
කොහොමද මේ දවස්වල ජීවිතේ?
මේ දවස්වල ගොඩක් කාර්යබහුලයි. පාසලේ වැඩ කටයුතු, ව්‍යාපාරික වැඩ කටයුතු හා රූගත කිරීම් එක්ක කාලය ගත කරනවා.
මොනවද ඔයාගේ ව්‍යාපාරික වැඩ?
මම කරන්නේ මැණික් ව්‍යාපාරයක්. මම බොහෝ විට ගනුදෙනු කරන්නේ ජාත්‍යන්තර වෙළඳපොළත් එක්ක. ඒ වගේම මම කේක් ව්‍යාපාරයකුත් කරගෙන යනවා.
ගුරු භූමිකාවෙහි විස්තර කිව්වොත්?
මම සේවය කරන්නේ ඉතාමත් දුෂ්කර පාසලක. ඒ පාසලේ ඉන්නේ දරුවෝ විසි දෙනයි. මගේ පන්තියේ ඉන්නේ ළමයි පස් දෙනයි. මම උගන්වන්නේ පහ වසර පන්තියට.ගුරු භූමිකාව තුළ මම ඒ පුංචි දරුවො එක්ක සතුටින් කාලය ගත කරනවා.
ඔබ කලාවට පිවිසෙන්නේ කොහොමද?
2015 වසරේ දී මම හේමාස්හි අවුරුදුකුමරිය ලෙස තේරී පත්වූ නිසා මට රඟපෑමට අවස්ථාවක් ලැබුණා. එවකට මම උසස් පෙළ පන්තියේ සිටි නිසා ඒ වැඩ කටයුතු පසුවට කල් තැබුවා. නැවතත් මම විවිධ නාළිකාවල අවුරුදු කුමරී වැඩසටහන්වලට සම්බන්ධ වුණා. එමඟිනුයි මට රංගනයට යම් යම් අවස්ථාවන් ලැබුණේ. එහිදී මධු රත්නායක අක්කා වගේම, සැලොන් යොහානි ආයතනයේ කුමාරි අක්කා මට ලොකු සහයෝගයක් ලබා දුන්නා.
මේ දිනවල ඔබ ඉරගිනි මද්දහනට අමතරව තවත් නිර්මාණවලට දායක වී තිබෙනවාද?
මේ දිනවල ටෙලිනාට්‍ය හයක පමණ මම වැඩ කර තිබෙනවා. ඒවා සියල්ලම විකාශය වීමට නියමිතයි. දැනට රූගත කිරීම් සිදු වන්නේ ඉරගිනි මද්දහන ටෙලිනාට්‍යය සමඟ පමණයි.
අප ඔබව දකින්නේ යථාර්ථවාදී නිර්මාණවලින් පමණයි. ෆැන්ටසි නිර්මාණවලට සම්බන්ධ වුණා නම් ජනප්‍රිය වෙන්න ලේසියි නේද?
ඔව්, ඒක ඇත්ත. මම දායක වී තිබෙන්නේම යථාර්ථවාදී නිර්මාණවලටයි. මේ දිනවල තවත් එවැනිම නිර්මාණයක රූගත කිරීම් කළා. මම කැමති ඒ වගේ වෙනස්, පොළොවේ පය ගසා සිටින චරිත නිරූපණය කරන්නයි. මම ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා වසර පහක් පමණ ගත වෙනවා. ෆැන්ටසි නාට්‍යවලට සම්බන්ධ නොවූ නිසා වෙන්න ඇති මට මිනිසුන් අතරට යන්න එතරම් කාලයක් ගත වුණේ.
මම හෙමින් ගමනක් යන කෙනෙක්. මගේ දක්ෂතාවයෙන් ආ දුර ගැන මට හරිම සතුටුයි. රංගන කාර්යය තුළ මම බෙදීම්වලට යටත් වෙන්නේ නැහැ. ඒ නිසා ෆැන්ටසි හොඳ චරිතයක් ලැබුණත් මම එයත් ආසාවෙන් කරනවා.
