පුංචි කාලෙ ඉඳන්ම සිනමාව ගැන ලොකු හීනයක් තිබුණා මේ සැබෑ වෙන්නෙ ඒ හීනය -ප්‍රියන්ත සිරිකුමාර

gossiplanka image 2
රයිගම් ටෙලීස් 2025 ටෙලි සම්මාන උලෙළේ හොඳම නළුවා ලෙස අභිෂේක ලද ඔහු රංගනයෙන් දායක වන නෙළුම් කුළුණ සහ වාලම්පුරි සිනමාපට මේ දිනවල ආදායම් වාර්තා තබමින් තිරගත වෙයි. සාර්ථකව දින පනහ පසුකරමින් තිරගත වන නෙළුම් කුළුණ සිනමාපටයේ ලොකු පුතා මෙන්ම අතිසාර්ථක ආරම්භක දිනයක් සනිටුහන් කළ වාලම්පුරි සිනමාපටයේ සිඩ්නිගේ චරිතයෙන් මේ දිනවල ප්‍රේක්ෂක ඔබේ ආදරය ඉහළින්ම දිනා සිටින ඔහු ප්‍රවීණ රංගන ශිල්පී ප්‍රියන්ත සිරිකුමාරය. අද අපේ සොඳුරු කතාබහ ඔහු සමඟිනි.


ඔබ රංගනයෙන් දායක වන සිනමා නිර්මාණ දෙකක් මේ දිනවල අතිසාර්ථකව තිරගත වෙනවා. ආදායම් වාර්තා තබමින් තිරගත වීම ඇරැඹුණු වාලම්පුරි ගැන කතා කළොත්?


වාලම්පුරි සාර්ථක ආරම්භයක් ලබමින් පසුගිය 25 වැනිදා තිරගත වීම ඇරැඹුණා. ඒක ලොකු සතුටක්. පුංචි කාලෙ ඉඳන්ම සිනමාව ගැන ලොකු හීනයක් තිබුණා. මේ සැබෑ වෙන්නෙ ඒ හීනය කිව්වත් හරි. මං සිනමාවේ ප්‍රධාන චරිතයකින් හමුවන පළමු අවස්ථාව මේක. පුද්ගලයන් විදිහට අපි මේ රටේ ඉපදිලා, ජීවිත කාලය ගෙවලා, මැරිලා යනකොට මොකක්ද අපිට තියෙන වටිනාකම කියන එකට වගේම මොන විදිහටද තමන්ගෙ ජීවිත කාලය මේ රට තුළ ගෙවලා ඉවර කරන්න ඕන කියන එකට උත්තර හෙව්වොත් අපි මෙතෙක් කල් ගතකරලා තියෙන්නේ ඒවට උත්තර නැතුව. අන්න ඒ ගැටලුවලට උත්තර හොයන්න මේ රටේ තරුණ පරම්පරාව යොදාගන්නෙ කොහොමද කියන එක තමයි වාලම්පුරි හරහා කතා කරන්නේ. ලක්මාල් ධර්මවර්ධන හරි ලස්සනට සිනමාරූපීව ආකර්ෂණීය විදිහට සිනමා භාෂාව ඇතුළේ මේ කාරණා සාකච්ඡාවට අරන් තියෙනවා. ඇත්තටම කලා නිර්මාණ හරහා ඒ මැදිහත් වීම හරි ලස්සනට කරන්න පුළුවන් කියන එක ඔහු ඉතාම හොඳින් ඔප්පු කරලා තියෙනවා. වාලම්පුරි කියන්නෙ කාලීන සංකල්පයක් පදනම් කරගත් නිර්මාණයක් වුණත් එය සර්වකාලීනයි කියලයි මට හිතෙන්නේ.


වාලම්පුරියක් ලැබෙනවා කියන්නේ සිතූ පැතූ සම්පත් ලැබෙනවා කියන එකනේ. ඒ ඔස්සේ මේ නිර්මාණය හරහා සමාජගත කරන්න උත්සාහ කරන්නෙ මොකක්ද?


