ඒක නම් ඇත්තටම අහම්බයක් -කශ්මි නවෝද්‍යා

 


කලා ක්ෂේත්‍රය ගත්තම අද වෙද්දී දවසින් දවස අලුත් මුහුණු එකතු වෙනවා. මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය වී තිබෙන ගීතයක් තමයි අත්තිඩියේ පුඤ්ඤරතන හිමි විසින් රචිත අනුරාධ අබේසිංහ සංගීතවත් කළ රොබී ජේ ගායනා කරන දුමාරේ ගීතය. මේ ගීතයේ රූප රචනාවත් මේ දිනවල අතිශය ජනප්‍රියයි. එම රූප රචනාව තුළින් අලුත් මුහුණක් කලාවට එකතු වෙනවා. ඒ තමයි කශ්මි නවෝද්‍යා. ඇය ගැනත් බොහෝ දෙනා කතාබහ වන නිසාම කශ්මී නවෝද්‍යා සමඟ කළ සංවාදයයි මේ.


කලාවට එන්න ඕනේ කියලා හිතුණේ ඇයි?


පාසල් යන කාලේ ඉඳන් මම කලාවට ආසයි. සංගීතය පැත්තෙන් තමයි මම ඉගෙන ගත්තේ. මට ආසාවක් තිබුණා රියැලැටි ෂෝ එකකට හෝ ගිහින් කලාවට යොමු වෙන්න. ඒ එක්කම මම උසස් පෙළින් පස්සේ මොඩ්ලින් කරන්න හිතුවා. ඒ විදියට තමයි කලාවට නැඹුරු වුණේ.


නිරූපණය හදාරනව ද?


ඔව්. මම ත්‍රිකලා ධරණි මිස් යටතේ නිරූපණය හැදෑරුවා. එහිදි මම නොදන්නා බොහෝ දේ ගැන දැන ගන්න ලැබුණා.


කොහොමද දුමාරේ ගීතයේ රූප රචනාවට අවස්ථාව ලැබෙන්නේ?


ඒක නම් ඇත්තටම අහම්බයක්. සිසිර ගීකියනගේ අයියා හරහා තමයි මට දුමාරේ සින්දුවේ රූප රචනාවට අවස්ථාව ලැබෙන්නේ. ඒක තමයි මම රංගයෙන් දායක වූ පළමු රූප රචනාව. මම දායක වුණු පළමු නිර්මාණයම සමාජ මාධ්‍ය තුළ වයිරල් වුණා. මම මේ වෙලාවේ අවස්ථාවක් කර ගන්නවා මට මේ අවස්ථාව ලබා දුන්නු සිසිර ගීකියනගේ අයියාට සහ ගීත ගයන රොබී ජේ අයියා ඇතුළු මේ ගීතය නිර්මාණය කළ අයට ස්තුති කරන්න.


මේ වෙනකොට ඔබට ලැබෙන ප්‍රතිචාර කොහොමද?


ඉතාම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මම හිතුවේ නැහැ මේ තරම් ප්‍රතිචාර ලැබෙයි කියලා. ඇත්තටම නිහතමානී සතුටක් ලබනවා.


තව නිර්මාණවලට ඇරයුම් ලැබුණා ද?


මේ වනවිට නිර්මාණ කිහිපයකටම ඇරයුම් ලැබුණා. ඒ නිර්මාණ අතරින් තෝරා ගත් නිර්මාණ කිහිපයකට මේ වෙද්දී දායක වෙලා තියෙනවා. මේ වෙද්දී ටෙලි ෆිල්ම් එකක් කළා. ඉදිරියේදී ඒ නිර්මාණ දැකගන්න ලැබෙයි.


ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද?


ගෙදරින් උපරිම සහයෝගයක් දෙනවා. මගේ අම්මා මා එක්ක ඇවිත් ලොකු කට්ටක් කෑවා.


දිගටම රඟපාන්න ද කැමැත්ත?


ඔව් ආසයි කලාවෙන් ඉදිරියට යන්න.


චරිත වලදී සීමාවන් එහෙම තියෙනවද?


තවම මම එහෙම ලොකුවට හිතලා නැහැ. ලැබෙන ඇරයුම් එක්ක මට හොඳයි සහ මට කරන්න පුළුවන් කියලා හිතෙන නිර්මාණ භාරගෙන කරනවා.


කශ්මි විලාසිතා ගැන මොකද හිතන්නේ


මම හරිම ආසයි විලාසිතා කරන්න. අලුතින් එන විලාසිතා වුණත් මට ගැලපෙනවා නම් මම කරනවා.


ආදරේ අත්දැකීම් මොනවගේ ද


අම්මෝ ඔව්. ගොඩක් අත්දැකීම් තියෙනවා. මට හිතෙනවා අපට ගැළපෙන ආදරණීයම මිනිස්සු හමුවුණාම හොඳයි කියලා. එතකොට ජීවත් වෙන්න පහසුයි කියලා. මම ආස සතුටින් ජොලියේ ඉන්න. හැබැයි ටිකක් කේන්තිත් යනවා.


මේ වෙනකොට ඔබට එහෙම කෙනෙක් ලැබිලා ද තියෙන්නේ?


හ්ම්…. ඔව් මට හිතෙනවා එහෙම කෙනෙක් ඉන්නවා කියලා. .


ඔබට හෙට දවස ගැන තියෙන සැලසුම් මොනවද?


මේ වෙද්දී මම රූපලාවණ්‍යය ගැන ඉගෙන ගන්නවා. මම විශ්වාස කරනවා අපිට දෙයක් හොඳින් කරන්න පුළුවන් අපි ඒ දේ ගැන හොඳින් අවබෝධයෙන් ඉගෙන ගත්තොත් කියලා. මම ඒ නිසා ඒ ගැන අවබෝධයෙන් ඉගෙන ගන්නවා. මගෙ බලාපොරොත්තුව රූපලාවණ්‍ය පැත්තෙන් සහ කලාවෙන් ඉදිරියට යන්න. ඒ වෙනුවෙන් තමයි මම මේ දවස්වල මගෙ කාලය කැපකරලා තියෙන්නේ.



Previous Post Next Post