පිටපත කියෙව්වට පස්සේ මාවත් ෂොක් වුණා-සුලෝචනා වීරසිංහ

 



ඉලංගෝ රාම් අධ්‍යක්ෂණය කරන ලද හිරණ්‍යා පෙරේරා නිෂ්පාදනය කළ නෙළුම් කුළුණ චිත්‍රපටය මේ දිනවල අතිසාර්ථක ලෙස තිරගත වේ. මේ සඳහා රංගනයෙන් දායක වන නළු නිළියන් ගැනද අතිශය කතාබහට ලක්වේ. නෙළුම් කුළුණ සඳහා රංගනයෙන් දායක වුණු සුලෝචනා වීරසිංහ වෙනුවෙන් මෙවරමේ ඉඩකඩ වෙන්කළා.


නෙළුම් කුළුණ චිත්‍රපටයට ලැබෙන්නේ මොන වගේ ප්‍රතිචාරයද?


නෙළුම් කුළුණ චිත්‍රපටය තිරගතවීම ආරම්භ වුණේ පසුගිය දාහතර වැනිදා. මාධ්‍ය දර්ශනයේදී සහ මංගල දර්ශනයේදී ද ඉතා ඉහළ ප්‍රතිචාර ලැබුණා. චිත්‍රපටයක් තිරගත වී දවස් තුනක් ඇතුළත ඉහළම ප්‍රතිචාර ලැබෙනවා. ප්‍රේක්ෂකයන් ඉතාමත් උද්යෝගයෙන් කතා කරනවා.


පිටපත කියෙව්වට පස්සේ මාවත් ෂොක් වුණා

මේ සඳහා ආරාධනාව ලැබුණේ කොහොමද?


මෙවැනි චිත්‍රපටයක් කරන්න යනවා කියලා ඉලංගෝ තමයි මට කතා කරන්නේ. ඒ අනුව තමයි මට චිත්‍රපටයට ආරාධනාව ලැබෙන්නේ.


පිටපත අතට ලැබුණම මොනවද හිතුණේ?


පිටපත කියෙව්වට පස්සේ මට හිතාගන්න බැරිවුණා මේක කොයි වගේ නිර්මාණයක් වෙයිද කියලා. මොකද මාවත් ෂොක්වුණා. නමුත් පිටපතේ හරි අලුත් බවක්, පෙර නොවූ අත්දැකීමක් තියෙන නිසා මේක වෙන ලෙවල් එකේ වැඩක් වෙයි කියලා හිතුණා. මොකද කිසිම කෙනෙක් මට මෙවැනි පිටපතක් ඉදිරිපත් කරලා නෑ. එවැනි චිත්‍රපටයක් මම ලංකාවේදී හෝ වෙනත් රටක නිර්මාණයක් විදියට දැකල තිබුණේ නෑ. අහල තිබුණෙත් නෑ.


පිටපත කියෙව්වට පස්සේ මාවත් ෂොක් වුණා

ලංකාවේ ප්‍රේක්ෂකාගාරය නෙළුම් කුළුණ මොන විදියට භාරගනීවි කියලා ද හිතුවේ ?


පිටපත කියවද්දිට වඩා චිත්‍රපටය රූගත කිරීමේදී මට දැනුණා මේක නම් ලංකාවේ හොඳටම වැඩ කරන වැඩක් වෙයි කියලා. චිත්‍රපටවලට ආස අය කොහොමත් චිත්‍රපට නරඹනවා. නමුත් චිත්‍රපට බලන්න වැඩි පෙළඹවීමක් නැති අය පවා මේ චිත්‍රපටයත් එක්ක සිනමාවට බැඳෙයි කියලා මට හිතුණා.


රූගත කිරීම් අත්දැකීම් මොන වගේද?


හරිම සුන්දරයි. මොකද චිත්‍රපටයේ කාස්ට් එක මම සිනමාව, වේදිකාව, ටෙලිනාට්‍යවලදී වගේම පුද්ගලික ජීවිතෙත් ළඟින් ඇසුරු කරන පිරිසක්. ඒ රසායනය චිත්‍රපටයට ඉතාමත් ධනාත්මකව බලපෑවා කියලා මට හිතෙනවා. රූගත කිරීම් කළ කාලය හරිම විනෝදයි.


කොහොමද වේදිකා නාට්‍ය වැඩකටයුතු?


