වේදිකාවෙන් ආරම්භ කළ මාවත දිගේ ඇය කොතෙක් දුර ඇවිද ඇද්දැයි කියනවා නම් 21 වැනි රයිගම් සම්මාන උළෙලේ විශිෂ්ටතම සහාය නිළිය ලෙස නිර්දේශ වන්නට තරම් එය සාර්ථක ගමනකි. එකිනෙකට වෙනස් චරිත සමඟින් ප්‍රේක්ෂකයාට ළං වූ ඇය නිහඬ නමුත් ස්ථාවර ගමනක යෙදෙන ශිල්පිනියකි. වියළිහි කාන්ති වෙමින්, සංකීර්ණ වූ මනෝභාවයන් බොහොම සුමටව නිරූපණය කරමින් චරිතාංග නිළියක් ලෙස තවත් පියවරක් ඉදිරියට තබන්නට සමත් වූ ඇය නමින් චන්දිමා කරුණාදාසය.
“කාන්ති” චරිතය, ඔබව විශිෂ්ට ගණයට වැටෙන සම්මානයක් සඳහා නිර්දේශ වීමට හේතුවක් වෙලා මේ මොහොතේ දැනෙන හැඟීම?
විසි එක්වන රයිගම් සම්මාන උළෙලේ විශිෂ්ටම සහාය නිළිය සම්මානය සඳහා මගේ නම නිර්දේශ වෙලා තිබෙනවා. ඒ වියළි ටෙලි නාට්‍යයේ කාන්තිගේ චරිතය වෙනුවෙන්. ඇත්තටම ගොඩක් සතුටුයි. බොහොම දුෂ්කරතා මැද ගොඩක් මහන්සියෙන් ආපු ගමනක් මේක. කාන්ති කියන්නේ මගේ රංගන ජීවිතයේ වගේම පෞද්ගලික ජීවිතයේත් ලොකු කැපකිරීමක් කරලා ඉදිරිපත් කරපු රංගනයක්. ඉතින් ඒ වෙනුවෙන් සම්මානයක් සඳහා නිර්දේශ වීම විශාල සතුටක්. ඇත්තටම මට කියන්න අවශ්‍යයි වියළි නාට්‍යය සම්මාන විශාල ප්‍රමාණයක් සඳහා නිර්දේශ වෙලා තිබෙනවා. ඒකත් විශේෂ සතුටක් ඇති කරනවා.
ඔබත් සමඟින් ක්ෂේත්‍රයේ තවත් ප්‍රවීණයන් දෙදෙනෙක් මේ සම්මානය වෙනුවෙන් නිර්දේශ වෙලා ඉන්නවා?
ඔව්, ඇත්තටම මම නිර්දේශ වෙලා ඉන්නේ තත්පරයක් දෙන්න නාට්‍යය වෙනුවෙන් සේමිණී ඉද්දමල්ගොඩ මහත්මිය සමඟින් සහ බැක්සයිඩ් නාට්‍යය වෙනුවෙන් දුලීකා මාරපන මහත්මිය සමඟින්. ඇත්තටම ඔවුන් දෙදෙනා මම පෞද්ගලිකව ගරු කරන රංගන ශිල්පිනියන් දෙදෙනෙක්. ඒ වගේම ඔවුන්ගේ රංගන පරාසයන්ට මම බොහොම කැමැතියි. ඉතින් මම වගේ පුංචි කෙනෙක් ක්ෂේත්‍රයේ ඒ වගේ දැවැන්ත ප්‍රවීණයන් දෙදෙනෙක් එක්ක නිර්දේශ වීමම මට සතුටක්. ඔවුන් දෙදෙනා සමඟින් නිර්දේශ වීම මට සම්මානය ලැබුණා හා සමාන සතුටක්.
කාන්ති කියන්නේ සාමාන්‍ය ගැහැනියක් ඇතුළේ තිබෙන සංකීර්ණ මනෝ භාවයන් සහිත සබඳතා නිරූපණය කළ චරිතයක්. එයට අනුගත වුණේ කොහොමද?
කාන්ති කියන්නේ ඇත්තටම සංකීර්ණ චරිතයක්. එය විශාල පරාසයක් පුරා විහිදුණු චරිතයක්. සමාජය ඉදිරියේ ගැරහුමට ලක්වෙන, නමුත් අන් සියලුම ගැහැනු වගේ ආදරය බලාපොරොත්තු වෙන චරිතයක් තමයි කාන්ති කියන්නේ. තමන්ගේ සැමියාගෙන් නොලැබෙන ආදරය කළුවාගෙන් ලැබෙද්දී ඇය ඔහුට ඇත්තටම ආදරය කරනවා. ඒ චරිත ලක්ෂණ නිසාම මට ඒ තුළ කරන්න ගොඩක් දේවල් තිබුණා. එය තරමක අභියෝගයක් වුණත් ඒ හරහා මට මගේ රංගන හැකියාව පෙන්වීමට ලැබීම ලොකු අවස්ථාවක්.
