සප්නා පාදුක්ක තම රංගන හැකියාවෙන් ජාත්‍යන්තරයත් ජයගත් සුරූපී දක්ෂ රංගන ශිල්පිනියක්. ‘ඉරගිනි මද්දහන’ ටෙලි නිර්මාණයේ ජයංගා – සමන්තා සටන කාටත් කුතුහලය දනවන්නක්. ජයංගාගේ චරිතයට පණ පොවන ඇය මේ දිනවල ටෙලි නිර්මාණ කිහිපයක් ඔස්සේම දකින්න පුළුවන්. මෙවර හදගැස්මට මේ සොඳුරු කතාබහ ඇයගෙන්. මේ දිනවල ඔබේ කාලය ගෙවී යන්නේ කොහොමද?
මේ දවස්වල මම ටිකක් කාර්යබහුල ජීවිතයක් තමයි ගෙවන්නේ. මේ වන විට ටෙලි නාට්‍යය 4ක විතර ෂූටින්වලට සම්බන්ධ වෙමින් ඉන්නවා. ඒ වගේම ජැෆ්නාවල ෂූට් කරපු ෆිල්ම් එකක රූගත කිරීම්වලටත් සම්බන්ධ වුණා. එහි තවත් වැඩකටයුතු ටිකක් කරන්නත් ඉතුරු වෙලා තිබෙනවා. මේ දේවල් එක්ක මට වෙනත් දෙයක් කරන්න වෙලාවක් නැති තරම් සහ ගොඩක් වෙලාවට රංගන කටයුතුත් එක්ක තමයි කාලය ගෙවෙන්නේ.
“ඉරගිනි මද්දහන” ටෙලි නාට්‍යය අනෙක් ටෙලි නාට්‍යවලින් වෙනස් වන්නේ ඇයි?
ඇත්තටම ඒක වෙනස් ටෙලි නාට්‍යයක්. මෑතකාලීනව ප්‍රේක්ෂකයෝ සතියේ දිනවල නරඹන්නට කැමැති මෙගා ටෙලි නාට්‍යය බොහොමයක් විකාශය වුණා. මමත් ඒවායේ රංගනයෙන් දායක වුණා. ඉතින් “ඉරගිනි මද්දහන” ටෙලි නාට්‍යය මටත් ලොකු අභියෝගයක් වුණා. මොකද ඒ මම රංගනයෙන් දායක වූ දෙවැනි ටෙලි නාට්‍යය. එහි ප්‍රධානතම වෙනස තමයි ඒක සති අන්තයේ විකාශය වන මෙගා ටෙලි නාට්‍යයක් නොවන හරිම කෙටි ටෙලි නාට්‍යයක් වීම සහ මේ ටෙලි නාට්‍යයේ සිද්ධිය 2025 වන සිද්ධියක් නෙවෙයි එක්දහස් නවසිය ගණන්වල වූ සිද්ධියක් වීම.
ජයංගා, සමන්තා, මහතුන්, බණ්ඩාර කියන චරිත සියල්ලම ඉන්නේ ඒ කාලයේ. ඒ සමාජයේ වෙනසත් ටෙලි නාට්‍යය හරහා නිරූපණය කරනවා. ඒක හරිම අමාරු වැඩක්. මොකද අනාගතයේ ඉඳන් අතීතය නිරූපණය පහසු නෑ. නමුත් එය කොහොම හරි අපි සාර්ථකව කරගෙන යනවා. ඇත්තටම එක එක චැනල් නරඹන ප්‍රේක්ෂකයන්ගේ රසවින්දනය එකිනෙකට වෙනස්. මේක ජාතික රූපවාහිනි නාලිකාව වටා එක්වූ ප්‍රේක්ෂකයන්ට රසවිඳින්න පුළුවන් ටෙලි නාට්‍යයක් කියලා මම හිතනවා. ඒ වගේම ඒ ඒ සමාජ මට්ටම් ගැන ලොකු පණිවුඩයක් ලබාදෙන ටෙලි නාට්‍යයක්.