මේ දිනවල චාලක රණසූරියගේ සඳුදා වැටෙන්නේ සිකුරාදාට වේදිකා නාට්‍යයත් එක්ක රට වටා යනවා. චාමික හත්ලහවත්තගේ රජා මං වහලා වේදිකා නාට්‍යයත්, කාංචුකා ධර්මසිරිගේ තට්ට ගායිකාවත් එක්ක වේදිකාවේ ඉන්නවා. තව නාට්‍යයක පුහුණුවීම් සිදුකරනවා.


දැන් වැඩිපුර ටෙලිනාට්‍ය භාරගන්නේ නැතිද?


එහෙම දෙයක් කොහෙත්ම නැහැ. ටෙලි නිර්මාණ මට ලැබෙනවා අඩුයි. සමහර කතා කරන නිර්මාණවල ගෙවීම් ප්‍රමාණවත් නොවූ නිසා ප්‍රතික්ෂේප කරන්න වුණු අවස්ථාත් තියෙනවා. ඉතා මෑතකදී තරුණ අධ්‍යක්ෂවරයෙක් ඔහුගේ කුලුඳුල් ටෙලි නිර්මාණයට මට කතාකරලා පිටපත දීලා, දින වෙන් කරගෙන, ගණන් කතා කරගෙන, සියලුම දේවල් සිද්ධ වුණාට පස්සේ නිෂ්පාදකගේ කැමැත්තට රීකාස්ට් කරනවා කියලා මාව නාට්‍යයෙන් ගැලවිලා තිබුණා. එහෙම අත්දැකීම් මට මුල් කාලයේ ඉඳලාම තියෙනවා. බොහෝ අධ්‍යක්ෂවරුන්ට අපගේ රංගන වපසරිය පමණක් චරිතයට ප්‍රමාණවත් වූවාට සමහර අධ්‍යක්ෂවරුන්ට සහ නිෂ්පාදකවරුන්ට අපේ සැබෑ චරිත ස්වභාවය, ජීවන විලාසය සහ පෞරුෂය ඔවුන්ට පහසුවන මට්ටමේ නැති නිසා මට නිර්මාණ අඩුයි කියලා තමයි මගේ නිගමනය.


මෑත කාලේ බිහිවුණු චිත්‍රපට ගැන මොන වගේ අදහසක් ද තියෙන්නේ?


විවිධ තේමාවන් රැගත් චිත්‍රපට පසුගිය කාලයේ තිරගත වුණා. මම හිතනවා සතුටු විය හැකි ප්‍රේක්ෂකාගාරයක් ඒ චිත්‍රපටවලත් හිටියා. කොහොමත් හැම චිත්‍රපටයකටම හැමෝම කැමැති වෙන්නෑ. තෝරා ගැනීමක් අනිවාර්යයෙන්ම තියෙනවා.


රංගන ශිල්පිනියක් විදිහට ඔබ මෙතෙක් ආපු ගමන ගැන ආපසු හැරී බැලුවොත්?


වේදිකාව, සිනමාව, ටෙලිනාට්‍ය කියන ත්‍රිත්වයේම මම විවිධ චරිත කළා. සිනමා නිර්මාණ සහ වේදිකා නාට්‍ය නිර්මාණ අන්තර්ජාතිකවත් ප්‍රදර්ශනය වුණා, සම්මාන ලැබුණා. මට ඒ ගැන සතුටුයි. 2005 වේදිකාවට ගොඩ වූ මගේ රංගන ජීවිතයට අවුරුදු විස්සක්. ඒත් මට ලැබී තියෙන නිර්මාණ ප්‍රමාණවත් නොවන බවයි මගේ හැඟීම. ඒ ගැන කනස්සල්ලක් තියෙනවා.


ඔබට ලැබෙන චරිත ගැන තෘප්තිමත්ද?


තෘප්තිමත්. ඒ හැමවිටම නෙමෙයි. නමුත් ලැබුණු චරිතය උපරිමයෙන් කිරීම තමයි මගේ අරමුණ.


ඔබට ලැබෙන ආරාධනා තෝරාබේරා ගැනීමක් ඇතිව ද භාරගන්නේ?


අනිවාර්යයෙන්ම. පිටපතට මම කැමැතිනම් ඒ චරිතයට මම කැමැතිනම් ඒ නිර්මාණය මම භාරගන්නවා. එක වගේ චරිත නොකිරීමට වග බලා ගන්නවා.


දිනේෂ් විතාන



Previous Post Next Post