රස්සාවට පට්ටම ආදරෙයි- වසන්ත කුමාරවිල

gossiplanka image 2
වසන්ත කුමාරවිල කියන්නේ දක්ෂ චරිතාංග රංගන ශිල්පියෙක් වගේම අපිට සිටින දක්ෂ සටන් අධ්‍යක්ෂවරයෙක්. ඒ වගේම නිෂ්පාදකවරයෙක්. මේ දිනවලත් ඔහුගේ නිෂ්පාදනයෙන් සටන් අධ්‍යක්ෂණයෙන් සහ රංගනයෙන් හැඩවෙන සෝණා චිත්‍රපටය තිරගත වෙනවා. ඒ එක්කම සටන් අධ්‍යක්ෂණයෙන් සහ රංගනයෙන් දායක වන දේවි කුසුමාසන චිත්‍රපටයත් තිරගත වෙනවා. ඒ සියල්ල ගැන මේ කෙටි කතාබහ වසන්ත කුමාරවිල සමඟ.


 මේ දවස්වල වැඩි කාලයක් දීලා තියෙන්නේ සෝණාට?


ඔව්. මේ මොහොතේ මම මගේ වැඩි කාලයක් යොදවන්නේ සෝණා චිත්‍රපටයේ ප්‍රවර්ධන කටයුතු සඳහා. ලංකාවේ චිත්‍රපට හදන්න ලේසියි. නමුත් බෙදාහැරීමේදී සුන්දරම ක්‍රමවේදයක් හැදිලා නැහැ. මම පළමු වතාවට සිනේස්ටාර් පදනම එක්ක අත්වැල් බැඳගන්නවා. ජයන්ත ධර්මදාස මහතාගේ සංකල්පයක් හැටියට ඔවුන් අත දිගු කරනවා චිත්‍රපට බෙදාහැරීමේදී ඇතිවන ප්‍රශ්න වලට. මගේ චිත්‍රපටය හරහා එක රුපියලක් හරි සිනේස්ටාර් පදනමට දෙන්න පුළුවන් නම් ඒ තුළින් මම සතුටක් ලබනවා. ඒ රුපියල යන්නේ මගේ කලාකරුවන් වෙනුවෙන්. ජයන්ත ධර්මදාස මහතාට සහ සිනේස්ටාර් පදනමේ සියලුම ශිල්පීන්ට මම ස්තුතිවන්ත වෙනවා ඔවුන්ගේ පළමු වැඩේ දී මගේ සෝණා චිත්‍රපටය තෝරා ගැනීම ගැන.


සෝණා හි ඔබට භූමිකාවන් කිහිපයක් තියෙනවා නේද?


ඔව්. සෝණා හි නිෂ්පාදකවරයා සටන් අධ්‍යක්ෂවරයා සහ එහි චරිතයක් නිරූපණය කරනවා.


 මේ අංශ තුනේම නියැළීම තුළ ලබපු අත්දැකීම කොහොමද?


නිෂ්පාදනය කියන එක මම 2004 දී මුලින්ම කරන්නේ මගේ අන්ඩර් වර්ල්ඩ් චිත්‍රපටය හරහා. ඊට පස්සේ රන් සයුර සහ මානය වගේ චිත්‍රපට නිෂ්පාදනය කළා. මම චිත්‍රපට නිෂ්පාදනයට එන්නේ මුදල් හම්බ කරන්න ආසාවෙන් නෙවෙයි. හැබැයි මම මුදල් තියෙන මනුස්සෙයෙකුත් නෙවෙයි. ඒත් සිනමාවට සම්බන්ධ වුණු කාලේ ඉඳන්ම මට දෙයක් කරන්න හිතුණොත් ඒ දේ කරනවා. ඒ දඩබ්බරකම මට තියෙනවා. ඒ දඩබ්බරකම එක්ක තමයි මම නිෂ්පාදනයට එන්නේ. ඒ එක්කම සමහර නිර්මාණවලට දායක වුණාම මට ලෝබයි ඒ නිර්මාණවලදී මට දෙයක් කර ගන්න බැරි වීම ගැන. සටන් කලාව මූලික වුණු නිර්මාණ තමයි මම නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඒ සටන් කලාවට තියෙන කෑදරකම නිසා.


 සෝණා නිර්මාණය ගැන කෙටියෙන් කිවුවොත්?


සෝණා තුළ සටන් කලාව වගේම පවුල් පසුබිම ආදරය සමාජයට විශාල ආදර්ශයක් මේ හරහා අපි දෙනවා. සෝණා පවුලේ සැමට එකට වාඩිවෙලා විඳින්න පුළුවන් චිත්‍රපටයක්. මෙහි සුවිශේෂත්වය වෙන්නේ වාණිජ සිනමා පටන් ගත්තම විනෝද වේවි බලන්න පුළුවන් නේ. හැබැයි මේ නිර්මාණය හරි සියුම්ව බැලිය යුතු නිර්මාණයක්. මේ නිර්මාණය තුළ ලස්සන කතාවක් තියෙනවා. ඒ කතාව තේරුම් ගන්න නම් මුල ඉඳන් අග වෙනකම්ම බලන් ඉන්නම ඕනේ. මම ආදරණීය ප්‍රේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටින්නේ චිත්‍රපටයක් බලන්න නම් සිනමාශාලාවකටම යන්න කියලයි.


