අදින් වසර හැට තුනකට පෙර ප්‍රදර්ශිත ‘රන්මුතු දූව’ සැලකෙන්නේ සිරිලක පළමු වර්ණ වෘත්තාන්ත සිනමාපටය ලෙසින්. එසේම ‘රන්මුතු දූව’ සමකාලීන රසාලිප්ත සිනමාවේ ආ රූපණ කාර්යය පරයා යන්නට අවැසි සමත්කම විදාරණය කළ සිනමාපටයක්ද වනවා. ඒ එවක සිරිලක සිනමාවට අතිශය සමීප ඉන්දියානු රසාලිප්ත සිනමාවේ ලකුණු රහිත රූපණ විලාසයක් රැගෙන ආ ගාමිණී ෆොන්සේකාද නිසා. ඔහුගේ පෙනුම මුළුමනින්ම බටහිර නළු ලකුණු වෙතින් පමණක්ම සමන්විත වූයේ නැහැ. එහෙත් ඉන් යම් ආභාෂයක් ලද බවයි විචාරක අදහස වන්නේ. මීළඟ දශකය වන විට ගාමිණී සිරිලක සිනමාවේ වීරයා හා පෙම්වතා වෙමින් ඉහළම රසික ආදරයක් දිනා ගන්නේ තුරුණු නළු ප්‍රතිරූපයක් සඳහා සුපුරුදු කඩවසම් පෙනුමක් අවැසිම නොවන බව අවධාරණය කරමින්.
ගෙවුණු දශකයේදී සිනමාපට කිහිපයකින්ම සිය රූපණ කෞශල්‍යය ප්‍රකට කළ දසුන් පතිරණ හඳුනාගත හැක්කේද ගාමිණී ෆොන්සේකා සේම රසාලිප්ත සිනමාවේ එන තුරුණු පෙම්වතාගේ හෝ විරුවාගේ මුහුණුවර නොපෙන්වන ආකාරයකින්. එසේම දසුන් මේ වන විටත් යම් අනන්‍යතාවක් සලකුණු කරමිනුයි සිටින්නේ. ඔහු තරමක වාසනාවන්තයකු සේ නම් කරන්නටද පුළුවන්. ඒ ඇතැම් සමකාලීනයන් ඉක්මවා වැඩි සිනමාපට සංඛ්‍යාවකට එක්වීමේ අවස්ථා ඔහු අබියස උදාවීම නිසා. වෙසෙසින්ම කිව යුත්තක් වනුයේ එහිලා අභියෝගාත්මක චරිතද හඳුනාගත හැකි බවයි. දසුන් කිසි විටෙකත් එබඳු අභියෝග බැහැර කරන්නට උත්සුක නොවූයේ යැයිද සිතෙනවා. සිරිලක සිනමාවේ නිම් වළලු පුළුල් කරනු පිණිස දසුන් බඳු පිරිස් සපැමිණීම අතිශයින්ම වැදගත්.
දසුන් ගෙන එන නිදහස් හා නිර්ව්‍යාජ රූපණ කාර්යයන් සුප්‍රකට ප්‍රංශ නවරැල්ලේ රූපණද සිහිගන්වනවා. හොඳම නිදසුනක් වනුයේ ශමීර නාඔටුන්නගේ පළමු සිනමාපටය වන ‘මෝටර් බයිසිකල්’හි ආ රංග නමැති නාගරික පීඩිත තරුණයාගේ චරිතය වෙත ඔහු ලබා දුන් වටිනාකම. හාස්‍යය හා උද්වේගකර බව සමඟ ‘මෝටර් බයිසිකල්’ගමන් කරන්නේ ඛේදවාචකයක් කරා. රසිකයනටද මෙය රහසක් වන්නේ නැහැ. ඔවුන් තුළ රංග සම්බන්ධයෙන් ඇති වන කම්පනය ව්‍යංගයෙන් හසු කර ගැනීමට දසුන් සමත් වන්නේ ආයාසයකින් තොරව. කොහොමත් ඔහු ආයාසකර රූපණයකට සූදානම් නොවන්නෙක්.