‘ජයංගාගේ’ චරිතයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
ජයංගාගේ චරිතයයි මමයි කියන්නේ අහසයි පොළොවයි වගේ. ඒ චරිතය නිරූපණය කිරීම මටත් ලොකු අභියෝගයක්. ඇත්තටම ජයංගාගේ චරිතයට ලැබෙන ප්‍රතිචාර ගොඩක් හොඳයි. මිනිස්සු සමාජ මාධ්‍ය හරහා ගොඩක් කමෙන්ට්ස් පළ කරනවා. ජයංගා කියන්නේ තමන්ගේ හස්බන්ඩ්ට තේ එකක්වත් හදලා දෙන්නේ නැති කෙනෙක් කියලා බොහෝ දෙනකු ප්‍රතිචාර දක්වනවා. නමුත් ඒක තමයි ජයංගාගේ චරිතයේ ස්වභාවය. ඒ වගේ චරිත ඕනෑ තරම් මේ සමාජයේ ඉන්නවා. ජයංගාගේ චරිතය ඇතුළේ ජයංගාට වුණු අසාධාරණකම්, බණ්ඩාර සමන්තාට තවමත් ආදරය දැක්වීම ජයංගාට දැනෙන විධිය වගේ දේවල් නිරූපණය වෙනවා. ජයංගා කියන්නේ කලින් තමන්ගේ ජීවිතය වරද්දා ගත්ත කෙනෙක්. ඒ දෙයත් එක්ක බණ්ඩාරව විශ්වාස කරලා තමයි ජයංගා ඔහු සමඟ එන්නේ. ඒ චරිතය මිනිස්සු වටහා ගන්න විධිය ගොඩක් වෙනස්. සමහරු හොඳ කමෙන්ට්ස් දෙනවා වගේම සමහරු නරක කමෙන්ට්ස් දෙනවා. බොහෝදෙනා කියලා තිබුණේ මම චරිතය තුළ ජීවත් වෙමින් හොඳින් නිරූපණය කරනවා කියලා. ඒක ඇත්තටම සතුටක්.
‘ජයංගාගේ’ චරිතය තුළින් නිරූපිත කාන්තාව ගැන ඔබේ අදහස හා ඔබට චරිතය දැනුණා විධිය?
ජයංගා සැපට වලව්වක හැදුණු හරිම සැපවත් ජීවිතයක් ගෙවපු කෙනෙක්. අම්මගේ, තාත්තාගේ, අයියගේ ළඟ හුරතලයට හැදුණු පොහොසත් පවුලක ගැහැනු ළමයෙක්. අයියගේ යහළුවකුගේ විවාහ යෝජනාවක් විධියට තමයි බණ්ඩාරව හමුවන්නේ. බණ්ඩාර ඇයට වඩා ගොඩක් වෙනස්. බණ්ඩාර ගමේ හැදුණු ගමට සරිලන විධියට යමක් තිබෙන කෙනෙක්. කොළඹින් එන ජයංගා උත්සාහ කරන්නේ ඔවුන්ට පෑහිලා ජීවත් වෙන්නයි. නමුත් ජයංගාට ඒක ටිකක් අමාරු වෙනවා. ඇයට ඕනෑ කරන්නේ තමන්ගේ හස්බන්ඩ් එක්ක තනියම ජීවිතය ගෙවන්නයි. ඇය හරිම විවෘතව කතා කරන කෙනෙක්.
ප්‍රශ්නයක් වුණත් තනියම ඒක විසඳගන්න ඇය උත්සාහ කරනවා. එහෙම කෙනෙක් තමයි දැනට විකාශය වන කොටස්වල දකින්නේ. ඒක ඉදිරියට ගොඩක් වෙනස් වෙයි. මිනිස්සු කියන්නේ ජයංගාව ඔවුන්ට දැනුණේ හරිම ආත්මාර්ථකාමී කෙනෙක් විධියට කියලනේ. මම මේ වෙද්දී ස්ක්‍රිප්ට් එකම කියවලා ඉවර නිසා ඊට වඩා වෙනස් විධියට ජයංගාගේ ඇතුළාන්තය දකිනවා. මම හිතන්නේ ජයංගාට අවශ්‍ය ජීවිතය ලැබුණොතින් ජයංගා තමන්ගේ හස්බන්ඩ් වෙනුවෙන් නොකරන දේවලුත් කරයි. ජයංගා මොන වගේ කෙනෙක්ද කියලා අවබෝධ කරගන්න නම් දිගටම ටෙලි නාට්‍යය බලන්න වෙනවා.
කරන චරිතවලින් සහ අඳින ඇඳුම්වලින් රංගන ශිල්පිනියන්ව විනිශ්චය කිරීම ගැන මොකක්ද ඔබේ අදහස?
බොහෝ චරිතාංග නිළියන්ට කොටට ඇඳුම් ඇඳීම ලොකු ප්‍රශ්නයක් වෙලා තිබෙනවා. මම පෞද්ගලිකව ෂෝට්ස් ඇඳගෙන පාරක යන කෙනෙක් නෙවෙයි. නමුත් මට චරිතයක් කරන්න වුණොත් මම ඒ විධියට ඇඳලා අනිවාර්යයෙන්ම එම චරිතයට දායකත්වය ලබා දෙනවා. මොකද මම රංගන ශිල්පිනියක් වුණේ එවැනි කැප කිරීම් කරන්න පුළුවන් නිසානේ. බොලිවුඩ්වල රංගන ශිල්පිනියක් වන ශ්‍රද්ධා කපූර් හැමෝම පිටත දකින්නේ ලස්සනට ඇඟ වැහෙන්න ශල්වාර් එකක් අඳින රංගන ශිල්පිනියක් විධියට තමයි. නමුත් ඇය සිනමා නිර්මාණයකදී බිකිනියක් වුණත් අඳිනවා. අවශ්‍ය අවස්ථාවල එවැනි දේ කරන්න වෙනවා. මොකද බීච් එකක හරි පූල් එකක හරි බිකිනියක් ඇඳගෙන ඉන්න සීන් එකකට වෙන ඇඳුමක් අඳින්න බැහැනේ. මම නම් ඒ ගැන දකින්නේ ඒ විධියටයි. නිර්මාණයකදී අඳින්න අවශ්‍ය දේ අඳින්න ඕනෑ.