 සෝණා හරහා අලුත් තරුණ කණ්ඩායමක් සිනමාවට එකතු වෙනවානේ, ඒ ගැනත් කියමු


ඔව්. ශාන් ජයරත්න අධ්‍යක්ෂවරයාට අවුරුදු 27යි. එතකොට එඩිටර්ට අවුරුදු 23 යි. එතකොට මෙහි සංගීත අධ්‍යක්ෂවරයා විහඟ මුතුතන්ත්‍රි. එයාගේ පළමු සිනමා අත්දැකීම. ඔහු ඉන්දියානු සාරය සහිත වෙනස්ම ආකාරයේ සංගීත නාද මුසු කරලා තියෙන්නේ. ඒ තරුණ ජවයේ ශක්තිය. මියුසික් ඩිරෙක්ටර්ට අවුරුදු 24 යි. මේ සුසංයෝග එකතුවෙන් නව පරම්පරාවට හදපු නිර්මාණයක්. මට පොඩි ආඩම්බරයක් දැනෙනවා අලුත් පරම්පරාව එකතු කරලා ඒ අලුත් පරම්පරාවේ පළවෙනි නිර්මාණය මට නිෂ්පාදනය කරන්න ලැබීම. මට මගේ ආරම්භයේ දී එහෙම උදව් ලැබුණේ නැහැ. එහෙම ලැබුණේ නැහැ කියලා මම මගේ ගමන නතර කළෙත් නැහැ. හැබැයි මේ දරුවන්ට ඔවුන්ගේ හැකියාවන් පෙන්නුම් කරන්න මට ශක්තියක් වෙන්න ලැබීම ගැන සතුටක් තියෙනවා.


 සෝණා ගැන කතා කරනවා වගේම ඔබේම සටන් අධ්‍යක්ෂණයෙන් සහ රංගනයෙන් දායක වූ දේවි කුසුමාසන චිත්‍රපටයත් රිදී තිරයේ දකින්න ලැබෙනවා නේද?


දේවි කුසුමාසන මගේ ජීවිතේ සුවිශේෂීම සංධිස්ථානයක් වෙනවා. ජයන්ත අයියා එක්ක මම වැඩ කරන පළමු නිර්මාණය. දේවි කුසුමාසන චිත්‍රපටය විශේෂ වන්නෙම ජයන්ත චන්ද්‍රසිරි වැනි සුවිශේෂී අධ්‍යක්ෂවරයෙක් මම වගේ කෙනෙක්ව සිය නිර්මාණයේ සටන් අධ්‍යක්ෂවරයා විදියට තෝරා ගැනීම. ඒ කියන්නේ මම නවීකරණය වෙච්ච සහ නවීන සටන් අධ්‍යක්ෂවරයෙක්. මම එහි කේබල් සටන් කලාව හඳුන්වා දෙනවා. මා කෙරෙහි විශ්වාස කරලා මාව ගත්ත එකට හදවතින්ම ස්තූතිවන්ත වෙනවා. ඒ එක්කම ලයිකා නිෂ්පාදන හි ජානකි විජේරත්නටත් ස්තූතිවන්ත වෙනවා. ඕනේ හැටිය අවස්ථාව තිබ්බා ඉන්දියාවෙන් කෙනෙක් ගේන්න. හැබැයි ජයන්ත අයියා හැම වෙලාවේම කිවුවේ මගේ රටේ මොහු ගැන මට විශ්වාසයයි කියලා. මම හිතනවා ඒ විශ්වාසය මම ඒ විදියටම ඉෂ්ට කළා කියලා.


 සටන් නළුවෙක්ට ආදරේ කරන ප්‍රේක්ෂකයන් අඩුයි, හැබැයි වසන්ත කුමාරවිලට එහෙම නැහැ. ආදරණීය ප්‍රේක්ෂකයන් පිරිසක් ඉන්නවා. මේ තත්ත්වය දකින්නේ කොහොමද?


මම මගේ කලා ජීවිතේ පටන් ගත්තේ පුංචිම තැනින්. ඒ කියන්නේ කලාකරුවෙක් විදියට නැඟිටින්න අමාරුම තැනින්. ඒ කියන්නේ සටන් කරුවෙක් විදියට. මම එන කාලේ සටන් කරුවෙක්ට එහෙම ලොකු පිළිගැනීමක් තිබුණේ නැහැ. දැන් නම් ඒ දේ වෙනස් වෙලා තියෙනවා. මම රඟපාන චරිතේ කළු ද සුදු ද කියන එක මට අදාළ නැහැ. මම උත්සාහ කළේ හැම වෙලාවේම කරන දේ හරියට කරන්න. ඒ ගත්ත උත්සාහය තුළ මට තිබ්බ ආත්ම ශක්තිය සහ අභියෝග දරා ගැනීම කියන මේ සියල්ල කැටි කරගෙන මම රංගනයට සහ සටන් අධ්‍යක්ෂණයට දායක වෙන්නේ. මම කවදාවත් මගේ රැකියාවට බොරු කරන්නේ නැහැ. මගේ රස්සාවට මම පට්ට ආදරෙයි. මේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්ත තුළ. ඒ විශ්වාසය තුළ මම මාව ගොඩනඟන්නේ. මම මගේ ආදරේ මගේ ප්‍රේක්ෂකයින්ට දෙනවා. ඒ නිසාම දෝ දන්නේ නැහැ මට ලොකු පොඩි මහලු හැමෝගෙන්ම ආදරේ ලබනවා.

gossiplanka image 1
Previous Post Next Post