පසුගිය සතිය පුරාවටම කතාබහට ලක්වුණේ ඇවටර් බෑන්ඩ් එකට මැදිරිගිරියේදී සිදුවුණ ප්‍රහාරය ගැනයි. ඇත්තටම සංගීතයට ආදරය කරන කිසිම කෙනෙක් මෙවැනි දෙයක් අනුමත කරන්නේ නැහැ. මෙච්චර ප්‍රශ්න ගොඩක් සුළු රසික පිරිසකගෙන් ලැබිලත් සිද්ධිය වුණ දාට පහුවෙනිදා ගාල්ලේ පැවැති ප්‍රසංගයට පැමිණෙන රසික රසිකාවියන්ට සංගීතයේ උපරිම රසාස්වාදයක් ලබාදෙන්න ඇවටර් සංගීත කණ්ඩායම වගබලා ගන්නවා. මෙච්චර ප්‍රශ්න ගොන්නක් මැද්දේ වුණත් රසික විශ්වාසයට අබමල් රේණුවකවත් අවිශ්වාසයක් ඇති නොවන ආකාරයට ඔවුන් උපරිම රසාස්වාදයක් ලබාදෙනවා. තමන් ආදරය කරන සංගීත භාණ්ඩ තමන් ඉදිරියේදීම කුඩුපට්ටම් කරන කොට වගේම වාහන ළඟට ඇවිත් මරණ තර්ජන කළත් ඒ කිසි දෙයක් නොවුණ විලසින් ඔවුන් යළි ඔබ ඉදිරියට එනවා, එච්චර දෙයක් වෙලත් මොකුත්ම නොවුණ ආකාරයට ඔබ ඉදිරියට ඇවිත් ඔබව පිනවන ඇවටර් වෙනුවෙන් මේ වේලාවේ අපි ඉඩක් වෙන් කළ යුතුමයි. ඒ නිසාම අපි ඇවටර් නියමුවා සහ හිමිකරු චතුරංග විතානගේ සමග කතාබහක නියැළුණා. පහතින් දිස්වන්නේ ඒ කතාබහේ පෙළ ගැස්මයි.
මේ වෙනකොට ඇවටර් සංගීත කණ්ඩායමේ වැඩකටයුතු කොහොමද?
දැන් මේ වෙනකොට අපි යුරෝපය, ඉතාලිය, ප්‍රංශය ඇතුළු රටවල් කිහිපයක සංචාරයක් සඳහා එළැඹෙන 24 වැනිදා ලංකාවෙන් පිටත් වෙනවා. ඒවා අවසන් වෙලා ආපහු ලංකාවට එන්නේ අප්‍රේල් 10 වැනිදා. ඊට පසුව ලංකාවේ නැවත ප්‍රසංග කිහිපයක් පවත්වලා ආපහු ඔස්ටේ්‍රලියානු සංචාරයක් සඳහා සහභාගි වෙනවා. එතැනින් පසුවත් ඇමරිකානු ප්‍රසංගයක් සඳහා ද සහභාගි වෙනවා.
මැදිරිගිරිය සිද්ධියෙන් පසුව ඇවටර් සංගීත කණ්ඩායමේ වර්තමාන තත්ත්වය කොහොමද?
ඇත්තටම කතා කරන මගේ ඉඳල සංගීත කණ්ඩායමේ හැමෝගෙම මානසිකත්වය දුර්වල වෙලා තිබුණේ. ඒක සාමාන්‍යයි. නමුත් අපිට මේ සිද්ධිය වුණ දාට පසුව දා ප්‍රසංගයක් තිබුණ හින්දා අපිට සිද්ධ වුණා යහපත් මානසිකත්වයෙන් කොහොමද ඒ ප්‍රසංගයට සහභාගි වෙන්නේ කියලා හිතන්න. සාමාජිකයන්ගේ මානසිකත්වය හදලා Galle on Fair ප්‍රසංගය පැවැත්වූවා.
සිද්ධියෙන් පැය 24කට පසුවත් ගාල්ලේ රසිකයන්ගෙන් ලැබුණේ මොන වගේ ප්‍රතිචාරයක්ද?
ඒක තමයි බෑන්ඩ් එකයි රසිකයයි අතර තියෙන සම්බන්ධය. බඩු කුඩු කරපු අපිට, ගහපු රසිකයන්ට කියන්න තියෙන්නේ බෑන්ඩ් එකට මොරාල් එක එන්නේ ඔය රසිකයන්ගේ මුහුණු ටික දැක්කහම. අර සිද්ධිය ඔක්කොම අමතක කරලා අපිට පුළුවන් වුණා සාමාන්‍ය අතට හැරෙන්න.
සහෝදර ගායක ශිල්පීන්ගෙන් වගේම සංගීත කණ්ඩායම්වලින් ලැබුණ සහයෝගය මොනවගේද?
