නරි බෑනාහි ගම දුව වූ ඇය පසුව ගොළු හදවතේ චම්පා ලෙස සිනමාවට අවතීර්ණ වෙමින් දශක 5 පුරාවට සිංහල සිනමාවේ අහිංසකාවියට හිමි කිරුළ සිය හිස මත තබාගෙන සිටින්නීය. රංගන ශිල්පිනියක් වශයෙන් දහස් සංඛ්‍යාත ප්‍රේක්ෂකයන්ගේ ආදරයද ගෞරවයද දිනා ගත් ඇය පසුකාලීනව චිත්‍රපට හා ටෙලි නාට්‍ය නිෂ්පාදනයට දායක වෙමින් මෙරට විනෝදාස්වාද කර්මාන්තයේ ප්‍රගමනයට ලබා දුන් දායකත්වයද සුළුපටු නොවේ. නිතරම පාහේ පොත්පත් සමඟින් ගැවසෙන බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තියක් බව ප්‍රකට ඇගේ නිහතමානී භාවය ඇගේ මුවේ ඇති නොමැකෙන සිනහවට තවත් වටිනාකමක් එකතු කර ඇත. මේ අන් කවරකුවත් නොවේ ශ්‍රියානි අමරසේන නම් වූ ඒ ප්‍රවීණ රංගවේදිනියයි.
ඔබේ අලුත්ම තොරතුරු දැනගන්න ප්‍රේක්ෂකයන් ආසාවෙන් බලාගෙන ඉන්නවා?
මෑතකදී මට ඉතාම හොඳ ආරාධනාවක් ලැබුණා රෝෂාන් රවින්ද්‍ර අධ්‍යක්ෂණය කරන නටත් අයෙක් සුරා මතින් ටෙලි නාට්‍යයට. එහි මවගේ චරිතයට තමයි මට ආරාධනාව ලැබුණේ. සීමිත කොටස් කිහිපයක් තිබෙන ඒ ටෙලි නාට්‍යය සමාජයට ඉතාම හොඳ ආදර්ශයක් ලබා දෙන නිර්මාණයක්. ඒ නිසාමයි මම ඒ සඳහා එකතු වුණේ. මම දැන් දීර්ඝ නිර්මාණවලට නම් දායක වෙන්නේ නැහැ. චිත්‍රපට දෙකකට ආරාධනා ලැබිලා තිබෙනවා නමුත් තාම ඒවායේ වැඩ පටන් ගත්තේ නැහැ. කලාව පැත්තෙන් ඔය ටික තමයි. ඊට අමතරව මම පසුගිය දිනවල විදෙස්ගතව හිටියේ. මට ලොකු ආසාවක් තිබුණා කාශ්මීරයට යන්න. ඒ දවස්වල චිත්‍රපටවලින් දැකපු ලස්සන හැබැහින් බලන්න ලොකු ආසාවක් තිබුණා. ඒ ගමනට මමයි මගේ දුව ඇතුළු සේරම කාන්තාවෝ 6 දෙනෙක් එකතු වුණා. ඉතිං ඔය දේවල් තමයි අලුත්ම තොරතුරු.
කළු සුදු චිත්‍රපටවල ඉඳලා ඩිජිටල් ඇනිමේෂන් යුගය දක්වා ඔබ තවමත් සිනමාවේ සක්‍රීයයි. එදා මෙදාතුර වෙනස දකින්නේ කොහොමද?
හැත්තෑව දශකයේ තමයි මම සිනමාවට ආවේ. අපේ සිනමාවේ සශ්‍රීකම යුගයේ එයට එක්වීමට ලැබීමට තරම් මම වාසනාවන්තයි. ඒ කාලයේ වසරකට චිත්‍රපට විශාල ප්‍රමාණයක් නිෂ්පාදනය වුණා. මගේ සිනමාව ආරම්භ වුණේ ආචාර්ය ලෙසටර් ජේම්ස් පීරිස්ගෙන්, ඊට පසුව විශිෂ්ට අධ්‍යක්ෂවරුන් රැසකගේ චිත්‍රපට රාශියකට මම රංගනයෙන් එකතු වුණා. ඒ කාලයේ සිනමා කර්මාන්තය තුළ හරිම සංයමයක් තිබුණා. ඒ වගේම ඒ කාලේ ශිල්පීන් තුළ නිර්මාණ කෙරෙහි ලොකු ගරුත්වයක් තිබුණා. වෙලාවට වැඩ කරන එක හැමෝම වගේ අනුගමනය කළා. රංගනය මොන තරම් විනෝදකාමි වුණත් අපි එයට විශාල සැලකිල්ලක්, ඇල්මක් දැක්වූවා. ඒ යුගයේදී සිනමාව හරහා රජයටත් විශාල ආදායමක් හිමිවුණා. චිත්‍රපට සංස්ථාව පිහිටුවීමත් එක්ක ඒක තවත් වර්ධනය වුණා. නමුත් පසුකාලීනව අපේ සිනමාව යම්තාක් දුරකට පසුබෑමකට ලක් වුණා. එයට අපේ රටේ තිබුණු යුදමය වාතාවරණයත් බලපෑවා.
