ගුරු-ගෝල බැඳීමකට එහා බැඳුණු ආදර කතා පෙළක් මේ දිනවල නිර්මාණ කීපයක දැකගන්න පුළුවන්. ඒ අතර ‘මාස්ටර් සර්’ ටෙලිනාට්‍යයේ අසිනි සහ ප්‍රබුද්ධ සර් අතර බැඳුණු ඒ බැඳීම දැන් කාටත් රහසක් නෙවෙයි. ඉතින් අසිනි ලෙසින් ප්‍රේක්ෂක ඔබට සමීප වුණු සවිනි යකුපිටියගෙන්ම අපි අහලා දැනගමු ඒ ආදර කතාවේ සුලමුල ගැන.
සවිනි, මේ දවස්වල ටිකක් කාර්යබහුල වෙලා නේද?
ටිකක් නෙවෙයි අයියේ හොඳටම කාර්යබහුල වෙලා ඉන්නේ.
ඒ තරමට වැඩගොඩක හිරවෙලාද?
ඔව්. ‘මාස්ටර් සර්’ ටෙලිනාට්‍යයේ ෂූටින්. තවත් අලුත් ටෙලිනාට්‍යයක සහ චිත්‍රපටයක වැඩකටයුතු සිදුවෙනවා. ඒ වගේම මගේ පුද්ගලික වැඩත් එක්ක තමයි මේ දවස්වල කාලය ගතකරන්නේ.
අසිනි චරිතය නිසා පාරක බැහැලා යන්න බරි තරම් ප්‍රතිචාර ලැබෙනවාලු නේද?
ඒක නම් එහෙම තමයි. හතර වටින්ම දෝෂාරෝපණ එනවා. වෙලාවකට හිතෙනවා ඒ වගේ ප්‍රතිචාර මට ලැබෙන්නේ අසිනි චරිතය ප්‍රේක්ෂකයන්ට හොඳටම දැනිලා තියෙන නිසා කියලා. ඒ නිසා ඒ ප්‍රතිචාර මම සතුටින් බාරගන්නවා.
අසිනිගේ දඟකාර වැඩ නිසා ටියුෂන් පන්තිවලට වෙනම මාර්කටින් එකක් වුණා නේද?
ඔව්, ඒක ඇත්ත. ඒගොල්ලන් ‘මාස්ටර් සර්’ ඩ්‍රාමා එකේ අපේ වීඩියෝ කොටස් අරගෙන මාර්කටින් වැඩවලට යොදාගන්නවා. ටියුෂන් පන්තිවලින් මාස්ටර් සර් ඩ්‍රාමා එකට වෙනම පබ්ලිසිටි එකක් ආවා. නොබලපු අයත් ඩ්‍රාමා එක බලන්න ලොකු උනන්දුවක් දක්වනවා.
මාස්ටර් සර් වැලඳගැනීම ප්‍රේක්ෂකයන් දැක්කේ වෙනස්ම විදියකට නේද?
ඔව්. ඒ වැලඳගැනීම නිසා දෝෂාරෝපණ ගොඩක් ආවා. සමහරු කියනවා ළමයි නොමග යනවා කියලා. සර්ලව අමාරුවේ දානවා කියලා. සමහරු කියනවා ළමයෙක්ව පන්තියකට යවන්නේ කොහොමද කියලා. තවත් සමහරු කියනවා මාස්ටර් සර්ව බදාගත්තේ ලිංගික හැඟීමක් ඇතිකරගෙන කියලා. නමුත් දකින සියල්ල ඇත්ත නෙවෙයි. එහි යථාර්ථය වෙනස්. මතුපිටින් දකින සියල්ල සත්‍යයක් වෙන්නේ නැහැ.
කොහොමත් ඉතින් පිටකවරයනේ බලන්නේ?
ඔව්. ඒක ඇත්ත. ලංකාවේ මිනිස්සු මතුපිට ලස්සන බලන්නේ. එහි යථාර්ථය තේරුම් ගත්තා නම් අපේ අය මීට වඩා බුද්ධිමත් කියලා මම හිතනවා.
ඔබ අසිනි චරිතයට සමානද?
අපෝ නැහැ. මම ගොඩක් සංවේදී කෙනෙක්. පොඩ්ඩක් ඉතින් තරහා එනවා. ඒ ඉතින් ඉවසලා බැරිම තැන තමයි වේදනාව පිටකරන්නේ.
සංවේදී කෙනෙක් නපුරු වුණේ කොහොමද?
මට රිදෙන දෙයක් වුණා නම් මම එතැන ඉතින් නපුරුයි. මම අසාධාරණයට කැමැති නැහැ. සංවේදී කෙනෙක් ළඟ දුක, තරහා දෙකම තියෙනවා ඉතින්.
සවිනි මේ ආපු ගමන ගැන සතුටින්ද?
අනිවාර්යයෙන්ම. කුඩා කාලේ ඉඳලම ලොකු බලාපොරොත්තුවක් තිබුණා නිළියක් වෙන්න. ඒත් ඉතින් ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලවත් දන්නේ නැහැ. මම මේ ගමන ආවේ බාධක මැද. අද සතුටුයි මේ ආපු ගමන ගැන. හරි විදියට තමන්ගේ ගමන යන්න පාර හදාගත්තොත් දවසක යන පාරේ මල් වැසි තමයි ඉතින්.
වසන්ත විතාරණගේ