හිරිපොද වැස්සේ රඟපාන්න කිව්වම එයා බැහැම කිව්වා -නිමන්ති




අපිව බලාගන්න කවුරුත් නෑනේ…..“කියමින් ඇය පසුපස ආ පිරිමි ළමුන් ගණන කිව නොහැකි තරම්ය. වෙළෙඳ දැන්වීමකට එතරම් දෙයක් කළ හැකිවීම ද පුදුමයකි. දශක දෙකක් පමණ ගෙවී ගියද නින්ජා මදුරු කොයිල් දැන්වීම අදටත් ඔබ මතකයේ රැඳී තිබෙනු නොඅනුමානය. නිමන්ති පෝරගේ නම් රංගන ශිල්පිනිය වටා ප්‍රේක්ෂකයින් රොක්වුණු ඇයගේ රංගන දිවියේ හැරවුම් ලක්ෂ්‍යය එය යැයි කීවද වරදක් නැත. ඇය සබඳ පබිලිස් ටෙලි නිර්මාණය ඔස්සේ පුංචි තිරයට පිවිසෙන විට කැමරා නෙතට සැඟව තව නෙතක් ඇය කෙරෙහි යොමුව තිබූ බවද නොරහසකි. ඒ අන් කිසිවකු නොව එම ටෙලි නිර්මාණයේ කැමරා ශිල්පී ප්‍රභාත් රෝෂන්ය. තරහව, නොරිස්සුම ඔස්සේ ගලා ගිය ඔවුන්ගේ ප්‍රේමය අද සතුටින් පිරුණු සුන්දර කැදැල්ලක් තනා ඇත. පළමුව අප හා කතාබහට එක්වූයේ නිමන්තිය.


කාලයක් හැම නාළිකාවකම දැක්ක නිමන්ති මේ දවස්වල වැඩිය පේන්න නැත්තේ රංගනයට සීමා මායිම් දාගෙනද?


විවාහයත් එක්ක මං සෑහෙන කාලයක් රංගනයෙන් ඈත්වෙලා හිටියා. දැනට වුණත් අපේ ප්‍රඩක්ෂන්වලට මං සම්බන්ධ වෙන්නෙත් ගැළපෙන චරිතයක් ලැබුණොත් විතරයි. මේ දවස්වල විකාශය වෙන හිරිපොද වැස්ස සහ විසේකාරී ටෙලි නිර්මාණවලට රංගනයෙන් දායක වෙනවා. කොහොමත් විවාහ වෙන්න ආසන්න වෙද්දි රංගනයෙන් අයින් වුණා. ඒ අයින් වුණ ගමන් තාමත් පිට නිර්මාණවලට සම්බන්ධ වුණේම නැහැ.


ඔබ දැන් නිෂ්පාදිකාවක් විදිහටත් කටයුතු කරනවා. කොහොමද ඒ පැත්තට යොමුවුණේ?


අපි විවාහ වුණු අලුතම වගේ ටෙලි නාට්‍ය නිෂ්පාදනය පටන් ගත්තා. මේ වෙද්දි ටෙලි නාට්‍ය පහළොවක් වගේ නිෂ්පාදනය කරලා තියෙනවා. හඳයා, අහස් මාළිගා, මෙත්‍රො හීන වගේ නිර්මාණ ඒ කාලෙම ගොඩක් ජනප්‍රිය වුණා. මෙත්‍රො හීන තිස්සමහාරාමය පැත්තේ ෂූට් කළ අමුතුම තාලේ කතාවක්. ඒත් එක්කම කොවිඩ් ආව නිසා අවුරුදු දෙකක් විතර වැඩ තිබුණෙත් නැහැ. ඊට පස්සේ තමයි මේ දවස්වල විකාශය වන ටෙලි නිර්මාණ දෙකම කළේ.


ඔබ කලාවට පිවිසෙන්නේ පාසල් වියේදිම නේද?


ඔව්. මං මුලින්ම සම්බන්ධ වෙන්නේ විජය ධර්ම ශ්‍රී මහත්මයාගේ කස්තිරම ටෙලි නිර්මාණයට. ඒ කාලේ රඟපාන්න එනවා කියන එක ලේසි නෑ. තිර පරීක්ෂණ තියලා, දෙබස් කියවලා, මේකප් ටෙස්ට් තියලා තමයි මාවත් තෝරගත්තේ. මට මතකයි පළමුවැනි ටෙලි නාට්‍යය කළේ මීමුරේ. මං හිටියේ චාන්දනී සෙනෙවිරත්න එච්. ඒ. පෙරේරා දෙන්නගේ දුවට. ඒක තමයි මගේ පටන් ගැන්ම. තවත් ටෙලි නාට්‍ය දෙකක් විතර කරලා උසස් පෙළ නිසා ටෙලි නාට්‍යවලට සම්බන්ධ වුණේ නැහැ. නැවත පටන් ගන්නේ බන්දුල විතානගේ සර්ගේ සිකුරු සැණකෙළි ටෙලි නිර්මාණයෙන්. ඒ අතරේ මං බන්දුල විතානගේ සර්ගේ ඩ්‍රාමා පාඨමාලාව හැදෑරුවා. සිකුරු සැණකෙළියෙන් පස්සේ තමයි ඉංගම්මාරුව, නින්ජා වෙළෙඳ දැන්වීමට අවස්ථාව ලැබෙන්නේ.