ඒ තත්ත්වයත් එක්ක අපේ නිෂ්පාදන අඩු වෙලා කර්මාන්තයට ලොකු පහරක් වැදුණා. ඒ කාලේ අපේ රටේ චිත්‍රපට කර්මාන්තය වෙනුවෙන්ම නිෂ්පාදකවරු හිටියා. නමුත් ඔය කාරණයත් එක්ක ඔවුන් නිර්මාණකරණයෙන් පසුබැස්සා. එයට කාලය, ආර්ථික හා සමාජ තත්ත්වය මේ සියල්ල බලපෑවා. නමුත් මේ වෙද්දි නවීන තාක්ෂණයත් එක්ක අපිට සිනමාවේ නිෂ්පාදන වියදම තරමක් අඩු කරගන්න පුළුවන් වෙලා තිබෙනවා. අද වෙද්දී අපිට හොඳ තාක්ෂණයක් තිබෙනවා. විදෙස් සම්මාන පවා දිනාගත්ත දක්ෂ අධ්‍යක්ෂවරු ඉන්නවා. නමුත් මේ මොන දේ තිබුණත් චිත්‍රපට ප්‍රදර්ශනයේ තිබෙන ගැටලුව විසඳිලා නැහැ.
ඒ ගැන තව දුරටත් කතා කළොත්?
ඇත්තටම චිත්‍රපටයේ ප්‍රදර්ශනය සම්බන්ධයෙන් විශාල ගැටලුවක් තිබෙනවා. එක කාලයකදී ඒක හොඳට තිබුණා. නමුත් වසර ගණනක සිට ඒ තත්ත්වය වෙනස් වෙලා එය දේශපාලන මුහුණුවරක් අරගෙන තිබෙනවා. නමුත් තාම එයට සහනයක් ලැබිලා නැහැ. අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා ඉදිරියේදීවත් ඒ වෙනුවෙන් සහනයක් ලැබෙයි කියලා. චිත්‍රපට ප්‍රදර්ශනයේ ගැටලු විසඳගත්තොත් බොහෝ නිර්මාණකරුවන් චිත්‍රපට කර්මාන්තයට එකතු වේවි. මේ සඳහා දේශපාලනීකරණයෙන් තොරව රාජ්‍ය අනුග්‍රහයෙන් හෝ කිසියම් ක්‍රමවේදයක් සකසනවානම් හොඳයි. මොකද අපි කලාකරුවෝ නිසා අපිට බෑ ව්‍යාපාර සමඟ හැප්පෙන්න. එතැනදි අපිට වෙන්නේ නිහඬව බලාගෙන ඉන්න.
ඔබ තමයි සිංහල සිනමාවේ අහිංසකාවිය. නමුත් මෑතකාලීනව සිනමාව තුළ එහෙම සංකේතාත්මක චරිත බිහි වුණේ නැහැ?
ඒ කාලයේ මාලනී, මම, නීටා, වීණා, සුවිනීතා, අනුලා, පුණ්‍යා, ස්වර්ණා වගේ අපි ඒ කාලේ විවිධ චරිත හරහා ප්‍රේක්ෂකයා අතරට ගියා. රංගන ශිල්පිනියන් විතරක් නෙවෙයි, ශිල්පීන් සම්බන්ධයෙනුත් එහෙමයි. මිනිස්සු චිත්‍රපට එනකම් බලාගෙන ඉන්නේ ඒවා නරඹන්න යන්න. නමුත් මෑතකාලීනව ඒ තත්ත්වය වෙනස් වුණා. ඒකට එක හේතුවක් තමයි රූපවාහිනියේ ආගමනය. ඒක අපේ රටට විතරක් නෙවෙයි ලෝකයේ අනිත්
රටවලටත් සිද්ධ වුණා. නමුත් ඒ රටවලට හැකි වුණා සිනමාව ඒකෙන් මුදාගෙන නැවත ශක්තිමත් කර්මාන්තයක් බවට පත් කරන්න. ඒ රටවල් වෙනස් වන ලෝකයත් එක්ක කර්මාන්තයට පිළියම් යෙදුවා. නමුත් අපේ රටේ එහෙම දෙයක් සිද්ධ වුණේ නැහැ. අපි තාමත් ඉන්නේ එදා හිටපු තැන. එතැනදි අපි අපෙන්ම අහගන්නවා හැත්තෑව දශකයේ මේ කර්මාන්තයේ තිබුණු දියණුව නැවත ළඟා කරගන්න බැරිද කියන ප්‍රශ්නය. මොකද ඒ කාලයේ තිබුණු දියණුව අපි දන්නවා.ඒ වගේම එතැනදි සඳහන් කරන්න අවශ්‍ය තවත් වැදගත් කාරණයක් තිබෙනවා.
