කෝපි කඩේ සුවඳා ගීතා නඟාව බැන්දා.”
“නෑ නෑ. එහෙම වුණේ නැහැ. කෝපි කඩේ සුවඳා වැල්ලම්පිටියේ අවුරුදු කුමාරිය බැන්දා. ඒක තමයි ඇත්ත.”
එදා සුවඳා වුණේ ජනප්‍රිය රංගන ශිල්පී දමයන්ත පෙරේරා. වසර තිස් දෙකකට පෙර වැල්ලම්පිටියේ අවුරුදු කුමාරි වුණේ ශිමල්කා. මේ දෙදෙනාට මුලින්ම දුවෙක් ලැබුණා. ඒ දුව පබසරා පෙරේරා. මේ වන විට වවුනියාව රෝහලේ වෛද්‍යවරියක් ලෙස ඇය රාජකාරි ඉටු කරමින් සිටිනවා. පුතා සිතික පෙරේරා තොරතුරු තාක්ෂණවේදය පිළිබඳ උපාධියක් හදාරනවා. විවාහයෙන් වසර තිහක් පිරුණු අවස්ථාවේ ඇයට තම විවාහ සංවත්තරයදා යළිත් මනාලියක් වන්නට සිත් වූවා. එසේ යළිත් මංගල ඇඳුමින් සැරසුන ඇයටත්, දමයන්තටත් සතුට ගෙන දෙන්නක් වුණා. මුහුණු පොත හරහා මේ දෙදෙනාගේ මංගල ඡායාරූප දකින මිතුරු මිතුරියන් දක්වන ප්‍රතිචාර සහ සුබපැතුම් ඔවුන්ගේ සතුට දෙගුණ තෙගුණ කරනවා.
“ශිමල්කාට තමයි ලොකු ම ආසාවක් තිබුණේ අලුත් විදිහට ඇඳලා මංගල ඡායාරූප ගන්න. එයා ඒ සඳහා වෙන ම සූදානම් වුණා. ඇඳුම් සූදානම් කර ගත්තා. ඡායාරූප ශිල්පියාව තෝර ගත්තා. දර්ශනතල තෝර ගත්තා. මට තිබුණේ වියදම් කරන්නයි, මනමාලයා හැටියට ඡායාරූපවලට පෙනී සිටින්නයි විතරයි. පින්තූර දැකලා යාළුවෝ සුබ පැතුම් ගෙන එද්දී ලොකු සතුටක් දැනෙනවා. පින්තූර මුදාහරින තුරු කිසිම ඥාතියෙක්, හිතවතෙක් මේ ගැන දැන ගෙන හිටියේ නැහැ. ශිමල්කාට මංගල ඇඳුම සකසා දුන්නේ කිරුළපන විලා ෆැෂන්හි විලාසිකා ද කොස්තායි. ශිමල්කාව හැඩ ගැන්වූයේ හිරණ්‍යා සඳුනි රූපලාවණ්‍ය ශිල්පිනිය. ඉවෝරි ටේල් ආයතනයේ ඡායාරූපකරණයෙන් අපේ පින්තූර ගත්ත දර්ශනතලය වුණේ 55 ටීජී කොළඹ. ”
දමයන්ත පෙරේරා නම එතරම් හුරු පුරුදු නැති වුවත් කෝපි කඩේ සුවඳා අපි කාටත් මතකයි. පාදයක් නුහුරට තබමින්, කටේ ඉදිරි දතක් ද නොමැති නමුත් මුව පුරා සිනහා පාමින්, කඩිනම් ගමනින් දිව යන සුවඳා කෝපි කඩයට අවුත් අන් අය හා කතා බහ විහිළු තහළු කරන අයුරු දැනුදු මැවි මැවී සිහියට නැගෙයි. කොටස් දහස ඉක්මවන තුරුත් ඔහු කෝපි කඩේ සුවඳාම විය. සරළ සුගම වුවත් සමාජයට යහපත් පණිවුඩයක් සෑම දිනකම කෝපි කඩේ ටෙලි නාට්‍ය මඟින් ගෙන හැර පාන්නට නිෂ්පාදන කණ්ඩායම උත්සුක වූ අතර එහි ආදරය, කරුණාව, හාස්‍ය, විනෝදය, යහපත් සංස්කෘතික චර්යා ධර්මයන් පිළිබඳ ආදර්ශයන් ද ගැබ් කර තිබිණි.
