මරණය විහිළුවට ලක් කළේ නැහැ- සුලෝචනා

 


ලාංකීය ප්‍රේක්ෂකයන්ට නැවුම් අත්දැකීමක් ගෙනදෙමින් ඉලංගො රාම් අධ්‍යක්ෂණය කරපු Black Comedy වර්ගයට අයත් නෙළුම් කුලුන චිත්‍රපටය මේ වෙද්දි ප්‍රේක්ෂකයන්ගේ උණුසුම් ප්‍රතිචාර මැද සාර්ථකව තිරගත වෙනවා. ඉතින් නෙළුම් කුලුන චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් රඟපාන සුලෝචනා වීරසිංහගෙන් අපි හිතුවා නෙළුම් කුලුනේ රසවත්කම ගැන විස්තර දැනගන්න.




සුලෝචනා රඟපාන නෙළුම් කුලුන මොනවිදිහෙ චිත්‍රපටයක්ද ?




මරණයක් සමග හාස්‍ය කුතුහලය කැටිවුණ Black comedy වර්ගයට අයත්වන චිත්‍රපටයක් තමයි ඉලංගො රාම් අධ්‍යක්ෂණය කරපු නෙළුම් කුලුන. ඒ වගේම තමයි ලංකාවෙ නිර්මාණයවන චිත්‍රපටවලට වැඩිය විදේශීය චිත්‍රපට හොඳයි කියන මතයක ඉන්න ප්‍රේක්ෂකයන්ට නරඹන්න පුළුවන් ඉහළ ගුණාත්මක තත්ත්වයේ චිත්‍රපටයක් නෙළුම් කුලුන.




මරණය චිත්‍රපටයක් හරහා විහිළුවට ගන්න පුළුවන්ද ?




මෙහිදී කිසිසේත්ම පවුලක සිදුවන මරණය විහිළුවට ගැනෙන්නෙ නැහැ. මරණය ආශ්‍රිත යම් සිදුවීම් පෙළක් චිත්‍රපටයට පාදකවෙලා තියනවා. මෙය ප්‍රබන්ධයක් සත්‍ය සිදුවීමක් ලෙස ප්‍රේක්ෂකයාට දැනෙන ආකාරයට අපූර්වත්වයෙන් යුතුව ගොඩනඟන ලද චිත්‍රපටයක්. සමාජ මාධ්‍යවල ප්‍රකාශවන විවිධ මත විශ්වාස කරන්නෙ නැතුව මේ ගැන හරියාකාරව දැනගන්න හැමෝටම මම ආරාධනා කරනවා ළඟම තියන චිත්‍රපට ශාලාවට ගිහින් නෙළුම් කුලුන නරඹන්න කියලා.




ඉලංගො රාම් සහ අනෙකුත් නළුනිළියන් සමග නෙළුම් කුලුන චිත්‍රපටයේ රඟපාන්න ලැබුණ අත්දැකීම මොනවගේද ?




ඉලංගො රාම් කියන්නෙ දුර දැක්මක් තියන හොඳ අධ්‍යක්ෂකවරයෙක්. ඉතින් ඔහුගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වුණ නෙළුම් කුලුනේ රඟපාපු අත්දැකීම ගොඩක් වටින ලස්සන අත්දැකීමක් වුණා. ඒ වගේම නෙළුම් කුලුන චිත්‍රපටයට මම ඇතුළුව කෞෂල්‍යා ප්‍රනාන්දු, ප්‍රියන්ත සිරිකුමාර, තුසිත ලක්නාත්, චාන්දනී සෙනෙවිරත්න, දිල්හානි ඒකනායක, චමිලා පීරිස් රංගනයෙන් දායක වුණා. අපි හැමෝම කාලයක් තිස්සේ දන්න අඳුරන ක්ෂේත්‍රයේ එකට වැඩකරපු ශිල්පීන්. ඒ නිසා ඉතාමත් සුහදශීලීව අපේම වැඩක් විදිහට රඟපාපු නිර්මාණයක් තමයි නෙළුම් කුලුන කියන්නෙ.




නෙළුම් කුලුන දමිළ භාෂාවෙන් ප්‍රතිනිර්මාණය කරලා මේ වෙද්දි ඉන්දියාවේ තිරගතවෙනවා...




