගොඩතැන්න අයියා එක්ක මුලින්ම වැඩ කරන්න ලැබුණේ 2005 වසරේ තිරගත වුණු රන්ජන් රාමනායකගේ ‘වන්ෂොට්‘ චිත්‍රපටයේ. එදා රන්ජන් මහතා උස්සලා අරන් පුටුවකට අතහරිනවා. ඒත් මම හිතුවා අනේ දෙයියනේ මේ මනුස්සයාගේ ඇටකටු ටික ඉතුරු වෙයිද කියලත්. ඒ වුණත් එතුමා ඉතාම ජවසම්පන්න විදිහට එදත් රඟපෑවේ. එදා මගේ ඒ රංගනය වෙනුවෙන් සරසවි සම්මාන උලෙළේ දී කුසලතා සම්මානයක් ලැබුණා. එදා දැක්ක ගංගොඩතැන්න අයියම තමයි අදත් ඉන්නේ. කිසි වෙනසක් නැහැ. මේ හවුස් ෆුල් චිත්‍රපටයේ ගංගොඩතැන්න අයියාට තිබ්බේ මා එක්ක නටන්න. සමහර තැන්වලදී මෙහෙම හොඳයි ද කියලා නිතර අහමින් ඉතා සහයෝගයෙන් වැඩ කළේ. එතුමා වගේ කෙනෙක් අපි වගේ අයගෙන් අදහස් අරගෙන තමයි චරිතෙට අවතීර්ණ වුණේ. මම හිතනවා හවුස් ෆුල් එතුමාටත් වෙනසක් ගෙන දෙන නිර්මාණයක් වෙයි කියලා.


කාලෙකින් ඔබව පුංචි තිරයෙන් දකින්න ලැබුණා?


හර්ෂ උඩකන්දගේ ප්‍රාර්ථනා නාට්‍යයේ රඟපානවා. දැන් ඉස්සර වගේ නෙවෙයිනේ ටෙලි නාට්‍ය කිවුවම කොටස් 100/200 සහ 300වගේ නිර්මාණ තියෙන නිසා තමයි පුංචි තිරයෙන් එතරම් දකින්න නැත්තේ. දීර්ඝකාලීනව දින වෙන් කරන්න බැරි නිසා මම වැඩියම නාට්‍ය භාර ගන්නේ නැහැ. හැබැයි හොඳ චරිතයක් ලැබුණොත් මම කරනවා.


ප්‍රාර්ථනා නාට්‍යයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?


ප්‍රාර්ථනා නාට්‍යයේ මම රඟපාන්නේ අම්මා කෙනෙක්ගේ චරිතයක්. ඉතාම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මඟ තොටේදී හමුවෙන ප්‍රේක්ෂකයින් අහන්නේ අවසානයේ මොන වගේ දෙයක් ද වෙන්නේ කියන එක.


ජිප්සීස් සංගීත කණ්ඩායම එක්ක මුලින්ම සම්බන්ධ වුණේ කොයි කාලෙද?


1999 දී තමයි මුලින්ම සම්බන්ධ වුණේ. එදා ඉඳන් අවුරුදු ගාණක් මම ජිප්සීස් සංගීත කණ්ඩායම එක්ක රටවල් ගණනාවකට ගිහින් තියෙනවා. ඉස්සර ඉතින් පිටි කොටපන් කිවුව ගමන් මතක් වෙන්නේ අපේ නැටුම් කණ්ඩායම. මොකද දැන් වගේ ස්ටේජ් එකක් උඩ නටන සම්ප්‍රදාය තිබ්බේ නැහැනේ. ඒ නිසා අපේ නැටුම් කණ්ඩායම නටද්දී හැමෝටම හරි පුදුමයි. ආයේ ඉතින් පියල් අයියා ආරාධනා කළා එන්න කියලා. ඒ නිසා දැන් ආයෙම අපි ජිප්සීස් කණ්ඩායම එක්ක අපේ නැටුම් කණ්ඩායමත් සහභාගි වෙනවා. පිටි කොටපන් නෝනේ, ඔජායේ, කොත්තමල්ලි, කොල්ලෝ මේ කියන සින්දුවලට තමයි අපි වැඩි වශයෙන් නටන්නේ.