නින්ජා මදුරු කොයිල් වෙළෙඳ දැන්වීම ඔබේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය කියලා කිව්වොත්?


ඒක මිනිස්සුන්ට තාමත් මතකයි. ඉස්සර මට ගේ ළඟින් ගියත් කෑගහනවා. පාරෙ යන්න බෑ. බස් එකකවත් යන්න නෑ. කොයිල් නංගි, කොයිල් නංගි කියලා කෑගහනවා. තාමත් එහෙම කියන අය ඉන්නවා. ඉස්සර කොයිල් නංගී. දැන් කොයිල් අක්කා වෙලා. ඒක කළේ ජයන්ත චන්ද්‍රසිරි. චත්‍ර වීරමන් නැවත එය අලුතෙන් කළා. ඒක නින්ජා ස්ක්‍රයික් එක. ඒකත් ගොඩක් ජනප්‍රිය වුණා. ඒකෙ අන්තිම තත්පර කිහිපයේ තමයි මායි සනතුයි එන්නේ. මං දැක්කා ගොඩක් කමෙන්ට්ස් දාල තියෙනවා අන්තිම තත්පර තුන තමයි ආතල් කියලා. ඇත්තටම ඒක මගේ රංගන ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය තමයි. ඒකෙන් පස්සේ තමයි මට එක දිගටම ටෙලි ඩ්‍රාමාවලට අවස්ථාව ලැබුණේ. ඒ වගේම අපේ තාත්තට ලොකු බඩක් තිබුණා කියන බොන්ලැක් වෙළෙඳ දැන්වීමත් අතිශයින්ම ජනප්‍රිය වුණා.


ප්‍රභාත්ගේ හමුවීම පසුපසත් රසවත් කතාවක් තියෙනවා නේද?


අපි දෙන්න මුලින්ම හමුවෙන්නේ ජෝ අබේවික්‍රම මහත්මයාගේ සබඳ පබිලිස් ටෙලි නාට්‍යයේදී. ඒක මට හදිසියේම අහම්බෙන් ලැබුණු අවස්ථාවක්. දවස් දෙකකට කලින් මට කතා කළේ. ජෝ අංකල්ගේ වැඩක් නිසා මං ආසාවෙන් සම්බන්ධ වුණා. ෂූටින් යද්දි මාව තමයි මුලින්ම ගත්තේ. ඊළඟට කැමරා ශිල්පියා විදිහට ප්‍රභාත්ව ගන්න එයාගෙ බෝඩිමට ගියා. පැය භාගෙකට විතර පස්සේ බෙල්ට් එකත් කරේ දාගෙන, සපත්තු දෙක අතේ අරගෙන, ඇඟිලි තුඩුවලින් මෙන්න කැමරාමන් එනවා. එවෙලේ මට යකා ආවේශ වුණා. ඇවිත් මං ළඟින්ම වාඩිත් වුණා. එතැනින් පටන් ගත්ත තරහ සතියක් විතර තිබුණා. මාත් සෙට් එකේ ගේමටම හිටියා. මං ඉන්නේ ජූඩ් අයියගේ ගමේ පෙම්වතියට. ඒ දවස්වල මගේ කොණ්ඩෙත් පාට කරලා තිබුණේ. වෙන නිළියො හිටියෙම නැද්ද කොණ්ඩෙ පාට කරපු නිළියො ගන්නෙ කිය කියා ප්‍රභාතුත් මගෙන් ගේමම ඉල්ලනවා. පස්සෙ පස්සේ මේ රණ්ඩුව අනෙක් අයටත් විනෝදයක් වුණා. අපේ ටීම් එකෙන් පුදුමාකාර සහයෝගයක් ලැබුණා. ටික දවසක් යද්දී දෙන්නට දෙන්නා කැමැතියි කියලා තේරුණා. අන්තිමේ එයා මගෙන් ඇහුවා. ඒ වෙද්දි මට ගෙදරින් ප්‍රපෝසල් එකක් ගෙනැල්ලත් තිබුණා. ඒ නිසා මං කිව්වා අම්මලත් එක්ක ඇවිත් අපේ ගෙදරින් අහන්න කියලා. ෂූටින් ඉවරවුණා විතරයි මෙන්න මෙයා වෑන් එකක් පිරෙන්න නෑදෑයෝ පටවගෙන අපේ ගෙදර ආවා. ඉක්මනින්ම අපි විවාහ වුණා.