මේ චිත්‍රපටයේ එන හැම චරිතයක්ම මේ සමාජයේම ජීවත් වෙන චරිත. මම සිඩ්නි ඩයස්. සිඩ්නි කියන්නෙත් ඒ වගේ චරිතයක්. අපි අපේ ඉතිහාසය ගැන දීර්ඝකාලීන අධ්‍යයනයක් කරල බැලුවොත් පැහැදිලි වෙන්නේ කිසිම අවස්ථාවක අපට ධනාත්මක දේවල් ලැබිල නැහැ කියලා. හැම වෙලාවෙම ඒක හරි යන එකක් නෑ කියන පසුබසින මානසික ස්වරූපයක් තමයි අපට තියෙන්නේ. නිධන් හාරන එක ගත්තොත්, ඇත් දළ විකුණන එක ගත්තොත් එහෙම නැත්නම් බලි, තොවිල්, ශාන්තිකර්ම, සාස්තර වගේ මේ හැම එකක්ම ප්‍රායෝගික තලයේ දේවල් නෙවෙයි. ඉබේ පහළ වෙයි කියලා හිතමින් අපි උත්සාහ කරන දේවල්. වාලම්පුරිය කියන්නෙත් ඒ වගේ සංකේතයක්. වාලම්පූරියක් අතට ආවට පස්සේ හැමදේම ඉබේ ලැබෙනවා කියලයි හිතන්නේ. මේ සිනමාපටය ඇතුළේ වාලම්පුරිය ලැබුණම ඔවුන්ගේ ජීවිතවලට මොකද වුණේ කියලා දැනගන්න සිනමාපටය නරඹන්න කියලා ආරාධනා කරනවා.


පළමු වතාවට ඔබ සිනමාවේ ප්‍රධාන චරිතයකින් හමුවන්නේ කුලුඳුල් සිනමා අධ්‍යක්ෂවරයකුගේ සිනමා නිර්මාණයක් එක්ක. කොහොමද ඒ අත්දැකීම?


ලක්මාල් ධර්මවර්ධන කියන්නේ සිනමාවට නවකයෙක් වුණාට පුංචි තිරයේ ලොකු පෙරළියක් කළ අධ්‍යක්ෂවරයෙක්. කූඹියෝ හරහා ඔහු පුංචි තිරයේ වෙනස්ම ප්‍රේක්ෂකාගාරයක් නිර්මාණය කළා කිව්වත් හරි. මට විශ්වාසයක් තිබුණා ඔහු සිනමාවේත් ලොකු වෙනසක් කරාවි කියලා. සිනමාවට ආසාවෙන් කලා ක්ෂේත්‍රයට ඇවිත් ඒකට ඉඩක් නැති තැන වෙන දේවල් කරමින් ක්ෂේත්‍රයේ ගොඩක් කල් රැඳිල ඉන්න තරුණ පිරිසක් පහුගිය කාලය පුරාම මං දැක්කා. ලක්මාල් කියන්නෙත් ඒ වගේ කෙනෙක්. පුංචි තිරයේ වගේම වාලම්පූරි තිරගත වුණු පළමුවැනි දවසෙම ඔහු ඒක සිනමාවේත් ඔප්පු කරලා පෙන්නුවා.


සිනමාව කියන්නේ ඔබේ හීනයක් සැබෑ වීමක්. ඒ ආපු ගමන්මඟ ගැන සිහිපත් කළොත්?


ඔව්. සිනමාව කියන්නේ මං පුංචි කාලෙ ඉඳන්ම දැකපු හීනයක්. මුලින්ම වැඩමුළු හරහා අධ්‍යයනයක් කළා. ජයලාල් රෝහණ, ලාල් ප්‍රේමරත්න, පරාක්‍රම නිරිඇල්ල, එච්. ඒ. පෙරේරා, සයිමන් නවගත්තේගම, මානෙල් ජාගොඩ වගේ ක්ෂේත්‍රයේ ප්‍රවීණයින්ගේ හමුවීම මගේ ජීවිතේට ලොකු අත්වැලක් වුණා. මානෙල් ජාගොඩ මහත්මියගේ හමුවීමෙන් මට කලාව ගැන ගැඹුරින් අධ්‍යයනය කරන්න හැකියාව ලැබුණා. මං අද කලාවේ යම් ජයක් ලබල තියේනම් ඒකෙ ගෞරවය හිමිවෙන්න ඕන එතුමියට. මම මුලින්ම රංගනයෙන් දායක වුණේ වේදිකාවට. වේදිකාව, පුංචි තිරය හරහා සිනමාවට පිවිසෙන්න ලැබීම මං ලබපු ලොකු ජයග්‍රහණයක්. මුලින්ම ගාමිණී, තණ්හා රතී රගා වගේ සිනමා නිර්මාණවල සාමාන්‍ය චරිත හරහා සිනමාවට සම්බන්ධ වුණා. ඊට පස්සේ හොඳ අධ්‍යක්ෂවරු යටතේ හොඳ නිර්මාණවල අනු චරිතවලට ආරාධනා ලැබුණා. ඒ විදිහට ක්‍රමක්‍රමයෙන් මං සිනමා ගමන්මඟ හදාගනිමින් සිටින විට තමයි ලක්මාල් ධර්මවර්ධනගේ (ලකාගේ) වාලම්පූරි සිනමා නිර්මාණයේ ප්‍රධාන චරිතයකට ආරාධනා ලැබෙන්නේ. වාලම්පූරි වගේ සර්වකාලීන සිනමාපටයක ප්‍රධාන චරිතයකින් රිදී තිරයට පිවිසෙන්න ලැබීමම මට සුවිශේෂී අත්දැකීමක් වුණා. ඊට කලින් නෙළුම් කුළුණත් තිරගත වුණා.