මේ සිද්ධිය වුණ දාට පසුව දා අපිට ලංකාවේ කතා නොකරපු සංගීත කණ්ඩායමක් නැහැ. කලාකාරයෙක් නැහැ. ගාල්ලේ ප්‍රසංගයට ශබ්දවාහිනී යන්ත්‍ර අපිට ලබාදෙන්න සමාගම් හයක් ඉදිරිපත් වුණා. සරිත් සුරිත්ලාගේ ජගත් ජයවර්ධනත් කතා කළා. නම් වශයෙන් කියන්න ගියොත් කියන්න බැරි තරම් අය අපිට කතා කරලා උදව් කරන්න හැදුවා.
මිලියන 40කට අධික අලාභයක්. මේ විනාශ වුණේ ඔබලාගේම සංගීත භාණ්ඩ ද?
අපේ භාණ්ඩ ප්‍රමාණයකුත් තිබෙනවා. නමුත් ලොකුම අලාභය වෙන්නේ අපේ සංගීත භාණ්ඩ සමාගමට. ඊට අමතරව එල්.ඊ.ඩී. වෝල් සපයන ආයතනයටත් අලාභයක් වෙලා තියෙනවා. බෑන්ඩ් එකක් විදිහට ඔවුන්ට යම්කිසි යුතුකමක් ඉටු කරන්න ඕනෑ නමුත් ඒක අපිට පැය 24න් විසඳන්න බැහැ. අපිත් මේකේ අගතියට පත්වුණ පාර්ශ්වයක් විදිහට විසඳුම් සොයන ගමන් තමයි ඉන්නේ.
ඔබ සහ ඇවටර් බෑන්ඩ් එකේ ආරක්‍ෂාව ඒ වෙලාවේ මොනවගේද?
ආරක්‍ෂාවක් තිබුණේම නැහැ. අපේ සාමාජිකයන් වගේම සහායකයන් සියලුම දෙනාට සිද්ධ වුණා අසල තිබෙන ගෙවල්වලට ගිහිල්ලා ජීවිතය රැකගන්න.
අහල පහල ගෙවල්වලට දුවලද බේරුණේ?
දුවලා නෙමෙයි ප්‍රසංගය බලන්න ආපු ඒ ගෙවල්වල අය තමයි උදව් කළේ. ඒක තමයි මම කිව්වේ ඔක්කොම නෙවෙයි අපට පහර දුන්නේ ප්‍රසංගය නරඹන්න ආපු අවට ගෙවල්වල අය අපිව එක්ක ගෙන ගිහිල්ලා ආරක්‍ෂාව සැපයූවා. සම්පූර්ණ ගමට දොස් කියන්න එපා කියන්නේ ඒකයි.
ඔබේ සියැසින් මේ දර්ශන දකිනකොට මොකද හිතුණේ?
බෑන්ඩ් එකේ නායකයා විදිහට වඩා සංගීතයට ආදරය කරන කෙනෙක් විදිහට පොදුවේ අපිට එන හැඟීම තමයි මටත් ඒ වෙලාවේ ආවේ. අපි මෙතැනට එන්නේ සංගීතයම නිසයි. මේ සිද්ධියත් එක්ක ඒක අපිට දරා ගන්න අමාරු වුණා.
ලංකාවේ ප්‍රේක්‍ෂකාගාරය මීට වඩා බුද්ධිමත් වෙන්න ඕනෑ කියලා හිතෙන්නේ නැතිද?
ඇත්තටම ඒක ලංකාවේ ප්‍රේක්‍ෂකයා කියලා ලඝු කරන්න හොඳ නැහැ. ඔය ඇවිල්ල ශ්‍රී ලාංකිකයන්. ඒ ගොඩේ කතා කරන ඔයත් මමත් ඉන්නවා. අපි ශ්‍රී ලාංකිකයා කියන කොටසේදී අපිට වෙන අසාධාරණවලදී වේවා නීතිය අතට ගැනීම හරිද කියන කාරණාවලදී හොඳටම බලාගන්න පුළුවන් තැනක් තමයි මියුසිකල් ෂෝ. කට්ටිය ගොඩක් එකතු වුණ ගමන් නීතිය අතට ගන්න දෙපාරක් හිතන්නේ නැහැ. ඇඟේ හැපුණත් තමන් යුක්තිය සාධාරණය හොයන්න යන තරමට සමාජය පිරිහිලා. මිනිස්සුන්ගේ ඔළු හදන්න රට තුළ ක්‍රියාවලියක් සිද්ධ වෙනවාද කියලා ප්‍රශ්නයක් තියෙනවා.
මේ සිද්ධියත් එක්ක එළිමහන් ප්‍රසංගවලින් ඈත් වෙන්න සූදානමක් තියෙනවාද?