මෑතකාලීනව කාන්තාව මූලික කරගත් ටෙලි නාට්‍ය බොහොමයක් විකාශය වුණා ඒ ප්‍රවණතාව ගැන මොකද හිතෙන්නේ?
කාලයෙන් කාලයට ප්‍රේක්ෂකයාගේ රුචිකත්වය වෙනස් වෙනවා. එහෙම බලද්දි මෑතකාලීනව කාන්තාවන් ගැන වැඩි වශයෙන් කතාබහට ලක්වන නිර්මාණ බිහිවෙලා තිබෙනවා. වියළි ගත්තම ඒ තුළින් චරිත කිහිපයක් හරහා කාන්තාවගේ විවිධ පැතිකඩ සාකච්ඡා කළා. සමහර විට නිර්මාණකරුවන් කාන්තා මූලික නිර්මාණ සඳහා වැඩි වශයෙන් පෙලඹෙන්න ප්‍රේක්ෂක ප්‍රතිචාරත් බලපානවා ඇති. නමුත් මේ කාලයේ අපි කාන්තාවන් ගැනම කතා කළ යුතුයි කියන තැනට සීමා වෙන්න මම කැමැති නැහැ. ඇතැම් අවස්ථාවල එවැනි එක් නිර්මාණයක් ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය වීම හරහා ඉන් පසුව බිහිවන නිර්මාණයන් සඳහා පෙලඹවීමක් ඇති කළා වෙන්නත් පුළුවන්.
වේදිකාවේ වැඩකටයුතු තාවකාලිකව නතර කරලද?
ඔව්. ඇත්තටම මේ දිනවල මගේ පෞද්ගලික හේතු කාරණා මත වේදිකාවට සම්බන්ධ වීම පොඩ්ඩක් නතර කරලා තිබෙනවා. මවක් වීම සහ ඒ හේතුවෙන් කාර්යබහුල වීම වගේම වෙනත් ප්‍රදේශවල දර්ශන වාර සඳහා සහභාගි වීමට අපහසු වීම තමයි ඒකට හේතුව. මගේ ආරම්භය වේදිකාව. වේදිකාවට මම හරිම ආදරෙයි. නමුත් දුවගේ වැඩකටයුතු සමඟින් එයට කැප වෙන්න අපහසුයි. නමුත් කාලයත් එක්ක ඉදිරියේදී අනිවාර්යයෙන්ම වේදිකාව එක්ක සම්බන්ධ වෙනවා.
Homicide මිනි සීරිස් එක ගැනත් කියමු?
මට ඒ සඳහා ආරාධානා ලැබෙන්නේ එහි පිටපත් රචනය සිදු කළ රසික සුරවීර ආරච්චිගෙන්. එහි අධ්‍යක්ෂණය සිදු කළේ ධනුෂ්ක රේමන්ඩ්. මම දායක වුණු වෙනස්ම නිර්මාණයක් තමයි හොමිසයිඩ් කියන්නේ. මේ වෙද්දි එපිසෝඩ් කිහිපයක් නිකුත් වෙලා අවසන්. බොහොම කැමැත්තක් දායක වුණු නිර්මාණයක්.
හොඳ ප්‍රතිචාර ලැබෙනවා ඇති?