වාලම්පුරි ආදායම් වාර්තා පිහිටුවමින් තිරගත වෙනවා කියලත් ආරංචියි?


ඔව්, ඔව්. තිරගත වුණු පළමුවැනි දවසෙම මිලියන හතරක ආදායමක් ලබලා තියෙනවා. ඉස්සරහට තවත් වැඩිවෙයි කියලා බලාපොරොත්තු තියාගන්න පුළුවන්. ඉතාම සාර්ථක ආරම්භයක් සනිටුහන් කළා කියන්නේ සතුටට කරුණක්.


නෙළුම් කුළුණත් තාම සාර්ථකව තිරගත වෙනවා. ඒ ගැන මොකද හිතෙන්නේ?


තවමත් මිනිස්සු ඒක දෙතුන් පාර බලන එක තමයි තියෙන ලොකුම සතුට. ජනතාව චිත්‍රපට බලන්න මේ වගේ නැඹුරු වීම ගැන පොදුවේ සතුටක් තියෙනවා. සිනමාවේ විවිධත්වය හරි වැදගත්. ලාංකේය ප්‍රේක්ෂකයින්ගේ විවිධත්වය පුදුමාකාරයි. ඔවුන් කලාව රසවිඳින්නේ ඒ විවිධත්වය තුළ නම් අපි ඒක හඳුනගෙන ඒ විවිධත්වය සපයන්න ඕන. ඒක තමයි කර්මාන්තයක තියෙන ලක්ෂණය. මගේ රංගන දායකත්වයෙන් දිවෙන සිනමාපට දෙකක් සාර්ථකව තිරගත වීම මේ මොහොතේ අහම්බයක් විදිහට දකින්නත් පුළුවන්. වාලම්පුරි කියන්නෙ මීට අවුරුදු 5කට කලින් කරපු චිත්‍රපටයක්. අනිත් ඒවත් හතරක් විතර. ඒ ඔක්කොම එකම වෙලාවක ප්‍රේක්ෂකයාට නිදහස් වෙලා තියෙනවා. සිනමා කර්මාන්තයේ පැවැත්මට මේ වගේ විවිධත්වයක් තියෙන්න ඕන කියලයි මට හිතෙන්නෙ. මේ මොහොතෙ සිනමාවේ ඒ විවිධත්වය අපි දකිනවා. මේ තත්ත්වය ඉදිරියටත් පවත්වාගෙන යන්න අපි උත්සාහ කළොත් මේ කර්මාන්තය ගොඩගන්න අපිට බැරිවෙන එකක් නැහැ කියලයි මට හිතෙන්නේ.


මේ අවස්ථාවේ ඔබ වාසනාවන්ත වෙලා තියෙනවා සිනමාව තුළ ඒ විවිධත්වය මවන්න?


ඔව්. ඒ අධ්‍යක්ෂවරු මා ගැන විශ්වාසය තියපු එක, ඒ අවස්ථාවන් මට ලැබුණු එක වගේම මගේ පෞද්ගලික ජීවිතය තුළ මට තිබුණු ආසාව, ඒ වෙනුවෙන් මං ගමන් කරපු මාර්ගය ඇතුළේ ඒ අවස්ථාවන් ලැබීම ගැන මම උපරිමයෙන්ම සතුටු වෙනවා. මේක අපි හැමෝම එකතු වෙලා ලබපු ජයග්‍රහණයක්. ප්‍රේක්ෂක උණුසුම විශාල වශයෙන් ලබන චිත්‍රපට දෙකක් ඇතුළේ ඉන්න ලැබීම පෞද්ගලිකව මං ලබපු ලොකු ජයග්‍රහණයක්. ඒක මට විශාල සතුටක්.