ඒ කාරණය ගැනත් අපි කතා කරමු?
ඒ කාලයේ උතුරුකරයේ අපේ සිංහල චිත්‍රපට පෙන්නුවා වගේම විශාල ආදායමක් ඉපැයුවා. නමුත් දැන් වසර ගණනාවක් පුරාම ඒ පළාත්වල සිංහල චිත්‍රපට ප්‍රදර්ශනය නොකරන තත්ත්වයක් තිබෙන්නේ. ඇයි ඒ වෙනුවෙන් පිළියමක් යොදන්න බැරි. එක්කෝ දමිළ භාෂාවෙන් හඬ කවලා හෝ එහෙමත් නැත්නම් උපසිරැස් ගන්වලා සිංහල චිත්‍රපට උතුරට අරගෙන යන්න උත්සාහ ගත යුතුයි.එහෙම කරන්න පුළුවන් නම් ඒක මේ කර්මාන්තයට ලොකු
රුකුලක් වේවි. ඒ වගේම අපේ හොඳ චිත්‍රපට සම්බන්ධයෙන් රාජ්‍ය අනුග්‍රහය ඇතිව විදෙස් රටවලට පිටපත් විකුණන්න හෝ ප්‍රදර්ශනය කරන්න හැකියාවක් තිබෙනවා නම් එයත් කර්මාන්තය පැත්තෙන් ඉතාමත් හොඳ වේවි. එතැනින් නිෂ්පාදකයාට වගේම රජයටත් ආදායමක් උපයාගන්න අවස්ථාව සැලසෙනවා. දැනට මේ වගේ කටයුතු නිෂ්පාදකවරුන්ගේ මහන්සියෙන් හා පෞද්ගලික සමාගම් මැදිහත් වෙලා සිදු කෙරුණත් ඒවායෙන් විශාල ආදායමක් ලබාගන්න බැහැ.
ආසියානු කාන්තාවන් බහුතරයක් විවාහයත් සමඟ වෘත්තිය ජීවිතය සීමා කරගන්නවා. නමුත් ඔබ සිනමාවට එන්නෙම විවාහයෙන් පසුව?
ඇත්තටම මගේ ගමන අනිත් අයට වඩා වෙනස්. මගේ සැමියා ආතර් යූ. අමරසේන හට පුවත්පත් කලාව තුළින් සිනමාවට ලොකු සම්බන්ධයක් තිබුණා. ඔහුට සිනමාව සම්බන්ධයෙන් විශාල අවබෝධයක් තිබුණා. ඔහු මට කියපු දෙයක් තියෙනවා. ඒ තමයි කරන වැඩේ හරියට කරන්න, වෙලාවට වැඩ කරන්න සහ ඉවසිලිවන්ත වෙන්න කියන දේ. ඒ වගේම මගේ මවුපියන්ගේ සහායත් මට අඩු නැතිව ලැබුණා. මට දරුවෝ දෙන්නෙක් ලැබුණටත්
පස්සේ තමයි මම සිනමාවට ආවේ. එතැනදි රංගන ජීවිතය, ගෘහණියක් වශයෙන් ඒ ජීවිතය වගේම අම්මා කෙනෙක්, බිරියක්, දුවෙක් වශයෙන් මගේ පෞද්ගලික ජීවිතය සාර්ථක කරගන්න මගේ සැමියාගේ, මවුපියන්ගේ, දරුවන්ගේ සහයෝගය විශාල වශයෙන් ලැබුණා. මම දකින්නේ ඒක මම ලබපු වාසනාවක් විධියට.අද වෙද්දි නම් අපේ මවුපියන් ජීවතුන් අතර නැහැ. නමුත් අදටත් අපේ දරුවන් අපේ මිනිපිරි, අපි හැමෝම මේ පොඩි සර්කල් එක ඇතුළේ අපේ බැඳීම පවත්වාගෙන යනවා. අපි පුළුවන් හැම වෙලාවකම පවුලක් විධියට එකතු වෙනවා. ඒක ඇත්තටම මේ බැඳීම් ඒ ආකාරයෙන් පවත්වාගෙන යන්න අතිශය වැදගත්.
අවසන් වශයෙන් ඔබට අදටත් නොඅඩුව ආදරය පුද කරන ප්‍රේක්ෂයන් ගැනත් යමක් කියමු?
මගේ සම්පූර්ණ කලා ජීවිතය දැන් වසර 60ක් සිනමාව තුළ දශක පහක්. මේ කාලය පුරාවටම මාව ඔසවා තබාගත්තේ මම ලබපු සම්මානවලට වඩා මගේ ආදරණීය ප්‍රේක්ෂකයන් කියන දේ මම විශ්වාස කරනවා. ඔවුන්ගේ ආදරය නැත්නම් මට මේ තාක් දුරට එන්න ලැබෙන්නේ නෑ. ඒ වෙනුවෙන් මම හැමදාමත් ඔවුන්ට බෙහෙවින් කෘතවේදී වනවා.