‘මෝටර් බයිසිකල්’ හි රංගගේ එක් අපේක්ෂාවක් වනුයේ යතුරු පැදියක හිමිකරුවා වීම. ඒ වෙනුවෙන් ඔහු දරන තැත වෙතින් සිරිලක නාගරික තරුණ සිහින පිළිබඳ කතිකාවක් ගොඩ නැංවෙනවා. ඔහුගේ ජීවනෝපය රාත්‍රී සාද හා බැඳී පවතින්නක්. බොක්ස් ගිටාරය හා ගායන හැකියාව, යතුරු පැදි සිහිනය සැබෑ කර ගැනීමට එපමණ පිටිවහලක් සපයන්නේ නැහැ.පෙම්වතිය සමඟ යතුරු පැදියේ නැඟී නගර සංචාරයද ඔහුගේ තවත් අපේක්ෂාවක්. කෙසේ හෝ ඔහු කුඩා හා අබලන් යතුරු පැදියකින් පෙම්වතිය සමඟ නගර සංචාරයේ නිරත වනවා. එහෙත් නිදහසේ පෙම් සුව විඳිය හැකි කිසිදු තැනක් ඔවුනට හමුවන්නේ නැහැ. උද්‍යානය , සිනමා ශාලාව, මුහුදු වෙරළ හා ලැගුම් හල ඔවුනට බාධා පමුණුවන්නේ පෙර කී රසික කම්පනය දෙගුණ තෙගුණ කරමින්.නවකයකු වුවද දසුන් ‘මෝටර් බයිසිකල්’හි රංගගේ චරිතය සඳහා ලබා දෙන්නේ වෘත්තීය අගයක්.
රංගට තරමක් දුරට සමාන චරිතයක් 1974 වසරේදී හමුවනවා . ඒ ධර්මසේන පතිරාජගේ පළමු සිනමාපටය වන ‘අහස් ගව්ව’ හි විජේ. නාගරික රැකියා විරහිත දිළිඳු තරුණයකු වන විජේටත් පෙම්සුව සිත් සේ විඳීමේ භාග්‍යය උදා වන්නේ නැහැ. මඟ තොටේදී සිත් ගත් යුවතිය සමඟ කතා බහ කිරීමෙන් පමණක් සෑහීමකට පත් වන්නටයි ඔහුට සිදුවන්නේ. ‘මෝටර් බයිසිකල්’ නරඹන ‘අහස් ගව්ව’ රසිකයනට විජේගේ චරිතය නිරූපණය කළ අමරසිරි කලංසූරිය හා දසුන් පතිරණ අතර තවත් සමානකමක් දැක ගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ සත් වැනි විචාරක සම්මාන උලෙළේ දී ‘අහස් ගව්ව’ හි විජේගේ චරිතය රූපණය වෙනුවෙන් කලංසූරිය හොඳම නළුවා වීම හා මෙදා සිනමා සම්මාන උලෙළේ දී ත්‍රිත්වයකදීම දසුන් හොඳම නළුවා වීම. ඒ සරසවිය, සිග්නිස් හා සාර්ක් සිනමා සම්මාන උලෙළ ත්‍රිත්වයේදී ය.
දසුන් මෙසේ ‘මෝටර් බයිසිකල්’ වෙතින්ද, විසාකේස චන්ද්‍රසේකරන්ගේ ‘සයපෙති කුසුම’ වෙතින්ද හොඳම නළු සම්මාන දිනා ගන්නේ සිනමා ලොව දැවැන්තයන් හා කරට කර තරග වැදෙමින්. මේ අතර සුපිරි සිනමා තරුද වූවා. පෙම්බරයා හෝ විරුවා ජනනය කළ හැකි උස මහත රූපණවේදීන් ඔහුට අභියෝගයක් නොවූ බවයි හැඟෙන්නේ.
තිසර ඉඹුලානගේ ‘නිනෝ ලයිව්’, සංජීව පුෂ්පකුමාරගේ ‘දැවෙන විහඟුන්’, මහාචාර්ය ආරියරත්න ඇතුගලගේ ‘සහෝ’ දසුන්ගේ ජවාධික තුරුණු රූපණයෙන් සමන්විත අත් හල නොහැකි සිනමාපට ත්‍රිත්වයක්. මෙතැනට සුදේශ් වසන්ත පීරිස්ගේ ‘හුස්ම’ හා ‘සීරුවෙන්’ යන සිනමාපට ද්විත්වයද එක් කළ යුතු වනවා. ‘සීරුවෙන්’ හි දසුන් නිරූපණය කරන්නේ මැර තරුණයකුගේ චරිතයක්. එතුළ යම් මානුෂීය බවක් සනිටුහන් කරලීම සිනමාකරුගේ අරමුණක්ව තිබුණා. ජැක්සන් ඇන්තනි හා බුද්ධික ජයරත්න සමඟ සිනමාපටයේ සංත්‍රාසජනක බව ඔප් නැංවීමට දසුන් සමත් වන්නේ කවර මාදිලියේ චරිතයකට වුව තමා පසුබට නොවන බව පවසමින්. අද මෙවැන්නක් ඉඟි කරන්නේ මහේන්ද්‍ර පෙරේරා ඇතුළු කිහිප දෙනෙකු පමණයි. ඉදිරි සිනමා රූපණ ඔස්සේ දසුන්ද එතැනට යනු ඇතැයි සිතෙනවා.