අහිමි වුණු දේවල් ගැන කිසිම පසුතැවීමක් නැහැ -ආශා එදිරිසිංහ

gossiplanka image 1
ආශා එදිරිසිංහ යනු මේ දිනවල ඔබ බොහෝ සේ ආදරය කරන මුරුගසන් වරුසාව ටෙලි නිර්මාණයේ ලොක්කීය. අළු බඳුන ටෙලි නිර්මාණයේ ඇගේ රංගනය ද ප්‍රේක්ෂක ඔබට කිසිදා අමතක නොවන බව සහතිකය. මේ දිනවල අමෙරිකාවේ සිට Finn tv USA නාළිකාව ඔස්සේ ලොව වටා සිටින ශ්‍රී ලාංකිකයින් අමතමින් සිටින ඇය අප හා කතාබහට එක්වූවාය.


ඔබ මේ දවස්වල ජාතික රූපවාහිනියේ විකාශය වන මුරුගසන් වරුසාව ටෙලි නිර්මාණයේ ලොක්කී. කොහොමද ඒ අවස්ථාව ලැබෙන්නේ?


මුරුගසන් වරුසාව ටෙලි නාට්‍යයට මට ආරාධනා ලැබෙන්නේ එහි අධ්‍යක්ෂ සංඛ වීරසිංහ සහ නිෂ්පාදක රුචිර කහඳගෙන්. සංඛ මට මුලින්ම කතා කරලා මේ ටෙලි නාට්‍යයේ ස්වභාවය, තිරපිටපත සහ ලොක්කී කියන චරිතය වගේම දායකවන අනෙක් රංගන ශිල්පීන් ගැන කියද්දි මට ලොකු කැමැත්තක් ඇති වුණා. අළු බඳුන ටෙලි නිර්මාණයෙන් පස්සේ තමයි මට මේ වගේ හොඳ චරිතයක් ලැබෙන්නේ. ඒ නිසා මං හරිම කැමැත්තෙන් භාර ගත්තා.


මුරුගසන් වරුසාව කිව්වම ටිකක් බියජනක හැඟීමක් ඇතිවෙනවා. මොකක්ද මේ කතාවෙන් කියවෙන්නේ?


අපේ මුතුන් මිත්තන්ගේ කාලෙ ඉඳන්ම පැවත එන රහස් බෙහෙත් වට්ටෝරු ගැන සහ ඒවායින් කරන්න පුළුවන් අරුම පුදුම දේවල් ගැන තමයි මේකෙන් කියවෙන්නේ. වර්තමානයේ ඒ වගේ දේවල් නැති නිසා ඒවා ඇත්තද කියන සැකයත් බොහෝ දෙනා තුළ ඇතිවෙනවා. ඒ වගේ සමහර දේවල් ගැන හරියටම දන්නෙ නැතුව ඒක බොරුවක් මේක වෙන්න බෑ කියලම කියන්න බෑ කියලයි මට නම් හිතෙන්නේ.


ලොක්කිට ලැබෙන ප්‍රතිචාර ගැන කතා කළොත්?


මේ දවස්වල මං ජීවත් වෙන්නෙ අමෙරිකා එක්සත් ජනපදයේ ලොස්ඇන්ජලීස්වල. ඒ නිසා ලංකාවෙදි වගේ සජීවී ප්‍රේක්ෂක ප්‍රතිචාර විඳගන්න නම් අවස්ථාවක් නැහැ. මෙහේදි හමුවෙන ශ්‍රී ලාංකිකයින්ගෙන් ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. “කොච්චර කාර්යබහුල වුණත් මුරුගසන් වරුසාව බලනවා, කතාව හරි ලස්සනයි, ඔයාගෙ චරිතය ලස්සනයි,“ කිව්වම ලොකු සතුටක් දැනෙනවා. සමාජ මාධ්‍ය හරහාත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒ ගැන ගොඩක් සතුටුයි.


මෑත කාලීනව ඔබ ප්‍රේක්ෂකයින් අතරට ගිය නිර්මාණ ගැන කතා කළොත්?


සුපුන් රත්නායකගේ ‘ලලයි ලිලයි ලයි’ ටෙලි නිර්මාණයේ ඩොක්ටර් සෙව්වන්දිගේ චරිතය ගොඩක් ප්‍රේක්ෂකයින් අතරට ගියා. මාත් ‘ලලයි ලිලයි ලයි’ ප්‍රේක්ෂිකාවක් වෙලා හිටියා. ඇත්තටම ඩොක්ටර් කෙනෙක් වුණානම් හොඳයිනේ කියලත් ගොඩක් ප්‍රතිචාර ලැබුණා. ඒ වගේම තමයි කළු චරිතයක් වුණත් සර්කස්කාරයෝ ටෙලි නිර්මාණයේ චරිතයටත් ගොඩක් ප්‍රතිචාර ලැබුණා. ජයප්‍රකාශ් සිවගුරුනාදන් කියන්නේ කවදත් මටම අභියෝගයක් වන චරිත ලබාදෙන කෙනෙක්. පුදුමාකාර විදිහට බැණුම් අහපු ඒ වගේම ආදරයත් ලැබුණු චරිතයක්.


