එකෙක් එක් දෙයකට වෙයි සමථ කියා කීවත් ඇතමුන් ඒ තර්කය ඉතා අපූරුවට කුඩු පට්ටම් කිරීමට තරම් ශූරයෝ ය. අද රසඳුනෙහි කතා නායකයාද එවැන්නෙකි. බුද්ධික රඹුක්වැල්ල යැයි නම ඇකියූ සැණින් රංගන ශිල්පියෙකු ලෙස සිහි වුවත් ඔහු ගිනස් වාර්තා තැබූ ධාවන ශූරයෙකි. එසේම ගායකයෙක් ලෙස වගේම චතුර නිවේදකයෙක් ලෙසත් අපට ඔහු අමතක කිරීමට හැකියාවක් නැත. අද කතාබහ ඔහුු සමඟයි.
“වාසි” එක්කම අපි කතාව පටන් ගමු. කොහොමද මේ දවස්වල තොරතුරු?
මේ දිනවල මගේ ගීතයට ලැබෙන අපූරු ප්‍රතිචාරත් සමඟ මාගේ කාලය ගත වෙනවා. වාසි ගීතය එතෙක් මෙතෙක් සිදු නොකළ දකුණු ඉන්දියානු ආරයට රූප රචනාව කළ අපූරු ගීතයක්. ඒ ගීතය ලියන්නේ අන්සෆ් අමීර්. එහි සංගීතය අශිර ප්‍රනාන්දු හා රූප රචනාව හසිත විතානගෙ යන අය විසින් සිදු කරනවා. මෙම ගීතය ලියවෙන්නේ යාළුවෝ සම්බන්ධව ගොඩක් වෙලාවට අප වටා ඉන්න යාළුවෝ සතුටේදී බඩ බැඳගෙන හිටියත් දුකේදී වාෂ්ප වෙලා යනවා. ඒ පරම සත්‍යය ප්‍රේක්ෂකයට දැනෙන විදිහට සම්ප්‍රේෂණය කරන්නයි මට අවශ්‍ය වුණේ. ඇත්තටම මගේ එම ව්‍යායාමය සාර්ථකයි කියලා ලැබෙන ප්‍රතිචාරවලින් පැහැදිලියි.
ගීතයේ වස්තු විෂය ඔබේම අත්දැකීමක් ද?
ඔව්… යාළුවෝ සම්බන්ධයෙන් එහෙම එක අත්දැකීමක් හෝ ඕනම කෙනෙක්ට තියෙන්න පුළුවන්. යහළුවන්ට බොහෝවිට අපේ දුකක් කිව්වම එයාලා දුක් වෙන බව පෙන්නුවත් එයාලගේ හිත ඇතුළේ පුංචි සියුම් සතුටක් විඳිනවා කියලා මම අත්දැකලා තියෙනවා. ඔවුන් ඇතැම්විට බලන් ඉන්නෙම අපිව අමාරුවේ වැටිලා ඉන්නවා බලලා සතුටු වෙන්නයි. මම ගොඩක් යාළුවෝ ආශ්‍රය කරන කෙනෙක්. ඒ නිසා ඒ අත්දැකීම් විවිධාකාරයෙන් මම අත්දැකලා තියෙනවා. ඒ වගේම හදවතට දැනෙන යාළුවොත් නැතුවාම නෙමෙයි. ඒ වගේම මැරුණු දවසකට මිනිය උස්සගෙන යන්නවත් අතේ ඇඟිලි ගාණටවත් යාළුවො ඉන්න ඕන කියල මම හිතනවා.
බුද්ධික කියන්නේ කාලෙකදී කලාවෙන් අතුරුදන් වෙන, ක්ෂණිකව බල්බ් එකක් වගේ පත්තුවෙන කලාකාරයෙක් කියලා කිව්වොත් හරි නේද?