ඔව්. නෙළුම් කුලුන චිත්‍රපටය Perusu නමින් ඉන්දියාවේ නළුනිළියන් යොදාගෙන දමිළ භාෂාවෙන් ප්‍රතිනිර්මාණය කරලා මේ වෙද්දි ඉන්දියාවේ සිනමාශාලාවල තිරගත වෙනවා. Perusu චිත්‍රපටයේ අධ්‍යක්ෂණය කළෙත් නෙළුම් කුලුන අධ්‍යක්ෂණය කරපු ඉලංගො රම් විසින්මයි. ඉතින් ලාංකීය අධ්‍යක්ෂවරයෙක් මේ විදිහට ජාත්‍යන්තර තලයට යෑම ගැන ඇත්තටම සතුටුයි.




නෙළුම් කුලුන ඇතුළු චිත්‍රපට ගණනාවක් ප්‍රමාදවී තිරගතවීම ගැන අදහස මොකක්ද ?




නෙළුම් කුලුන නිර්මාණය කරලා වසර දෙකකින් පස්සෙ දැන් තමයි තිරගතකිරීම් ආරම්භ කරලා තියෙන්නෙ. ඊටත් වඩා කාලයක් තිරගත නොවුණ චිත්‍රපට අත්දැකීම් මට තියෙනවා. මගේ මිත්‍ර අධ්‍යක්ෂවරයෙක්වන තිසර ඉඹුලාන ඔහුගේ කුලුඳුල් චිත්‍රපටය නීනෝ Live නිර්මාණය කළේ ඔහුට අවුරුදු 24දි. නමුත් එය තිරගතකරන්න ලැබුණෙ ඔහුට අවුරුදු 34 දි. කුලුඳුල් සිනමා නිර්මාණකරුවකුට තම නිර්මාණ ජීවිතයෙන් වසර 10ක් කියන්නේ විශාල කාලයක්. එය යම් විදිහක බලාපොරොත්තු බිඳ වැටීමක් වෙන්නත් පුළුවන්. මේ විදිහට තිරගතකිරීම් කරගන්න බැරුව කල්ගිය චිත්‍රපට රාශියක් තියෙනවා. නිෂ්පාදකවරුන්ට අධ්‍යක්ෂවරුන්ට නළුනිළියන්ට සහ කාටවත් අසාධාරණයක් වෙන්නෙ නැති විදිහට චිත්‍රපට තිරගතකිරීමේ ක්‍රියාවලිය වේගවත් වියයුතු අතර ඒ සඳහා අදාළ බලධාරීන් කඩිනමින් ක්‍රියාත්මක වියයුතු බවයි මගේ අදහස.




සුලෝචනා වැඩිපුර රංගනයෙන් දායකවෙන්නෙ කලාත්මක නිර්මාණවලට විතරද ?




නැහැ. සමහර නිර්මාණකරුවන් මම රඟපාන්නෙ කලාත්මක චිත්‍රපට සහ මෙගා නොවන ටෙලිනාට්‍යවල විතරයි කියලා අදහසක ඉන්නවා. නමුත් මම කලාත්මක සහ වාණිජ කියන දෙවර්ගයේම සිනමාපටවලට සම්බන්ධ වෙනවා. ටෙලිනාට්‍යයත් මෙගා සහ මෙගා නොවන දෙවර්ගයේම ටෙලිනාට්‍යවලට රංගනයෙන් සම්බන්ධ වෙනවා




ඉදිරියේදි සුලෝචනාව ප්‍රේක්ෂකයන්ට දකින්න පුළුවන් නිර්මාණ මොනවද ?




තිසර ඉඹුලාන අධ්‍යක්ෂණය කරපු ‘මෝඩ තරිඳු’ චිත්‍රපටයේ අතිරේක චරිතයකට මම සම්බන්ධ වුණා. ඉදිරියේදි මෝඩ තරිඳු ප්‍රේක්ෂකයන්ට නරඹන්න පුළුවන්. මේ දවස්වල ප්‍රදර්ශනය කරන රජා මං වහලා, තට්ට ගායිකාව, සඳුදා වැටෙන්නෙ සිකුරාදාට කියන වේදිකා නාට්‍යවලට සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ වගේම තවත් අලුත් වේදිකා නාට්‍ය දෙකක පුහුණුවීම් කටයුතු මේ දවස්වල කරනවා. ඒ වේදිකා නාට්‍යය දෙකත් ඉදිරියේදි ප්‍රේක්ෂකයන්ට නරඹන්න පුළුවන්



Previous Post Next Post