ආශාගේ ක්ෂේත්‍රයට පිවිසීම ගැන කතා කළොත්?


මුලින්ම මං ක්ෂේත්‍රයට එන්නේ සතිස්චන්ද්‍ර එදිරිසිංහ නිෂ්පාදනය කළ කේ. ඒ. ධර්මසේන අධ්‍යක්ෂණය කළ ගිරිකුල අන්දරය ටෙලි නාට්‍යයේ ළමා නිළියක් විදිහට අවුරුදු 11දී. සතිස්චන්ද්‍ර එදිරිසිංහ කියන්නේ මගේ ගුරුතුමා. එතුමා නිසා කලාවට සම්බන්ධ වෙන්න ලැබුණු අවස්ථාව මට කවදාවත් අමතක වෙන්නෙ නෑ.


සිනමාවේ දායකත්වය ගැන මොකද හිතෙන්නේ?


ඇත්තටම මං සිනමාවට සම්බන්ධ වෙලා තියෙන්නේ ගොඩක් අඩුවෙන්. ඒකට හේතුව මගේ තාත්තා කැමැති වුණේ නැහැ මං සිනමාවට සම්බන්ධ වෙනවට. ඔහු මට කිව්වේ මුලින්ම ඉගෙන ගන්න කියලා. ළමා නිළියක් විදිහට දායක වුණාට පස්සේ නැවත මං රංගනයට පිවිසෙන්නේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයත් නිමා කළාට පස්සේ. රන් සමනලයෝ, සුළඟ වගේ ටෙලි නිර්මාණ විකාශය වුණු කාලේ මට ජනප්‍රියම නිළියට හිමි සම්මානය දෙවරක් ලැබුණා. ඊට පස්සේ සිනමාවට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණත් සමහර චරිතවලට තාත්තා කැමැති වුණේ නැති නිසා අතහරින්න වුණා. ඒ නොලැබුණු දේවල් ගැන මගේ කිසිම පසුතැවීමක් නැහැ. මේ විදිහට හරි කලාවට සම්බන්ධ වෙන්න ලැබුණු අවස්ථාව ගැන මං සතුටු වෙනවා. 5 සමත් කියන ළමා චිත්‍රපටයට තමයි මුලින්ම සම්බන්ධ වුණේ. ඊට පස්සේ සුනිල් ආරියරත්නයන්ගේ ගෞතම බුද්ධ මාතා චිත්‍රපටයට සම්බන්ධ වෙන්න ලැබීමත් ලොකු භාග්‍යයක්.


පෞද්ගලික ජීවිතේ තොරතුරු ටිකකුත් කියමු?


පෞද්ගලික ජීවිතේ සාමාන්‍ය විදිහට ගෙවීගෙන යනවා. මට ඉන්නේ අම්මයි, අයියයි විතරයි. තාත්තා ජීවතුන් අතර නැහැ. අයියා ඉන්නේ ස්වීඩන්වල.


ආශා එදිරිසිංහ දිගටම අමෙරිකාවේම පදිංචි වෙයිද?


රැකියාවත් එක්ක මේ දවස්වල මං ජීවත් වෙන්නේ අමෙරිකා එක්සත් ජනපදයේ ලොස්ඇන්ජලීස්වල. ලොව වටා සිටින ශ්‍රී ලන්කන් කොමියුනිටි එකට මෙහේ Finn tv USA කියලා ටීවී චැනල් එකක් ආරම්භ කළා. ශ්‍රී ලංකා පවුන්ඩේෂන් ආයතනය තමයි මේ චැනල් එක පටන්ගත්තේ. මං එහි කල්චරල් එම්බසිඩර් විදිහට සේවය කරනවා. එහි නිර්මාතෘ ඩොක්ටර් වෝල්ටර් ජයසිංහ. නාළිකා ප්‍රධානී අචලා වීරසිංහ. ලෝකයේම ඉන්න ශ්‍රී ලාංකිකයින් එක තැනකට එකතු කිරීම සහ ශ්‍රී ලාංකේය උරුමය ලෝකයට ගෙන යෑම තමයි ඔවුන්ගේ අරමුණ. ඒ වටිනා අවස්ථාවට සම්බන්ධ වෙන්න ලැබීම මටත් ලොකු සතුටක්.

gossiplanka image 2
Previous Post Next Post