“කෝපි කඩේ නිසා මම ගොඩාක් ජනප්‍රිය වුණා. කේ. ඩී. සිරිපාල තමයි ඒ නාට්‍යයේ වේශ නිරූපණ ශිල්පියා වුණේ. ඔහු තමයි මගේ චරිතයට පුංචි එළු රැවුළක් දාලා, ඉස්සරහ දතකුත් පාට කරලා ගත්තේ. ඒ චරිතය ජනප්‍රිය වුණාට මම ජනප්‍රිය නැහැ. චරිතයක් උපරිම අයුරින් රඟපාන්න තමයි මම හැම වෙලාවකම වෙහෙසුනේ. දමයන්ත පෙරේරා ඉස්මතු කර ගන්න මට ඕනෑ වුණේ නැහැ. මම රංගන කටයුතුවල නිරත වෙන්නේ මගේ රැකියාව කරන අතරතුරයි. වසර ගණනාවක් මම සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ රැකියාව කළා. දැන් රක්ෂණ ආයතනයක කළමනාකරුවකු ලෙස සේවය කරනවා. මගේ කලා කටයුතුවලට කලාව බාධාවක් කරගෙන නැහැ. ආයතන දෙකේම නිලධාරීන් මගේ රංගන කටයුතුවලට ලොකු නිදහසක් ලබා දුන්නා. දැන් යෙදී සිටින සේවය අනුව මට රංගන කටයුතුවලට ලොකු නිදහසක් ලැබී තිබෙනවා. ඒ නිසා පසුගිය දිනවල නිර්මාණ කිහිපයකටම සම්බන්ධ වුණා. වැඩිපුරම ඉන්නේ වේදිකා නාට්‍ය එක්කයි. පාසල් කාලයේ ඉඳලාම නාට්‍යවලට සම්බන්ධ වුණා. මම ඉගෙන ගත්තේ මහරගම විද්‍යාකර විද්‍යාලයේ. පාසලේ නර්තන කණ්ඩායමේ, නාට්‍ය කණ්ඩායමේ මම හිටියා. පසු කාලෙක පහතරට නර්තනය හොඳින් ඉගෙන ගෙන ගමේ පැවති ගම්මඩු ශාන්තිකර්මයකදී කළඑළි බහිමින් ‘තෙල්මෙ’නැටුවා. පස්සේ උඩරට නර්තනයත් ඉගෙන ගත්තා.”
පාසල් වේදිකාවෙන් පසුව එච්. එම්. රත්නායක සහ තවත් නාට්‍යකරුවන්ගේ නාට්‍ය කිහිපයක රංගනයේ යෙදෙමින් සිටි දමයන්තට රොහාන් වැලිවිට හමුවීමෙන් පසු ඔහුගේ හැඳුනුම්කමින් ආචාර්ය සාලමන් ෆොන්සේකා මහතා හමුවී එතුමාගෙන් නාට්‍ය හා රංග කලාව හදාරන්නට විය. එහිදී නිෂ්පාදනය වුණු ‘හිරු නොදුටු මිනිස්සු’ වේදිකා නාට්‍යයට රංගනයෙන් සම්බන්ධ විය. පසුව රඟපෑ ‘හිරු නැති ලොවක්’ නාට්‍ය රංගනය රාජ්‍ය නාට්‍ය උලෙළේ හොඳ ම රංගන ශිල්පියාට නිර්දේශ වුවත් එහිදී සම්මාන ලබන්නට ඔහුට සදාචාරාත්මක අයිතිවාසිකමක් නොලැබිණි. එයට හේතුව රාජ්‍ය නාට්‍ය උළෙල සංවිධානය කළ සංස්කෘතික දෙපාර්තමේන්තුව දමයන්තගේ රාජකාරි ස්ථානය බවට පත්ව තිබීම. පසුව සෝමලතා සුබසිංහ මහත්මියගේ ඇරයුමෙන් එතුමියගේ රංගායතනයට එක් වී නාට්‍ය හා රංග කලාව වැඩිදුර හදාරන්නට වූ ඔහු එතුමියගේ නාට්‍යවලට ද රංගනයෙන් දායක විය.
“වේදිකාව වගේම විමලරත්න අධිකාරිගේ ‘වටමලුව’,‘ජීවිතය සුන්දරයි’,ශිවගුරුනාදන්ගේ ‘සල්ලි පොකුරු’ ටෙලි නාට්‍යවලත්, කෝලම් කුට්ටම ටෙලි නාට්‍යයේත් මම රඟපෑවා. ඒ චරිත එකිනෙකට වෙනස් චරිතයි. ඒ චරිතවල ඉන්නේ කෝපි කඩේ ‘සුවඳා’ කියලා නම් බොහෝ දෙනෙක් හඳුනාගෙන නැහැ. හෙක්ටර් කුමාරසිරිගේ ‘දෙව්ලොව දෝණි’, එයාගේම ‘තකදොං’, සජීවගේ ‘රොම්බතයිස්’ නාට්‍යවල මේ දවස්වල රඟපානවා. දැන් ඉස්සරට වඩා කලා වැඩ කරන්න වෙලාව තියෙනවා. ශිමල්කාත් රංගනයට දක්ෂයි. වෙළෙඳ දැන්වීම්වලට එයා පුළුවන් විදිහට සම්බන්ධ වෙනවා. ආරාධනා ලැබුණත් එයා ලොකු ලොකු වැඩවලට වැඩිය සම්බන්ධ වෙන්නේ නැහැ. ගෙදර ඉන්න එයා වැඩිය කැමතියි.”