විවාහයත් එක්ක ඔබ රංගනයෙන් ඈත් වුණේ ජනප්‍රියත්වයේ හිනිපෙත්තේම ඉන්න කාලේ. පසුතැවීමක් නැද්ද?


ප්‍රභාත් එක්ක සම්බන්ධය පටන් ගනිද්දි මං අතිශයින්ම කාර්යබහුලයි. හැම නාළිකාවෙම වගේ මගේ නාට්‍යක් ගියා. එයත් ඒක දැනන් හිටියා. මං නිතරම දැක්කේ අපේ අම්මයි තාත්තයි හරිම සමගියෙන් සතුටින් ගෙවන ජීවිතය. මට මගේ අම්මා තාත්තා ගැන ආඩම්බරෙන් කතා කරන්න පුළුවන් වුණා. මටත් ඕන වුණේ කවදහරි අම්මා වගේ වෙන්න. මටත් අම්මගෙ ලයිෆ් එක ආවේශ වුණා වගේ වුණා. ළමයි ලැබුණට පස්සේ එයාලගේ වැඩයි, ගෙදර වැඩයි එක්ක මගේ කැමැත්තෙන්ම රංගනයෙන් අයින් වුණා. හොඳ බිරියක්, හොඳ අම්මා කෙනෙක් විදිහට අද මං මගේ ජීවිතේ හරිම සතුටින් ගෙවනවා.


නිෂ්පාදිකාවක් විදිහට ගත්තොත් නිර්මාණයක් සාර්ථක කරගන්නවා කියන්නේ අභියෝගයක් නේද?


අපේ ‘සිනේ ආර්ට්ස්‘ ප්‍රඩක්ෂන් එකෙන් මේ වෙද්දි ටෙලි නාට්‍ය ගොඩක් කරලා තියෙනවා. ගොඩක්දුරට කාස්ට් එක ගැන බලන්නේ මං. ස්ක්‍රිප්ට් එකක් ලියද්දි රයිටර්ට අපේ අදහසත් කියනවා. ඔවුන් සුහදශීලීව ගනුදෙනු කරන නිසා ගැටලුවක් වෙලා නැහැ. වෙලාවට වැඩ කරන්නෙ නැති, ෆෝන් එකටවත් ආන්සර් කරන්නෙ නැති කිසිම වගකීමක් නැතුව වැඩකරන එක්කෙනෙක් දෙන්නෙකුත් ඉන්නවා. අපිත් අමාරුවේ වැටුණ තැන් තිබුණා. ඇත්තම කතාව කිව්වොත් නිර්මාණයක් සාර්ථක කරගන්න ප්‍රඩක්ෂන් එකක් කන කට්ට එළියෙ ඉන්න අයට පේන්නෙ නැහැ. ඔවුන් තිරය මත දකින සුන්දරත්වය සැබෑවම නෙවෙයි.


මේ දවස්වල හිරිපොද වැස්සට ලැබෙන ප්‍රතිචාර ගැන කතා කළොත්?


හොඳ නරක දෙපැත්තම ලැබෙනවා. අක්කා මල්ලි ලව් එකට සහ ටීචර්ගෙයි ළමයාගෙයි සම්බන්ධයට බණිනවා. ඒ වගේ දේවල් ඉස්සරත් තිබිලා තියෙනවා. ඒක අලුත් දෙයක් නෙවෙයි. අපි නරක ආදර්ශ දෙන්නෙ නැහැ. එහෙම වුණානම් තමයි වැරැදි. ඒ නිසා ලැබෙන ගල්, මල් දෙකම අපි භාරගන්නවා.


නිමන්තිගේ කතාව අවසන් වනවාත් සමඟින් ප්‍රභාත් අපේ කතාබහට එක්කර ගත්තේ පරණ කැමරා ශිල්පියාගේ මතකය ද අලුත් කරමිනි.


නිමන්ති ප්‍රභාත්ට මුණ ගැහෙන්නේ කැමරා ශිල්පියෙක් වෙලා ඉද්දි. ඇත්තටම දැන් කැමරාවෙන් ඈත් වෙලාද?


එහෙම ඈත් වෙලා නැහැ. මේ දවස්වල කැමරාවෙන් දායක වෙන්නේ චිත්‍රපටවලට. පහුගිය දවස්වල රිවර්ස්ටන් කියලා චිත්‍රපටයක් කළා. තාම රිලීස් වුණේ නැහැ. ඒක අපේ ප්‍රඩක්ෂන් එකක් වගේම කැමරාකරණය මගේ.


