කාංචනා නිසා පාරෙ බැහැලා යන්නත් බෑ -සුබුද්ධි ලක්මාලි

 



ජාතික රූපවාහිනියේ විකාශය වෙන ඉරගිනි මද්දහන ටෙලි නිර්මාණයේ කාංචනාගේ චරිතයට පණ පොවන ඇය වේදිකාවේ පන්නරයත් සමඟින් කලාවට පිවිසි රංගන ශිල්පිනියකි. සුබුද්ධි ලක්මාලි නමින් නොහඳුනන බොහෝ දෙනා කාංචනා නමින් ඇය හඳුනයි. වේදිකාව උදෙසා පිරිනැමෙන ජාත්‍යන්තර සම්මානයක් දිනූ එකම ශ්‍රී ලාංකේය රංගන ශිල්පිනිය ද ඇයයි. ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් ඇසුරේ ප්‍රාසාංගික කලාව හැදෑරූ ඇය කලා ලොවේ දිගු ගමනක් යන්නට උත්සාහ කරන්නීය.


*කාංචනා කියන්නේ මේ දවස්වල ජනප්‍රියම චරිතයක්. කොහොමද ආරාධනා ලැබෙන්නේ?


නංගි මෙහෙම වැඩක් තියෙනවා කියලා අධ්‍යක්ෂ ලලිත් අයියා මුලින්ම මට කිව්වේ අරගල භූමියේදී. ඊට කලින්ම කාංචනාගේ චරිතයට මාව යෝජනා කරල තිබුණේ එහි සහාය අධ්‍යක්ෂ විදිහට කටයුතු කළ චන්දන ඉරුගල්බණ්ඩාර අයියා. ඔහුත් මට කිව්වා නංගි මෙන්න මේ වගේ චරිතයක් තියෙනවා. ඔයාගේ කැපෑසිටි එකේ හැටියට ඔයාට වැඩක් කරන්න තියෙන එකක්. ඒ නිසා මං ඔයාව යෝජනා කරනවා කිව්වා. ඊට පස්සේ ලලිත් අයියා නැවත මට කතා කළා. එහෙම තමයි මම කාංචනා වුණේ.


*මේ දවස්වල ප්‍රේක්ෂකයින්ගෙන් බැණුම් අහන කාංචනා මොනවගේ චරිතයක් ද?


සමන්තා මෙහි ප්‍රධානම කාන්තා චරිතය වුණත් කාංචනා හරහා පෙන්වන්නේ ගැහැනියගේ වෙනස්ම පැතිකඩක්. කාංචනා ඇඟලුම් ක්ෂේත්‍රයට ආවත් ඇය හොඳ පෙළැන්තියක නියෝජනයක්. ඉහළ පෙලැන්තියේ මාන්නය නිසා කාංචනාගේ හීනත් හරිම ලොකුයි. මස්සිනාගේ හිතේ කාංචනා ගැන ආදරයක් තිබුණත් ඇය එයට අකැමැති වෙන්නෙත් ඔහු සරම් අඳින නිසා. ඇයට ඕන කලිසම් අඳින කෙනෙක්. නගරෙදි ඇය බොරුකාරයෙක්ට රැවටෙන්නෙත් ඒ නිසා. කාංචනා කියන්නේ මේ දවස්වල මිනිසුන්ගෙන් හොඳටම බැණුම් අහන චරිතයක්. ඕනෙම රංගන ශිල්පියෙක් බලාපොරොත්තු වෙන්නේ අභියෝගයක්. සමාජයට මොකක්හරි පණිවුඩයක් දෙන්න පුළුවන් කැරැක්ටර් එකක් ලැබෙනවා නම් මං ගොඩක් කැමැතියි. ඒ නිසා කාංචනා ගැන කිව්ව ගමන් මං ඒක සතුටින් භාරගත්තා.


*රූගත කිරීම්වලදීත් අභියෝග රැසකට මුහුණ දුන්නා නේද?


ඔව්. ගොඩක් දුෂ්කර කාලෙක තමයි මහව පළාතේ රූගත කිරීම් ආරම්භ කරන්නේ. ප්‍රවාහන පහසුකම් නැති, ඉන්ධන අඩු, විදුලිය නිතර නිතර විසන්ධි වන කාලයක් ඒක. ඒත් අපි එහේ ලොජ් වෙලා හරිම සතුටින් රූගත කිරීම්වලට සම්බන්ධ වුණා. අපේ ගමනාගමනයට පොඩි බස් එකක් අරන් තිබුණා. හරිම විනෝදෙන් ගෙවපු සුන්දර කාලයක්. මුලින්ම කොටස් කිහිපයක් රූගත කරලා රූපවාහිනී නාළිකාවකට දීලා එය විකාශය වෙද්දී අවුරුදු දෙකකට පස්සේ තමයි ඉතුරු ටික කරන්න ගත්තේ. එතරම් කාලයක් යද්දී අපි කරගෙන ආපු කැරැක්ටර් එකේ රිදම් එක නැවත ගන්න ලොකු කැපකිරීමක් කරන්න වුණා.


*මෙහි එන චරිතත් නිර්මාණයේ සාර්ථකත්වයට යම්කිසි බලපෑමක් ඇති කරලා තියෙනවා නේද?


