රංගනයේ නව ඉසව් හොයා යන්නයි ගුරු වෘත්තිය තෝරාගත්තේ-පුබුදු ගමගේ

 



පසුගිය කාලයේදී අපේ දෙනෙතට එතරම් හසු නොවුණු රංගන ශිල්පීන් අතරින් ඔහුත් ඒ අයෙක්. රංගනය පිළිබඳ මනා හැදෑරීමකින්, සුදුසුකම් සහිතව ක්ෂේත්‍රයට පිවිසි අතළොස්ස අතරද ඔහු අපට හමුවනවා. දක්ෂ රංගන ශිල්පියකු ලෙස රසික හදවත් දිනාගත් ඔහු අද වන විට දරුවන්ගේ ආදරණීය හදවත් දිනාගත් දක්ෂ ගුරුවරයකු ලෙසද කටයුතු කරනවා. පුංචි තිරයට මෙන්ම රිදී තිරයට ද තම රංගනයෙන් දායක වු ඔහු ජනප්‍රිය රංගන ශිල්පී පුබුදු ගමගේ.


 කාලෙකින් ඔබව රංගනයෙන් දකින්නට ලැබුණේ නෑ. ඔබ රංගනයෙන් සමු අරන් කියලත් කතා පැතිරෙනවා. ඒක ඇත්තද?


මම තවමත් වෘත්තීය රංගන ශිල්පියෙක්. අනික මෙච්චර ඉක්මනින් රංගනයෙන් සමුගන්න නම් රංගනය හදාරන්න මේ තරම් කැප කිරීමක් කරන්නේ නැහැනේ. පහුගිය කාලයේ අධ්‍යාපනික සහ බාහිර වැඩ කටයුතු කීපයක් නිසා රඟපෑමේ කටයුතුවලට වෙලාව මදිවුණා. ඊට අමතරව රටේ පැවැති තත්ත්වයත් ඒකට බලපෑව. ඒ ගැන පුංචි කනගාටුවක් හිතේ තියෙනවා.


 ඔබ අධ්‍යාපන ආයතනයක් ආරම්භ කළා නේද ?


ඔව්. ඒ STARBORN Film &Television Acting Academy එක. මේ වගේ ආයතනයක් පවත්වාගෙන යනවා කියන එක හිතන තරම් ලේසි නෑ. මේ වෙනකොට අපි චිත්‍රපට කිහිපයකටම ළමා නළු නිළියන් පුහුණු කරමින් නිෂ්පාදනය කරලා තියෙනවා. ඒ වගේම Heart to Heart වැනි වැඩසටහන් ද අප විසින් නිෂ්පාදනය කරගෙන යනවා. ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් රැසකගේ උදව් උපකාර මේ සඳහා ලැබෙනවා. ඒ ගැන අප ස්තුතිවන්ත වෙනවා. ස්ටාර්බෝන් කියන්නේ ලංකාවේ කුඩා ළමයින් සඳහා ආරම්භ කළ පළවෙනි රූපවාහිනී හා සිනමාකරණය පිළිබඳ ඇකඩමි එක. මේ දිනවල අපි “චන්ඩියන්ස්” නමින් ළමා ටෙලි කතා මාලාවක් රූගත කරමින් සිටිනවා. එය ඉදිරියේදී ආදරණීය රසික රසිකාවියන්ට බලාගන්න පුළුවන්.


 ඔබ බලාපොරොත්තු වන අරමුණ කරා දරුවන් රැගෙන යාම පහසු කටයුත්තක් කියලා හිතනවද ?


ඒ ප්‍රශ්නය තුළම යම් අපහසුවක සේයාවක් ගැබ් වෙලා තියෙනවා. අනාගතයට දරු පිරිසක් නිර්මාණය කරනවා කියන එක කිසිසේත්ම ලේසි පහසු කටයුත්තක් නොවෙයි. මේ දරුවන් හැමදාම දරුවන් විදිහටම ඉන්නෙ නෑ. එයාලත් ලොකු මහත් වෙනවා. එදාට අපි බලාපොරොත්තු වන අරමුණට වඩා එහාට මේ දරුවන් ගමන් කරනවා කියන එක මට විශ්වාසයි. ඒක නිසා වර්තමානය දුෂ්කරවන තරමටම අනාගතය සුබයි කියන එක තමයි මගේ අත්දැකීම. ඒ වගේම දුෂ්කරතා කියන එක සාර්ථක මාවතක ගමන් කරන ඕනම කෙනෙකුට මුහුණ පාන්නට වෙන අත්දැකීමක් කියලා හැම විටම අපේ දරුවන්ටත් කියලා දෙන්න අමතක කරන්නේ නෑ. කෙසේ නමුත් විවිධ දුෂ්කරතා මැද සාර්ථක ගමනක් යන දරු පිරිසක් අපිට මේ වෙනකොටත් ඉන්නවා. ඒ වගේම දරුවන් වෙනුවෙන් කැපවුණු විශිෂ්ට මවුව්පියන් පිරිසක් අපේ ආයතනය සමඟ කටයුතු කරන එක ගැනත් මට සතුටුයි.