නැහැ මම අතුරුදහන් වෙන්නේ නැහැ. නුදුරු දිනකදී මම ආකර්ෂණීයම රූපවාහිනිය නිවේදකයා ලෙස මිරකල් සම්මාන උලෙළෙත් සම්මානනීය වුණා. ඒ වගේම දෙරණ නාලිකාවේ සති අන්ත නාට්‍යයකත් මම රඟපෑම් කටයුතු කරනවා. ප්‍රේක්ෂකයන්ට මාව අතුරුදන් වුණා යැයි හැඟීමක් දැනෙන්නේ මම එක් නිර්මාණයක් බාරගත් විට අනෙක් නිර්මාණ බාර නොගන්නා නිසයි. ඒ නිසා කුකුළගේ කරමලේ සුදුයි කියා පෙනෙනකම්ම මාව පුංචි තිරේ ඇතුළෙ දකින්න ලැබෙන්නේ නැහැ. මම අවුරුදු විසි හයක් මුළුල්ලේ රංගන කටයුතු කළත් තවමත් ක්ෂේත්රයේ රැඳී සිටින්නේ එසේ මධ්‍යම ප්‍රතිපදාවට වැඩ කටයුතු කරන නිසයි. නැත්නම් කාලෙකදි සුපර් හිට් වී තවත් කාලෙකදි ඩවුන්ද පල්ලම් වෙනවා. මැද මට්ටමේ ඉන්නකොට ඒ ප්‍රශ්න කිසිවක් පැන නඟින්නෙ නැහැ.
වෘත්තිමය රංගන ශිල්පියෙක්ට මධ්‍යම ප්‍රතිපදාවෙන් හිටියොත් ආර්ථික වශයෙන් ස්ථාවර වෙන්න අපහසුයි නේද?
මම වෘත්තියෙන් රංගන ශිල්පියෙක් වගේම ව්‍යාපාරිකයෙක්. ඒ නිසා දැනට බේරිලා ඉන්නවා. වෘත්තියෙන් රඟපෑම පමණක් කරන කෙනෙකුට මා ලබන විවේකය ලබන්න බැහැ. ලංකාවේ කලාව තවම කර්මාන්තයක් බවට පත් නොවූ නිසා මම කලාවෙන් පමණක් යැපෙන්න බලාපොරොත්තුවක් නැහැ. මම හිතනවා ලංකාවේ සියලුම කලාකරුවෝ යම් ව්‍යාපාරයක් කරනවා නම්, මේ තරම් අසරණ නොවේවි කියලා.
බුද්ධික කියන්නෙ වැඩක් කළොත් රටක් හොල්ලන කෙනෙක් කියලයි ගොඩක් ප්‍රසිද්ධ. වාසි ගීතයත් එවැනිම වැඩක් වෙයි කියලා ඔබ හිතනවද?
බුද්ධික කියන්නේ රැලි පස්සෙ යන කෙනෙක් නෙමෙයි, රැල්ලක් නිර්මාණය කරන කෙනෙක්. මේ වන විටත් එයට ඉතාමත් යහපත් ප්‍රතිචාර ලැබෙනවා. ඒ වගේම ඒ ගීතය වගේම එවැනිම වූ තවත් නිර්මාණ ඉදිරියට බිහිවේවි කියලා මම හිතනවා. ඇත්තටම ඒ වගේ ගීත තවත් බිහිවෙන එක මට ලොකු සතුටක්. දකුණු ඉන්දියානු ආරයට විශාල මුදලක් වැයකර එහි රූප රචනාව අපූරු ලෙස කළේම අලුත් යමක් සමාජගත කිරීමේ පරමාර්ථයෙනුයි. මම හිතනවා ඒ වෙනස ප්‍රේක්ෂකයන් වැලඳ ගනීවි කියලා.
ඔබට ලංකාව තුළ නිසි ඇගයුමක් ලැබුණා කියා ඔබ හිතනවද?
ලංකාව කියන්නේ ඉතාමත් සුන්දර රටක්. නමුත් එහි සිටින මිනිස්සුන් බහුතරයකගේ හිත්වල ඒ සුන්දරත්වය නැහැ. නිසි ඇගයුමක් නොලැබෙන හැම තත්පරයකම ලොකු පීඩනයක්, වේදනාවක් හිතට දැනුනත් මං ඉන්නෙ ලංකාවෙනෙ කියලා හිත හදා ගන්නවා. මම මේ රටට ගොඩක් ආදරේ කරන කෙනෙක්. නමුත් ලංකාවේ කලාකරුවෙකු වීම ගැන මම සෑම විටම දුක් වෙනවා.
ඔබගේ අනාගත බලාපොරොත්තු මොනවාද?
මට අනාගත බලාපොරොත්තු නැහැ. මම කැමති මේ මොහොත සතුටින් විඳින්න පමණයි. ප්‍රේක්ෂකයන්ට යමක් කළ හැකි හොඳ නිර්මාණවලට දායක වෙන්න මගේ ලොකු කැමැත්තක් තියෙනවා.