මේ දිනවල අතිශයින්ම ජනප්‍රිය හිරිපොද වැස්ස ටෙලි නිර්මාණයේ අධ්‍යක්ෂවරයා විදිහට කටයුතු කරන්නෙත් ඔබ?


ඔව්. මේ ටිකේ අධ්‍යක්ෂණ කටයුතුත් කරනවා. මං කැමරා අධ්‍යක්ෂවරයෙක් විදිහට අත්දැකීම් ලබලා තියෙන නිසා අධ්‍යක්ෂණයට ඒක පහසුවක් වුණා.


ඔබේ ආයතනයෙන් මේ වෙද්දි ටෙලි නාට්‍ය කීයක් විතර නිෂ්පාදනය කරලා තියේද ඇහුවොත්?


මුලින්ම කළේ ‘ආයෙමත් ආදරෙන්’ සහ ‘මිල්ලෑව වලව්ව’කියන ප්‍රඩක්ෂන් දෙක. අහස් මාළිගා කොටස් නවසිය ගණනක් ගියා. ඒක ගොඩක්ම ජනප්‍රිය වුණා. හිරු ටීවී නාළිකාවට අවුරුදු 6ක් එක දිගටම හවස 7.30 සහ 8.30 බෙල්ට් එකට ටෙලි ඩ්‍රාමා කළා. අනෙක් නාළිකාවලත් ගියා. ඔක්කොම ටෙලි නාට්‍ය 15ක් විතර කරලා තියෙනවා. මේ දිනවල ස්වාධීන නාළිකාවේ විසේකාරී විකාශය වෙනවා. ඒ වගේම හරිත වැස්ස මිලියනයක් බලලා තිබුණා.


නිමන්ති වගේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් බිරිය විදිහට තෝරා ගත්තේ?


අපි ටෙලි ඩ්‍රාමා එකේ එකට වැඩ කරද්දි එයා හොඳ කෙනෙක් කියලා මට තේරුණා. හිත ගිය තැන මාලිගාව කියල කතාවකුත් තියෙනවානේ. ඒ නිසා රංගන ශිල්පිනියක් වුණාට කමක් නෑ කියලා හිතුණා. නිමන්තිත් අපේ අම්මා වගේ තමයි. හැමදේම කරනවා. නිමන්තිට ඕනෙම කෑමක් හොඳට හදන්න පුළුවන්. මට ඕන දේවල් එයා දන්නවා. මං ආසයි කියලා හිතෙන ඕනෙම දෙයක් හදලා දෙනවා. ඒ අතින් නම් මං මාරම වාසනාවන්තයි. අම්මා ළඟ ඉන්නවා වගේ තමයි කිසිම ප්‍රශ්නයක් නැහැ.


විවාහයත් එක්ක රංගනයෙන් ඉවත් වුණු නිමන්ති ඔබේ ප්‍රඩක්ෂන්වලින් නැවත දකින්න ලැබෙනවා නේද?


අපේ හැම එකේම එයා රඟපාන්නේ නැහැ. හිරිපොද වැස්සේ රඟපාන්න කිව්වම මුලදි එයා බැහැම කිව්වා. ඊට පස්සේ තිර රචක තිමිර තමයි ඔයාව මේකට ඕනෙමයි අක්කේ කියලා අමාරුවෙන් කැමැති කරව ගත්තේ. විසේකාරී එයා කැමැත්තෙන්ම භාර ගත්තා. ප්‍රඩක්ෂන් පැත්තෙනුත් ලොකු සහායක් දෙනවා. ස්ක්‍රිප්ට් කියවන්නෙත් එයා. වන් ලයින් හදද්දි ලොකු සහායක් දෙනවා. ගොඩක් වෙලාවට රචකයා සහ අපි දෙන්නා එකතුවෙලා තමයි මේ දේවල් කරන්නේ. ඒ නිසාම වෙන්න ඇති අපේ නිර්මාණ සාර්ථක වෙන්නෙත්.


ප්‍රභාත් ගෙදර වැඩවලට දක්වන සහාය ගැන කතා කළොත්?


මම උදේ පහ පහමාර වෙද්දි ලෝකේෂන් එකට යනවා. ආයෙ එන්නේ රෑ වෙලා. ගෙදර වැඩවලට යොදවන්න කාලයක් නැති තරම්. බබාලගෙ වැඩ, ගෙදර වැඩ ඔක්කොම කෙරෙන්නේ නිමන්තිගෙ අතින්. ඒවත් කරන ගමන් ප්‍රඩක්ෂන් වැඩවලටත් එයා ලෙකු සහායක් දෙනවා.




Previous Post Next Post