
අද වන විට කලා ජීවිතයේ දිගු ගමනක් පැමිණ සිටින හංසි සාරා සමඟයි මේ කතාබහ.
කුඩා කල සිට තම දක්ෂතාවය නිවැරදිව හඳුනා ගත් ඇය ඒ සඳහා තම උපරිමයෙන් කැපවීය. ඇය පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයෙන් ද්විතියික අධ්‍යාපනය ලබන අතරතුර පාසලේ ජනමාධ්‍ය අංශයට එක් වෙන්නේ වෘත්තියට ඇති ප්‍රියතාවය නිසාය.
” අපි ඉස්කෝලෙ යන කාලේ පත්තරවලින් news අරන් ප්‍රවෘත්ති කියන විදිහට කියනව. ඒ කාලේ ඒවා අපි හරි ආසාවෙන් කළේ. ”
එකල පැවැති සමස්ත ලංකා පාසල් මාධ්‍යය තරගවලදී ද ජයග්‍රහණ ලබා ගැනීමට සමත් වූ ඇය අද වන විට දිවයිනේ කොළඹ, නුවර, ගාල්ල ආදී විවිධ ප්‍රදේශවල ජාතික සහ ජාත්‍යන්තර පාසැල්වල පැවැත්වෙන මාධ්‍ය තරග විනිශ්චය මණ්ඩල සාමාජිකාවක් මෙන්ම වැඩමුළු ආදියෙහි සම්පත් දායිකාවක ලෙසද කටයුතු කරයි.
පාසැල් සමයේ ඇගේ දක්ෂතා හඳුනා ගත් පාසලේ නර්තන ගුරුවරිය වන නිර්මලා හා සංගීත ගුරුවරයා වූ කපිල මැද්දගොඩ පාසලෙන් බාහිර ඉසව් නිවේදනයට, විවිධ වැඩසටහන්වලටද ඇයව යොමු කළ බව සිහිපත් කළාය.
2002 වසරේ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සවනක් රැස් වැඩසටහනට ප්‍රථම වරට සහභාගී වූ ඇය අනතුරුව ළමා නිවේදිකාවක ලෙසින් ප්‍රදීප් මහේෂ් ලියනගේ නිෂ්පාදනය කළ සිරස කිඩ්ස් වීඩියෝ ටීම් හි KVTහංසි නමින් මාධ්‍යයට සම්බන්ධ විය.
” ඉනෝකා නැන්දා තමයි මාව මුලින්ම සිරසට එක්කගෙන ගියේ. ප්‍රදීප් මහේෂ් ලියනගේ (මහේෂ් මාමා) මට ගොඩක් උදව් කළා. මම හඬ කැවීම් වෘත්තියට අලුත් නිසා හැමදේම මට කියලා දුන්නේ මහේෂ් මාමා. ”
එලෙසම සිරස නාලිකාවේ විකාශය වුණ ශාන්ති, මහගෙදර, ප්‍රවීණා යන නාට්‍යවලට හඬකැවීමෙන් සහභාගි වූ ඇය ශ්‍රී FM හි කණාමැදිරි රාත්‍රිය සහ බොලිවුඩ් සිනමාව යන වැඩසටහන්වල හඬ රංගන ශිල්පිනියක ලෙසත් කටයුතු කළාය.
2009 වර්ෂයේදී අයදුම්කරුවන් දහස් ගණනක් අතරින් සියත එෆ්එම් රේඩියෝ අවසන් අට දෙනා අතරට ආ ඇය වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් සහ නිෂ්පාදිකාවක් ලෙස කටයුතු කරන්නට විය. ඉන් පසු මැක්ස් රේඩියෝ, නෙත් එෆ්එම් ආදී නාලිකාවලටද සම්බන්ධ වූවාය. පසුව 2010 සිට 2011 දක්වා ශ්‍රී ටීවී නාලිකාවේ ප්‍රවෘත්ති ඉදිරිපත් කරන්නියක් සහ වාර්තාකාරිනියක ලෙසද සේවය කර ඇත.
කොරෝනා සමයේ සියත ටීවී නාලිකාවේ සියත පියුම් විල උදෑසන වැඩසටහන, ඩයලොග් ටීවී චැනල් 1 නාලිකාවේ වැඩසටහන් ද ඇය විසින් මෙහෙය වූවාය. පසුව ජාතික රූපවාහිනී නුග සෙවණ වැඩසටහනේ නිවේදිකාවක ලෙස මෙන්ම ජය ටීවී රූපවාහිනි නාලිකාවේද උදෑසන වැඩසටහන් නිවේදිකාවක ලෙස තම දස්කම් පෑ ඈ සිරස රූපවාහිනිය, ස්වර්ණවාහිනී, හිරු ටීවී, ටීවී දෙරණ/Fm දෙරණ, ජාතික රූපවාහිනී ආදි නාලිකාවල වෘත්තීය හඬකැවීම් ශිල්පිනියක ලෙස තම දක්ෂතා දැක්වීය.
සිරස ටීවී නාලිකාවේ ‘ජිමි නියුට්‍රෝන්‘ හි ‘සින්ඩි‘, ‘සීක්‍රට් ඔෆ් නිම් 2‘ හි ‘ජෙනී‘, ‘ටොම් සෝයර්‘ හි ‘බෙකි‘ ආදී ප්‍රධාන චරිත කරමින් ඇරඹි ඇගේ හඬකැවීම් වෘත්තීය ජීවිතය ‘රාශි චක්‍රය, අනන්තයෙන් ආ තරු කුමරා‘ ටෙලි නාට්‍යයේ ‘යූ සෙමි‘ චරිතය මෑත කාලිීනව ‘සුපිරි මාටින්‘ කාටුන් මාලාවේ මාටින්ගේ මව ලෙසද, ස්වර්ණවාහිනී ‘Barbie‘ යන කාටූන් හඬකැවීමට ලැබීම ඇය සිහිකරන්නේ සතුටිනි.
හිරු ටීවී නාලිකාවේ ‘බෙන් ටෙන්‘ කාටූන් මාලාවේ ‘ගුවෙන්‘, ‘සිත්තරාවි‘ හි ‘කුමාරිකාව‘, ‘ජෝදා අක්බර්‘ හි ‘සුභන්‍යා‘, ‘සිහිනයක සේයා‘ හින්දි නාට්‍යයේ ‘නන්දනී‘, ‘හීනයක්ද මේ‘ නාට්‍යයේ ‘ගයත්‍රි රැජිණගේ‘ චරිතයත්, මෑත කාලීනව ‘මකරුන්ගේ දේශය‘ කාටුූනයෙහි ‘එලියානා කුමරිය‘ ඇගේ කටහඬින් හැඩවූ චරිතය.
මෙතෙක් ඇයගේ ගමන් මඟට වචනයකින් හෝ සවියක් වූ සියලු දෙනාට හදවතින්ම ස්තූතිවන්ත වන බව ඇය අවසානයේදී මතක් කළාය.