 කුඩා දරුවන් එක්ක වැඩ කරන්න ලැබීම ඔබට මොකද හිතෙන්නේ ?


දරුවන් සමඟ වැඩ කිරීමට ලැබීම ගැන සතුටුයි. දරුවන්ට නිවැරදි මඟ පෙන්වීමක් කරන එක අපේ යුතුකමක් මෙන්ම වගකීමක්. මම එකෙදි ගොඩක්ම පරිසම් වුණේ එයාලගේ හිතේ රඟපෑම පිළිබඳව තියෙන සතුට ආරක්ෂා කරන්න. මොකද දරුවෙක් නිර්මාණශීලී රංගන ශිල්පියෙක් බවට පත් වෙන්න නම් කුඩා කල සිටම රඟපෑම පිළිබඳ සතුටක් හිතේ රැඳිලා තියෙන්න ඕනේ. තාක්ෂණය තමන්ගේ අතේ තිබුණ පලියට නිර්මාණකරණයෙහි නිරත වෙන්න බෑ. බොහෝ වර්තමාන නිර්මාණවල, විෂය නොදන්නාකම කියන එක අඩුපාඩුවක් විදිහට හැමවිටම දකින්නට ලැබෙනවා. ඒ නිසා රූපවාහිනි හා සිනමාකරණයට වීඩියෝ කරණයට යොමු වෙන ඕනෑම කෙනෙක් මෙම විෂය නිවැරදිව හදාරා තිබිය යුතුයි. එසේම හොඳින් පුහුණු වී ඇත්දැකීම් සම්පූර්ණ කොට තිබීය යුතුයි. ඒ සඳහා යම් කාලයක් ගතවෙන නිසා ළමා වියේදීම රූපවාහිනී හා සිනමාකරණයට දරුවන් යොමුවී තිබීම ඉතාම වැදගත් දෙයක් කියලයි මම නම් හිතන්නේ. ඇතැම් අවස්ථාවලදී මේ දරුවන්ගේ දක්ෂතා දකිනකොට අපේ අනාගත සිනමාව සහ රංගන ක්ෂේත්‍රය කොයිතරම් ඉහලට යොමු කළ හැකිද කියන එක ගැන නම් හරිම ආඩම්බරයක් දැනෙනවා. ඒක නිසා දරුවන් සමඟ වැඩ කිරීම මටනම් සතුටක් ආශ්වාදයක්.


 ඔබ වඩාත්ම කැමති රඟපෑමට ද එසේත් නැත්නම් ගුරු වෘත්තීයට ද?


මගේ ප්‍රධාන විෂය වෙන්නේ රංගනය. හැබැයි මම ඉගැන්වීම කියන එක සලකන්නෙත් මගේ රංගන ජීවිතයේ තවත් කොටසක් විදිහට. මම උගන්වන විෂයත් රංගනයම තමයි. මගේ රංග පර්යේෂණාගාරය වෙන්නේ ගුරු වෘත්තිය. ඒක ඇතුළේ ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. විශේෂයෙන්ම කුඩා සහ තරුණ දරුවන් එක්ක වැඩ කරන කොට රංගනය පිළිබඳ නැවුම් සංකල්ප ඔළුවට එනවා. ඒ දේවල් අත්හදා බලමින් රංගනයේ නව ඉසව් හොයා යන්න තමයි මම ගුරු වෘත්තිය තෝරාගත්තේ. එය තව තවත් සමාජගත කරන්න තමයි මම මගේ ඇකඩමි එක පටන් ගත්තේ. දැනට ගුරු වෘත්තිය තුළ වසර දොළහක අත්දැකීම් තියෙනවා. රංගනයත් ගුරු වෘත්තියත් දෙකම එකතුවන තැනක තමයි මම වැඩ කටයුතු කරන්නේ.


 චිත්‍රපටයක් නිෂ්පාදනය හෝ අධ්‍යක්ෂණය කරන්න අදහසක් නැද්ද ?