නැහැ. දැනටමත් අපි ගෘහස්ථ ප්‍රසංගවලට සහභාගි වෙනවා. නමුත් ලංකාවේ කාලයක් ලඝු වෙලා තිබුණ ගෘහස්ථවල තමයි හොඳ ෂෝ තිබුණේ. එළිමහන් ප්‍රසංගවල තමයි චොකා බයිලා තිබුණේ. ඒ වගේ බෙදීමක් හදලා තිබුණා. ඒක මගේ වචනයක් නෙමෙයි. ඒක වෙනස් කරන්න තමයි මට මේ ක්‍ෂේත්‍රයේ ඕනෑ වුණේ. මම එතැනට තමයි එන්නේ. කොළඹ එළිමහන් ප්‍රසංගවල තිබුණ පරිසරය අපිට ඕනෑ වුණා ඈත එපිට ගම්වලට අරගෙන යන්න. ඒක පෙන්වන්න උත්සාහ කරන එක මම අත්හරින්නේ නැහැ. අපි අලුතෙන් සංගීත කණ්ඩායම තීරණය කරලා තිබෙනවා තෝරාගත් ප්‍රසංග හෝ මාසෙකට ප්‍රසංග හතරකට හෝ හයකට සීමා කරන්න. ලබන වසරේ ගොඩක් දුරට මාසෙට ප්‍රසංග හතරකට විතරක් සහභාගි වේවි.
ඇවටර් ලොකුම ආලෝකය ඇමේලියා. ඇය මේ වේලාවේ මොනවගේ තත්ත්වයකද ඉන්නේ?
අපිට තිබුණ ලොකුම තර්ජනය ඒක. ඇයට ඇයගේ මව, පියා ඉදිරියේ පරුෂ වචනයෙන් බනිනවා. ඇත්තටම ඇය ජාත්‍යන්තර පාසලක හොඳට ඉගෙන ගත්ත දරුවෙක්. වාහනය ළඟට හොයාගෙන ඇවිත් තමයි තර්ජනය කළේ. ඒ වාහනය ඇතුළේ ඇමේලියාගේ නංගි, මල්ලි, අම්මා, තාත්තා ඉන්නවා. අසභ්‍ය වචනයෙන් බනිනවා. අනේ අම්මේ, අනේ තාත්තේ කියන තත්ත්වයට අසරණ වෙනවා.
ඒ වෙලාවේ ඔබේ මානසිකත්වය මොනවගේද?
මම නායකත්වය සහ කළමනාකාරීත්වය විදිහට මම බැලුවේ කොහොමද මගේ පිරිස ශක්තිමත් කරන්නේ කියලා. මම දුර්වල වුණොත් ඔවුන් දුර්වල වෙනවා. මේ සිද්ධියට ගොඩාක් කලබල නැති විදිහට තමයි මේකට උත්තර හෙව්වේ. මේ සිද්ධිය වෙලා පැය 24ක් යනකොට අපි බොහොම හොඳ පොසිටිව් උත්තරයක් දුන්නා.
මේ සියල්ලටම නීතියෙන් සාධාරණයක් ඉෂ්ට විය යුතුයි නේද?
ඇත්තටම ප්‍රසංගවලට ආරක්‍ෂාව සපයන්නේ ශ්‍රී ලංකා පොලිසිය. මම මේ කතාබහ කරන්නේ ඇවටර් බෑන්ඩ් එකේ කළමනාකරු විදිහට නෙමෙයි සමස්ත ලංකාවාසී මියුසික්වලට ආදරය කරන බෑන්ඩ්වල නායකයෝ සහ ක්‍ෂේත්‍රයේ සියලුම දෙනා වෙනුවෙන්. ප්‍රසංග නවත්වන්න කියලා ගොඩක් තැන්වලදී සංවිධායකවරුන්ට පවසන්නේ පොලිසිය. ඒ පණිවුඩය ඔවුන් දීලා යනවා යන්න. එතකොට පිට්ටනියේ ඉන්න පිරිස කොහොම හැසිරෙයිද කියලා හිතන්නේ නැහැ. මම කියන්නේ ලංකාවේ නීතිය රකින අයගෙන් ඒ නීතිය ක්‍රියාත්මක කරන්න කියලයි. ඔක්කොම ඉන්නේ නීතිය රකින අය. නීතිය පොලිසිය ක්‍රියාත්මක කළ යුතුයි.
මේ සිද්ධියේදී ඔබලා නීතියෙන් මොන වගේ පිහිටක්ද පතන්නේ?
මම කියන්නේ මේ සිද්ධියේදී සංගීත කණ්ඩායම මොකුත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් මේ සංගීත භාණ්ඩවලට, ශබ්ද පරිපාලන යන්ත්‍රවලට සිදුවෙලා තිබෙන අලාභය අනිවාර්යයෙන්ම වන්දි ගෙවිය යුතුයි.
ඒ වගේම මම මේ වේලාවේ විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා මේ සිද්ධිය වෙලා ඊට පසුගියදා පැවැති ප්‍රසංගයට ශබ්ද පරිපාලන යන්ත්‍ර පහක් දායකත්වය සැපයූවා. අපේ තොරතුරු සොයා බලා අපි වෙනුවෙන් සහයෝගය දැක්වූ සියලුම ආදරණීයයන්ට ඇවටර් බෑන්ඩ් එක මේ වෙලාවේ ස්තූතිවන්ත වෙනවා.
දිනේෂ් විතාන