ඉරගිනි මද්දහන කියන්නේ සම්මානනීය ලේඛිකා තරංගා දිසානායකගේ කඳුළු කුණාටුව පොත ඇසුරින් නිර්මාණය වූවක්. ඇයත් මේ වගේ පරිසරයක හැදුණු කෙනෙක් විදිහට මේ හැම චරිතයක්ම ලියලා තියෙන්නේ ඒ සමාජයේම ජීවත් වන චරිත ඇසුරින්. මේ කියන්නෙ මං ගැන නේද මේ මෙයා නේද කියලා අපිම තීරණය කරලා නිර්මාණය ආදරෙන් වැලඳ ගන්න හේතුව වුණා කිව්වත් හරි. ඒ නිසයි ඔවුන් ඇතැම් චරිතවලට බණින්නෙත් ඇතැම් ඒවා වැලඳගන්නෙත්. කාංචනා හෝ සමන්තා කියන මේ කිසිම චරිතයක් සුදුත් නෑ කළුත් නෑ. කළු හෝ සුදු අඩු වැඩි වීම තුළ තමයි චරිතය හොඳ ද නරක ද කියන එක තීරණය වෙන්නේ.


*ඔබත් වේදිකාවෙන් ආව රංගන ශිල්පිනියක්. වේදිකාවෙන් ලත් පුහුණුව රංගන ශිල්පියකුට කොතෙක් දුරට වැදගත් වෙනවද?


වේදිකාවෙන් රංගනයට පිවිසි අය යම් යම් දේ පුරුදු පුහුණු වෙලා එන්නේ. පහරක් ගහද්දි වුණත් සැලකිලිමත් විය යුතු තැන් බොහොමයි. රංගන ශිල්පියෙක් හෝ ශිල්පිනියක් ශරීරයට වඩා මොළෙන් කරන්න ඕන වැඩ කොටස වැඩියි. සම්පූර්ණයෙන්ම අපි වෙන චරිතයකට ආරූඪ වුණොත් අපි කට්ටඩියෙක් ගානට වැටෙනවා. අපිත් ඒ තුළ සිටිය යුතුයි. කාංචනාට බේබි නෝනා ඇත්තටම ගහන අවස්ථා තියෙනවා. නමුත් ඒක කරන්නේ හොඳ දැනුමක් ඇතුව.


*කාංචනාට ලැබෙන ප්‍රතිචාර ගැන කතා කළොත්?


දැන්නම් පාරෙ බැහැළ යන්නත් බැරි තත්ත්වයක් උදාවෙලා. ඒ ඉතින් කාංචනා නිසා මිසක් සුබුද්ධි නිසා නෙවෙයි. පාරට බැස්සත් ගොඩක්ම කාංචනා කියලයි කතා කරන්නේ. කාංචනා හරහා මිනිස්සු මාව වැලඳ ගැනීම ගැන මට සතුටුයි.


*මේ ආපු ගමන් මඟ ගැන කිව්වොත්?


පුංචි කාලෙ ඉඳන්ම මගේ ආසාව තිබුණෙ වෛද්‍යවරියක් වෙන්න. වෛද්‍යවරියක් වුණේ නැහැ කියලා අදටත් මං පසුතැවෙන්නෙ නෑ. මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය සටහන් වෙන්නේ ප්‍රේමසිරි කේමදාසයන්ගේ හමුවීම. රංගනයට, ගායනයට අමතරව මේ වෙද්දි මං හඬ පුහුණු කිරීමේ ගුරුවරියක් විදිහටත් කටයුතු කරනවා. ආචාර්ය කේමදාසයන් ඇසුරේ ගෙවුණු වසර තුනහමාරක කාලය තමයි මගේ සාර්ථකත්වයේ අඩිතාලම වැටුණේ. ඔපෙරා ගායන ශිල්පිනියක් විදිහට මගේ හඬ පරාසය වර්ධනයට වගේම මගේ ශරීරය පුහුණු කරගන්නත් ලැබෙනවා. ප්‍රාසාංගික කලාව තුළ මේ හැම දෙයක්ම හදාරන්න ලැබුණා. 2007 අග්නි ඔපෙරාව හරහා මුලින්ම මං කලාවට පිවිසෙන්නේ කමල් අද්දරආරච්චි වැනි ප්‍රවීණයන්ගේ ඇසුර යටතේ. ඒ ආව ශක්තිමත් ගමන් මඟ තමයි මේ දක්වා ඇවිත් තියෙන්නේ. ලූෂන් බුලත්සිංහලයන්ගේ රතු හැට්ටකාරී, රඟපෑම ඉවරයි වැනි වේදිකා නාට්‍යවලට සම්බන්ධ වෙන්න ලැබුණා. 2009 අග භාගයේ මං පුංචි තිරයට පිවිසෙන්නේ මහේන්ද්‍ර පෙරේරාගේ කුළුඳුල් ටෙලි අධ්‍යක්ෂණය වුණු ස්ටාර් ශ්‍රී ලංකා හිස්තැනක් කියන ටෙලි නාට්‍යයෙන්. ඒ චරිතය හොඳම නැඟී එන නිළිය විදිහට නිර්දේශ වෙනවා. ඒ වගේම ජයන්ත චන්ද්‍රසිරිගේ හතරදෙනෙක් සෙන්පතියෝ ටෙලි නිර්මාණයේ තේමා ගීත ගායනය වෙනුවෙන් ප්‍රථම වතාවට රූපවාහිනී රාජ්‍ය සම්මාන උලෙළේ හොඳම ගායිකාවට නිර්දේශ වුණා. රංගනය වෙනුවෙන් ලැබුණු පළමු සම්මානය වෙන්නේ සකර්ම ටෙලි නාට්‍යයට හිමිවුණු ජූරියේ විශේෂ සම්මානය. ඊට පෙර වේදිකා නිර්මාණයක් සඳහා ලැබුණු එකම ජාත්‍යන්තර සම්මානයේ හිමිකාරිය වීමේ වාසනාව හිමිවීමත් මගේ ජීවිතේ සුවිශේෂීම අවස්ථාවක්.



Previous Post Next Post