දැනටත් නිෂ්පාදන කටයුතු නම් සිද්ධ කරනවා. ඒත් අධ්‍යක්ෂණයට යොමුවෙන්නට තාම අදහසක් නෑ. චිත්‍රපටියක් අධ්‍යක්ෂණය කරනවා කියලා කියන්නේ භාරදූර කර්තව්‍යයක්. එය නිසි පිරිදි සිද්ධ කරන්නට හොඳ පුහුණුවක් අවශ්‍ය වෙනවා. එහෙම කරගන්න බැරි වුණොත් ගොඩක් දෙනෙක් ඒකෙන් අමාරුවේ වැටෙන නිසා අධ්‍යක්ෂණයට යොමු වීම ගැන ගොඩක් හිතන්න වෙනවා. චිත්‍රපට නිෂ්පාදකවරයෙකු වශයෙන් දෙයක් කරන්නට නම් මගේ යම් අදහසක් තියෙනවා. ඒකත් මෙරට ආර්ථික සහ දේශපාලන තත්ත්වය මත තමයි තීරණය කරන්න වෙන්නේ.


 අද කලා ක්ෂේත්‍රය ගැන ඔබට මොකද හිතෙන්නේ ?


කලා ක්ෂේත්‍රය පිළිබඳව නම් මට යහපත් අදහසක් තමයි තියෙන්නේ. මම විශ්වාස කරනවා වර්තමානයේ හොඳ පිබිදීමක් කලා ක්ෂේත්‍රය තුළ තියෙනව කියල. ඒ වගේම ගොඩක් දක්ෂ තරුණ තරුණියන් පිරිසක් සඳහා නව අවස්ථාවන් උදාවෙලා තියෙන එක ගැනත් මම සතුටු වෙනවා. නමුත් කලා ක්ෂේත්‍රයේ ඉදිරි ගමන පිළිබඳව අපි මීට වඩා හිතන්න ඕනි කියලා මම විශ්වාස කරනවා. එහෙම විශ්වාස කළත් අපි හිතන තරමට හොඳ කලා ක්ෂේත්‍රයක් නිර්මාණය කර ගැනීම ලෙහෙසි නෑ කියලත් මම දන්නවා. රූපයක් විදිහට ගත්තොත් අපේ රූපවාහිනී සහ චිත්‍රපට ක්ෂේත්‍රය හරියටම අධිවේගී මාර්ගයක දුවන ත්‍රීරෝද රථයක් වගේ කියලා ඕනි නම් මවාගන්න. අපි උත්සාහ කරන්න ඕනේ අධිවේගී මාර්ගයට ගැළපෙන වාහනයක් බවට අපේ කලා ක්ෂේත්‍රය පත් කරන්න.


 ඉදිරියේදී රඟපෑමෙන් දායක වන නිර්මාණ මොනවාද ?


ඉදිරියේදී නිර්මාණ කිහිපයක්ම එන්න තියෙනවා. ඒ අතරින් අමිල ප්‍රේමරත්න නිර්මාණය කරපු කාසිකාරයෝ නාට්‍යයේ මම කරන චරිතය වෙනස්ම චරිතයක් වේවි. ටෙලි නාට්‍යයක් විදියටත් කාසිකාරයෝ නාට්‍ය සිනමා රූපී අධ්‍යක්ෂණයක් ලෙස දකින්න පුළුවන්. ඒ වගේම තිරන්ජය කුරේ මහතා නිර්මාණය කරපු “කල්පාන්තර” චිත්‍රපටයත් ඒ අතර වෙනවා.


 රංගන ශිල්පියෙක් විදිහට පැමිණි මේ ගමනේදී ඔබට උදව් කළ අය සඳහන් කළොත් ?


මවුපියන්ගෙන් ලැබුණු සහයෝගය ගැන ගොඩක් සතුටුයි. ඒ වගේම මට මේ ගමන එන්න ප්‍රබල හේතුවක් වුණේ මගේ නැන්දා. ඇය තමයි මගේ අධ්‍යාපනය අතට අරගෙන සාර්ථකත්වය කරා රැගෙන ගියේ. එතුමිය ගුරුතුමියක්. ඉන් එහාට මගේ ආදරණීය ගුරුවරුන් සියලු දෙනාමත්, මගේ බිරියත්, මට රංගන ක්ෂේත්‍රයට මුලින්ම අවස්ථාව ලබා දුන්න සන්ධ්‍යා මෙන්ඩිස් මහත්මියත් නාලන් මෙන්ඩිස් මහත්මයත්, රූපවාහිනී නාළිකා සහ පුවත්පත්වලින් මට ලබාදුන් සහයෝගයත්, හිත මිතුරන් සියලු දෙනාවත් සිහිපත් කළ යුතු වෙනවා. ඔවුන් එම අවස්ථාවන් ලබා නොදෙන්නට අප පුබුදු ගමගේ කියල කෙනෙක් නැති වෙන්නත් තිබුණා. ඒ වගේම මෙරට රසික රසිකාවියන්ගේ හදවත් තුළ අදටත් මං වෙනුවෙන් තැනක් වෙන් කොට තිබීම ගැනත් සතුටුයි.



Previous Post Next Post