නිලන්ති නැටුම් පන්තියක් කරනවද?


පන්ති කරන්නේ නැහැ. මගේ නැටුම් කණ්ඩායමක් තියෙනවා. ප්‍රසංගවලට ආරාධනා ආවම ඒ ලැබෙන ආරාධනා අනුව පුහුණුවීම් කරලා අපේ කණ්ඩායම සහභාගි වෙනවා.


නැටුම් නැත්නම් නිලන්ති නැහැ, අද ඉන්න තැන එක්ක මොකද හිතෙන්නේ?


ඇත්තටම මට හරිම සතුටුයි. මම පොඩි කාලේ ඉඳන් නැටුම් හදාරපු කෙනෙක්. නැටුම් නිසා මගේ ජීවිතේට ගොඩක් දේවල් ලැබිලා තියෙනවා. මම උඩරට, පහතරට, භරත, ලතින් ඇමරිකන් ඒ හැම නැටුම් අංගයක්ම හදාරලා තියෙනවා. ඒ දේවල් නිසා මගේ ජීවතේට ආලෝකයක් වෙලා තියෙනවා. මම දැන් වුණත් ඇක්ටිව් වෙලා ඉන්නේ ඩාන්සින් නිසා. ඒ නිසා මම නම් කියන්නේ කලාකරුවෙක් වෙන්නම නෙවෙයි ඕනෙම ගැහැනු ළමයෙක් හැදෑරිය යුතු හොඳම කලා විෂය නර්තනය. ඒ හරහා ආත්ම විශ්වාසය, සිරුරේ නම්‍යශීලි බව හොඳින් පවත්වා ගන්න පුළුවන්.


නිලන්තිට ඉන්නෙත් ලස්සන දුවෙක්, ඇයත් නර්තනය සහ කලාවට වැඩි කැමැත්තක් දක්වන කෙනෙක් ද?


දැනට නම් දුව ඩාන්සින්වලට වැඩි කැමැත්තක් නැහැ. මම ඉතින් කවදාවත් දුවට මේ දේවල් කරන්න කියන බලපෑම කරන්නේ නැහැ. තාම ඉගෙනීමේ කටයුතු කරන නිසා ඉදිරියේදී මොන අංශය තෝරා ගනීද කියන්න බැහැ. දුවත් කලාවට යොමු වෙනවා නම් ඊට මගේ කිසිම අකමැත්තක් නැහැ. හැබැයි මම එයාට නිදහස දීලා තියෙන්නේ එයාට තියෙන දක්ෂතා ඔස්සේ ඉදිරියට යන්න.


සිනමාවෙන් එන්න තියෙන නිර්මාණ මොනවද?


ලාල් අයියාගේම ‘නුහුරු වෑයම‘, රජිත හිරාන්ගේ ‘සාක්ෂි‘ චිත්‍රපටය, සනත් අබේසේකරගේ ‘වාරියපොළ ශ්‍රී සුමංගල හිමිගේ කතාව‘ රැගත් සිනමා නිර්මාණය.


අවසාන වශයෙන් හවුස් ෆුල් බලන්න ආදරණීය ප්‍රේක්ෂකයන්ට මොන වගේ ඇරියුමක් ද කරන්නේ?


අපි හැමෝම අඩු වැඩි වශයෙන් ප්‍රශ්න සහ කරදර එක්කනේ ඉන්නේ. ඉතින් ඒ හැම දෙයකින්ම මිදිලා පොඩ්ඩක් රිලැක්ස් වෙන්න හොඳ නිර්මාණයක් තමයි හවුස් ෆුල් කියන්නේ. ඒ නිසා හැමෝටම ආරාධනා කරනවා ඇවිත් මේ චිත්‍රපටය බලන්න. හවුස් ෆුල් චිත්‍රපටය, හවුස් ෆුල් වෙන්නම කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.

gossiplanka image 2
Previous Post Next Post