ප්‍රවීණයන්ගෙන් ලැබෙන්නේ මොන වගේ දායකත්වයක්ද?
මේ දිනවල මම දිනක්ෂි අක්කා හා රෙබෙකා අක්කා එක්ක වැඩ කටයුතු කරනවා. එයාලා හරිම හොඳයි වගේම ලොකු සහයෝගයක් ලබා දෙනවා. තරින්දි අක්කා, චමීර අයිය හා පවිත්‍රා ඇන්ටිත් ඒ වගේමයි. මම හැම තිස්සේම විශ්වාස කරනවා මම වැඩ කරන විදිහ අනුවයි ඔවුන්ගේ සහයෝගය පෙරළා ලැබෙන්නේ කියලා. මම සෙට් එකේ හැමෝම එ්ක සුහදව වැඩ කටයුතු කරනවා. මේ වසර පහ පුරාම කිසිම කෙනෙකුගේ කතාවක්, බැණුමක් අහගෙන නැහැ .
තරඟකාරී කලා ක්ෂේත්‍රය තුළ ඔබගේ පැවැත්ම තහවුරු කරගන්න යොදන උපක්‍රම මොනවාද?
කලා ක්ෂේත්‍රය තුළ පැවැත්ම තහවුරු කරගන්න අත්‍යවශ්‍ය වන්නේ දක්ෂතාවයයි. දක්ෂතාවයෙන් ඉදිරියට ආවම මේ ගමන යන්න හරිම පහසුයි. හතු පිපෙනවා වගේ එක මොහොතකින් මෙම ක්ෂේත්‍රයේ උපරිමයටම යන්න බැහැ. එයට යම් කාලයක් ගත වෙනවා. නමුත් වසර ගණනාවකින් හෝ මම උපරිමයටම ළඟා වෙන්න උත්සාහ කරනවා.
මෙතෙක් කල් රඟනොපාපු, රඟපාන්න කැමති යම් චරිතයක් තියෙනවද?
ඔව්, මම පොලිස් කාන්තාවකගේ චරිතයක් නිරූපණය කරන්න ගොඩක් කැමතියි. මගේ තාත්තත් පොලිස් නිලධාරියෙක් නිසා එවැනි රුචිකත්වයක් මට ඇතිවෙන්න ඇති. ඒ වගේම මම මෙතෙක් කල් රඟපෑවේ අහිංසක චරිතයි . දුෂ්ට චරිතයක් කරන්නත් ලොකු කැමැත්තක් තියෙනවා.
පුංචි තිරයේ ඉඳලා පුළුල් තිරයට යන්න අදහසක් නැද්ද?
මේ වෙනකොට චිත්‍රපටයකට දායක වී තිබෙනවා. එය ඉදිරියේදී තිරගත වේවි. ඒ වගේම දමිළ චිත්‍රපටයකටත් සම්බන්ධ වුණා. තවත් දමිළ චිත්‍රපට කිහිපයකටම ආරාධනා ලැබිලා තියෙනවා.
දමිළ චිත්‍රපටවලටම ආරාධනා ලැබෙන්න විශේෂ හේතුවක් තිබෙනවද?
ගොඩක් අය කියනවා මම ටැමිල් ගර්ල් කෙනෙක් වගේ කියලා. තෙලිඟු සිනමාවේ අය මට කියලා තියෙනවා මගේ රූපය සමන්තාගේ මුල් කාලයේ ස්වරූපයට සමානයි කියලා. සමහර විට ඒ නිසා වෙන්න ඇති දමිළ චිත්‍රපටවලට ආරාධනා ලැබෙන්නේ.
මේ දිනවල ප්‍රේමාරාධනා වැස්සක තෙමෙනවා කියලා ආරංචියි?
අනේ ඔව්, ප්‍රේමාරාධනා නම් ගොඩක් එනවා. ඒත් මේ කාලය තුළ ඒ ගැන හිතන්න වෙලාවක් වෙන් කරන්නේ නැහැ. මේ ඉන්න විදිහ මට හොඳයි.