ඔබ දැන් වේශ නිරූපණ ක්ෂේත්‍රයෙන් ඈත් වෙලාවත් ද?


නළුවා සහ වේශ නිරූපණ ශිල්පියා කියන දෙකම එකට කරන්න අපහසු නිසා රඟපෑමට මූලික තැන දුන්නා. දැනට මං වෙළෙඳ දැන්වීම්වලට විතරක් වේශ නිරූපණයෙන් දායක වෙනවා. පෞද්ගලිකව මගේ වෘත්තීය ජීවිතයේ රංගනය කියන විෂයේදී හොඳ නිර්මාණ තෝරා ගන්න පහසු වුණෙත් වේශ නිරූපණ ශිල්පියෙක් විදිහට වෙළෙඳ දැන්වීම් ක්ෂේත්‍රයේ හිටපු නිසා කියලයි මට හිතෙන්නේ. ඒක මං කවදාවත් අමතක කරන්නෙ නැහැ. මේ මොහොතේත් වෙළෙඳ දැන්වීම් කලාවට වේශ නිරූපණයෙන් දායක වෙනවා.


රයිගම් ටෙලීස් 2025 හොඳම නළුවා ලෙසින් සම්මානිත වෙන්නේ ඔබ. ටෙලි නාට්‍ය කලාව ගැන කතා කළොත්?


ශ්‍රී ලාංකේය ටෙලි නාට්‍ය කලාව ආරම්භයේ පටන්ම ඉතාම හොඳ මට්ටමක තිබුණා. වේදිකාවේ සහ සිනමාවේ ප්‍රවීණයන් එකතු වෙලා එදා ඒ පටන් ගත්ත ටෙලි නාට්‍ය කලාවේ ලක්ෂණවලින් සියයට සීයක්ම බැහැර නොවී අදටත් හොඳ නිර්මාණ රසවිඳීමේ හැකියාව නොනැසී පැවතීම ගැන ඇත්තටම සතුටුයි. වෙන රටවල් එක්ක බැලුවම ඒක අපි ලබපු ජයග්‍රහණයක්. අනෙක් බොහෝ රටවල් ගත්තොත් මේ වෙද්දි ගුණාත්මක බවින් බැහැර වෙලා මුළුමනින්ම වගේ වාණිජකරණය වෙලා. වර්තමානය වෙද්දි සමාජ මාධ්‍ය නිසා ටෙලි නාට්‍ය කලාව තව තවත් උණුසුම් වෙලා ටෙලි නාට්‍ය ප්‍රේක්ෂකයිනුත් සිනමා ප්‍රේක්ෂකයින් බවට පරිවර්තනය වෙමින් සිටින බවත් පැහැදිලියි.


වේදිකාව, පුංචි තිරය වගේම සිනමාවේත් මේ විදිහට දස්කම් පාන්න නම් මානසික නිදහසත් ගොඩක්ම බලපානවා. ගෙදරින් ලැබෙන සහාය ගැන කතා කළොත්?


මගේ බිරිය ශිරෝමි පීරිස් මට හමුවෙන්නේ මං ක්ෂේත්‍රයට ආව මුල් කාලෙමයි. ඒ කියන්නෙ1991-1992 වසර වගේ. 97 වසර වෙද්දි අපි විවාහ වුණා. අපිට දියණියන් දෙදෙනෙක් ඉන්නවා. ලොකු දුව රඟපාන්න ගොඩක් කැමතියි. ටෙලි නිර්මාණ කිහිපයකටම සම්බන්ධ වෙලත් තියෙනවා. පොඩි දුව තාම උසස් පෙළ හදාරනවා. ඇයත් රංගනයට අන්තර්ජාතික සම්මාන දිනාගෙන තියෙනවා. පොඩි කාලෙ ඉඳන්ම එයාල හැදුණෙ කලා පරිසරයක. බිරියටත් කලාව ගැන ලොකු ඇල්මක් තියෙනවා. අපි ගමන් කරන මාර්ගයේ නිවැරැදිව ගමන් කරන්න ඇයගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. අපි හතරදෙනා හරිම සහයෝගයෙන් අවබෝධයෙන් මේ ගමන යනවා.

gossiplanka image 1
Previous Post Next Post