අති සාර්ථක අයුරින් දින පනහ ඉක්මවූ “කාසි වාසි” චිත්‍රපටයේ රංගනයෙන් මෙන්ම පසුබිම් ගීත ගායනයෙන් අප හමුවට එන ගායන ශිල්පිනියක් මෙන්ම, රංගන ශිල්පිනියක ද වන ඇය ගිරිරාජ් කෞෂල්‍ය ප්‍රවීණ කලාකරුවාගේ ආදරණීය දියණියයි. අද හදසර කතාබහ අමන්ද්‍යා උත්පලී සමඟයි.
අමන්ද්‍යා... ජීවිතය ගෙවෙන්නේ කොහොමද?
මේ දවස්වල ජීවිතය සුන්දරව ගත වෙනවා.
“කාසි වාසි” චිත්‍රපටය මේ වෙනකොට දින පනහේ සීමාව පසුකරලා තියෙනවා. මොකද හිතෙන්නෙ?
හරිම සතුටුයි. මම චිත්‍රපටයක ප්‍රධාන චරිතයක් රඟපාන පළමුවැනි අවස්ථාව තමයි කාසි වාසි චිත්‍රපටය. ඉතින් ඒ චිත්‍රපටයේ දින 50 ක් මේ වෙනකොට ගතවෙලා තියෙනවා කියන්නෙ, චිත්‍රපටය නිර්මාණය කරපු කණ්ඩායම පැත්තෙන් ගත්තත්, රංගන ශිල්පිනියක් විදිහට ගත්තත් ඒක ලොකු ජයග්‍රහණයක් කියලා හිතනවා මේ කාලේ හැටියට.
“කාසි වාසි” චිත්‍රපටයට අමන්ද්‍යා සම්බන්ධ වෙන්නේ කොහොමද?
“කාසි වාසි” චිත්‍රපටයට සම්බන්ධ වීමට ලැබීම මගේ වාසනාවක් කියලා මම විශ්වාස කරනවා. “කාසි වාසි” කියන්නේ මගේ පළවෙනි සිනමා අත්දැකීම නෙවෙයි. කතුරු මිතුරු චිත්‍රපටයේ මම ඉතාම පුංචි කොටසකට රංගනයෙන් දායක වුණා. නමුත් “කාසි වාසි” චිත්‍රපටයේ මම ප්‍රධාන චරිතයකට රංගනයෙන් දායක වෙනවා.
මේ චිත්‍රපටයේ ඔයාගේ චරිතය ගැන කතා කළොත්?
මේකේ මගේ චරිතය විශාල වෙනසක් නෙවෙයි. මම සාමාන්‍ය ජීවිතයේ ඉන්න විදිහමයි කියලා හිතෙනවා. ඒ වගේම ගෙදර වැඩ ගැන අවධානයෙන් ඉන්න කෙනෙක් වගේම, පොඩි කොලු ගතියක් තියෙන කෙල්ලකුගේ චරිතයක් විදිහට තමයි මම ඒ චරිතය කියවාගෙන තියෙන්නෙ.
අමන්ද්‍යාට ලැබෙන ප්‍රතිචාර මොනවගේද?
ඉතාම ඉහළ ප්‍රතිචාර ලැබෙනවා. විශේෂයෙන්ම “කාසි වාසි” චිත්‍රපටයේ සජිත අයියත් එක්ක මම ගායනා කරන, “ජීවිතේ සයිකලේ” කියන ගීතයටත් ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. හරිම සතුටුයි ඒ ගැන.
“කාසි වාසි” රූගත කිරීම් අතරතුර සිදුවුණු රසවත් සිදුවීමක් මතක් කළොත්?
රසවත් සිදුවීම් කිහිපයක්ම තියෙනවා. එයින් එකක් කියන්නම්. මට බයිසිකල් පදින්න බැහැ. නමුත් මම නිෂ්පාදන කණ්ඩායමෙන් ඉල්ලුවා මට බයිසිකලයක් කලින් ගෙනත් දෙන්න කියලා ගෙදරදී පුරුදු වෙන්න. ගෙදරදි පුරුදු වුණත් හොඳටම බයිසිකල් පදින්න පුළුවන් තත්ත්වයක් තිබුණේ නැහැ. හැබැයි මට පුළුවන් කියලා, රූගත කිරීම් කරනකොට සංගීත්වත් බයිසිකලේ දාගෙන යන්න ගිහිල්ලා දෙන්නත් එක්කම බයිසිකලෙන් වැටුණා. සංගීත්ටත් ටිකක් තුවාල වුණා. ඒක තමයි අමතක නොවන රසවත්ම සිදුවීම.
ප්‍රවීණ කලාවේඳී ගිරිරාජ් කෞශල්‍ය මහතාගේ දියණිය වීම ඔයාගේ කලා ජීවිතයට බලපෑවේ කොහොමද?
ඒක මගේ කලා ජීවිතයට ආභරණයක්, වටිනාකමක් වගේම ගෞරවයක්. මම නොයෙක් තැන්වලට ගියාම මගේ තාත්තා නිසාම මට පුදුමාකාර ආදරයක්, ගෞරවයක්, පිළිගැනීමක් ලැබෙනවා. ඒ වගේම තාත්තා නිසාම මට දන්නෙවත් නැති පිරිසගෙන් උදව් උපකාර සහ ප්‍රශංසා ලැබෙනවා. ප්‍රේක්ෂකයෝ මේ තරම් කලාකරුවන්ට ආදරය කරනවද කියලා පුදුම සතුටක් දැනෙනවා. ඉතින් මම හිතනවා මම හරිම වාසනාවන්ත දියණියක් කියලා.
අමන්ද්‍යාගේ අනාගත බලාපොරොත්තු ගැනත් කතා කරමු?
මම ගායන ශිල්පිනියක් විදිහට තමයි මූලිකවම කටයුතු කරන්නෙ. “රැජිනට ඇන්දා” වේදිකා ප්‍රසංග තුනක්ම පසුගිය අවුරුද්දේ අති සාර්ථක අයුරින් පැවැත්වුවා. ඉතින් මේ අවුරුද්දෙත් “රැජිනට ඇන්දා” වේදිකා ප්‍රසංගය අඩුම ගාණේ එකක් හරි පවත්වන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ වගේම අලුත් ගීතයක් නිර්මාණය වෙමින් පවතිනවා. ඒකත් ඉක්මනින් ප්‍රේක්ෂකයන්ට දෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. සංගීත සංදර්ශනවලට සහභාගි වෙනවා. විදේශවලත් සංගීත සංදර්ශනවලට සහභාගි වෙනවා.
• මංගලා පවිත්‍රානි