ප්‍රේක්ෂකයන් මම කරන චරිතය මගේ සැබෑව කියලා හිතලා ප්‍රතිචාර දක්වන අවස්ථාවන් ගොඩක් තිබිලා තියෙනවා. රඟපාන චරිතයේ ලක්ෂණ මගේ පෞද්ගලික ජීවිතයට සමානයි කියලා හිතලා බණින අවස්ථාත් තිබෙනවා. සමහර ප්‍රේක්ෂකයන් මඟ තොටේදි හම්බුණාම අපෝ ඔයාගේ අර චරිතයේ වගේද ඔයාගේ ඇත්ත ජීවිතෙත් කියලා අහන වෙලාවල් තිබෙනවා. නමුත් රංගන ශිල්පියෙක් ශිල්පිනියක්, තමන් කරන චරිතයකට තමන් අත්දැකපු, අත්විඳපු දේවල්වලින් යම්කිසි කොටසක් උපයෝගී කරගත්තත් එය ඔවුන්ගේ සැබෑ ජීවිතය නෙවෙයි. ඒ නිසා රංගන ශිල්පියෙක්, ශිල්පිනියක් නිර්මාණයකදී කරන රංගනය ඔවුන්ගේ පෞද්ගලික ජීවිතය කියලා හිතන්න එපා. හොමිසයිඩ්හි මම දායක වෙන්නේ මානසික ව්‍යාධියකින් පෙළෙන කාන්තාවකගේ චරිතයට, මම මීට කලින් ඒ හා සමාන ලක්ෂණ තිබෙන කෙනෙක් දැකලා නැති නිසා අධ්‍යක්ෂවරයා හා තිරපිටපත් රචකයා සමඟින් මේ ගැන ගොඩක් දේවල් කතා කළා. ඇත්තම ඒ චරිතය වෙනුවෙන් මට ප්‍රතිචාර විධියට ගොඩක් බැණුම් තමයි ලැබුණේ.
වේදිකාවෙන් ටෙලි නාට්‍යවල එන ඇතැම් ශිල්පීන්ට එල්ල වන චෝදනාවක් තමයි අධි රංගනයක යෙදෙනවා කියන දේ, ඔබ කොහොමද එවැනි චෝදනාවක් එල්ල නොවෙන තැනට තම රංගනය හැසිරුවේ?
වේදිකාවත් එක්ක මුලින් ගනුදෙනු කරලා පසුව ටෙලි නාට්‍ය හෝ චිත්‍රපටවලට දායක වෙද්දී, වේදිකාවෙන් ලබාගත් ඇතැම් දේවල් මතුවන එක එකවර නවත්තන්න අසීරුයි. වේදිකාව වගේ සජීවී මාධ්‍යයක අපි අපේ හඬ, අභිනය වගේ දේවල් වැඩියෙන් ඉස්මතුවෙන ආකාරයට තමයි රංගනයේ යෙදෙන්නේ. නමුත් ටෙලි නාට්‍යයකට හෝ සිනමාපටයකට දායක වෙද්දී තමන්ගේ මාධ්‍ය හඳුනාගෙන එය සිහියෙන් පාලනය කරගත යුතුයි. මුලදී අසීරු වුණත් වේදිකාවේ අත්දැකීම් තිබෙන කෙනෙක්ට එය අසීරු වෙන්නේ නැහැ.
ඉදිරියේදී විකාශය වෙන්න තිබෙන වෙනත් නිර්මාණත් මතක් කරමු?
මෑතකදී මට ලැබුණු ආරාධනා කිහිපයක්ම විවිධ හේතුන් මත ප්‍රතික්ෂේප කරන්න සිද්ධ වුණා. නමුත් දැනට සීමිත කොටස් ගණනක ටෙලි නාට්‍යයකට දායක වෙනවා. එහි පළමු අදියරේ රූගත කිරීම් අවසන්. දෙවන අදියරේ රූගත කිරීම් ඉදිරියේදී ඉක්මනින් ආරම්භ වෙයි.
මේ දරු සුරතල් බලමින් ගෙවෙන ඔබේ ජීවිතයේ සුන්දරම කාලයක්, ආදරණීය දියණිය ගැනත් පොඩ්ඩක් කතා කරමු?
ඔව් මගේ දුවට තාම අවුරුද්දක් පිරුණේ නැහැ. ඉස්සරට වඩා ජීවිතයේ වගකීම් වැඩි වෙලා. මටත් මගේ සැමියාගෙත් අරමුණ ඇයව හොඳ මනුස්සයෙක් විධියට සමාජයට දායාද කිරීම. අම්මා කෙනෙක් වශයෙන් මම ඇය වෙනුවෙන් සම්පූර්ණයෙන්ම කැප වෙනවා. මමයි, සැමියයි අපේ පවුල්වලින් ඈත් වෙලා දුවත් සමඟ කොළඹ ගෙවන මේ ජීවිතේ තරමක් දුෂ්කර වුණත් ඇගේ සුරතල් බලමින් දවස ගෙවෙද්දී කාලය යනවා දැනෙන්නේ නැහැ. ජීවිතයේ ලැබුණු සුන්දරම අත්දැකීමක් තමයි මේක. මට එයාව සල්ලිකාරයෙක් කරන්න අවශ්‍ය නැහැ. එයා මොන ක්ෂේත්‍රය තෝරගත්තත් එයාව හොඳ මනුස්සයෙක් කරන එක තමයි අපි දෙන්නාගෙම අරමුණ.
අක්ෂි මාපා වීරසිංහ