ඔබේ මීළඟ දමිළ චිත්‍රපටය ගැනත් විස්තර ටිකක් කියමු?
චිත්‍රපට දෙකක් තිරගත වෙන්න නියමිතව තිබෙනවා. මම මෑතකදී රංගන දායකත්වය ලබාදුන් චිත්‍රපටය තමයි ‘කාදල් ක්‍රයිම්’. මම කාටවත් තවම ඒ ගැන කිසිම විස්තරයක් කියලා නැති නිසා ලොකු විස්තරයක් නොකියා ඉන්නම්. නිවුන්නු දෙන්නෙක්ගේ කතාවක් තිබෙන්නේ. ඉතින් තිරගත වුණාම බලමු.
ඔබ ජනප්‍රිය ටෙලි නිර්මාණ කිහිපයකින් මේ දිනවල විවිධාකාර චරිත ඔස්සේ දකින්න ලැබෙනවා?
ඔව්, ප්‍රාර්ථනා, ආලවන්ති, ඉරගිනි මද්දහන කියන ටෙලි නාට්‍යය හරහා මාව දකින්න පුළුවන්. තව නිර්මාණයක් විකාශය වෙන්නත් තිබෙනවා. මම ටික කාලයක් ටෙලි නිර්මාණවලින් ඈත් වෙලා හිටියා. මොකද මට විවේකයක් ඕනෑ වුණා. මට ජැෆ්නාවලට යන්න වීමත් සමඟ සමහර නිර්මාණ මඟහැරුණා. ඒ වැඩ එක්ක එක ටෙලි නාට්‍යයක විතරක් තමයි ඇක්ට් කළේ. නැවත මට වැඩ කටයුතු කරන්න ඕනෑ කියලා හිතුණා. මම ගොඩක් ටෙලි ඩ්‍රාමාස්වලට එකපාර සම්බන්ධ වන කෙනෙක් නොවෙයි. නමුත් මම කාලයක් ගෙදරම හිටපු නිසා කාර්යබහුල වෙන්න ඕනෑ කියලා හිතුණා.
යම් චරිතයකට හොඳින් රංගන දායකත්වය ලබාදුන් පසු රංගන ශිල්පීන් ඒ චරිතයටම කොටුවන ස්වරූපයක් තිබෙනවා?
කෙනෙක් එක් චරිතයක් හොඳින් කළාම බොහෝ දෙනකු හිතන්නේ එවැනි චරිතම තමයි ඇයට හෝ ඔහුට ගැළපෙන්නේ කියලා. නමුත් එක අතකින් ඒ දෙයින් ලොකු අසාධාරණයකුත් වෙනවා. මම හැම වෙලාවකම චරිතයක් ලැබුණාම මගේ විධියට ඒක කර ගන්න උත්සාහ කරනවා. මට බොහෝ වෙලාවට ලැබෙන්නේ කටකාර, දඟකාර චරිත. මම අහිංසක චරිතයක් කරන්න කැමැතියි. එවැනි චරිත මට ලැබිලම නෑ. බලමු ඉදිරියට.
තරුණියක් ලෙස ආදරය හා විවාහය ඔබ දකින්නේ කෙසේද?
ආදරය හා විවාහය කියන දෙකම ජීවිතයේ තිබෙන්න ඕනෑ. අපි කාර්යබහුල වෙලා ආවාම රිලැක්ස් වෙන තැනක් ඕනෑම කෙනකුට තිබෙනවානේ. ඒ තැන රිලැක්ස් වෙන්න පුළුවන් තැනක් වෙන්නත් ඕනෑ. විවාහ වෙන්න සහ ආදරය කරන්නට නම් හරිම කෙනා හමුවෙන්නත් ඕනෑ.
ඔබේ ඉදිරි වැඩකටයුතු ගැනත් මතක් කරමු?
මම රංගන දායකත්වය ලබාදුන් ටෙලි නාට්‍යය දෙකක් විකාශය වෙන්න නියමිතයි. තව ෆිල්ම් එකක වැඩකටයුතු පටන් ගන්න ඉන්නවා. ඒක මම රඟපාන මගේ පළමුවැනි සිංහල චිත්‍රපටය. ඒ නිර්මාණය තුළත් හරිම ලස්සන කතාවක් තිබෙන්නේ.