අවුරුද්දෙන් පස්සේ ’’ලස්සනට පිපුණු වන මල්’’ ආයෙත් අරන් එනවා - තරංග නෙල්සන්

 


කොහොමද මේ දවස්වල වැඩ කටයුතු?

සුපුරුදු පරිදි සංගීත ප්‍රසංගවලට සහභාගි වෙනවා. ඉදිරියේදී සිංහල දෙමළ අලු‍ත් අවුරුද්ද එළැඹෙන නිසා ඒ වැඩ කටයුතුවලට සූදානම් වෙන එක තමයි මේ දවස්වල කරන්නෙ.


ගායන ශිල්පියෙක් ලෙස මෙතෙක් ආ ගමන් මඟ ගැන වචනයක් කතා කළොත්?

තාත්තා නැතිවුණාට පස්සේ තමයි මම ප්‍රසිද්ධ වේදිකාවේ ගීත ගායනා කරන්න පටන් ගත්තෙ. ඉතින් මේ පටන් ගැනීමත් සමඟ මට තේරුණා තාත්තට ආදරය කරන රසික රසිකාවියන්ගෙන් මටත් ඉතාම හොඳ ප්‍රතිචාර සහ ආදරය ලැබෙනවා කියලා. ඒ වගේම තාත්තාගේ ගීත මගේ හඬින් අහලා රසවිඳින්න කැමති බොහෝ පිරිසක් ඉන්නවා. ගායකයෙක් විදිහට ඒක මට විශාල සතුටක්.


ඔබගේ සංගීත කණ්ඩායම ගැනත් හැඳින්වීමක් කරමු?

“තරංග නෙල්සන් විත් රෙගේ”‍ කියන්නේ මගේ සංගීත කණ්ඩායම. සංගීත කණ්ඩායමේ මමත් සමඟ දැනට සාමාජිකයන් නව දෙනෙක් ඉන්නවා. ඉතින් අපේ කණ්ඩායම ඉදිරියේදී අපේම ගීත එළිදක්වන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. සංගීත කණ්ඩායමක් විදිහට අපිට විවාහ මංගල උත්සව, උපන්දින සාද වගේම වෙනත් විවිධාකාර උත්සව අවස්ථාවලට ආරාධනා ලැබෙනවා. මේ කාලෙදි නම් අවුරුදු උත්සව සඳහාත් ඒ සම්බන්ධ සංගීත ප්‍රසංග සඳහාත් ආරාධනා ලැබෙනවා.


ඔබගේ දයාබර පියාණන්, ප්‍රවීණ ගායන ශිල්පී නිහාල් නෙල්සන් මහත්මයා ගැනත් මතක සටහනක් තබමු?

මම නිතරම කියන දෙයක් තමයි, මගේ අම්මයි තාත්තායි සමාජයේ හොඳ විදිහට ජීවත්වුණු නිසා තමයි අද අපිටත් මිනිස්සු ආදරය කරන්නෙ, ගරු කරන්නෙ. මගේ තාත්තා ගායන ශිල්පියෙක් විදිහට වගේම තාත්තා කෙනෙක් විදිහට බොහොම ගෞරවාන්විතව සහ ආදර්ශමත්ව ජීවත්වුණු කෙනෙක්. මගේ තාත්තා එයාගේ නිර්මාණවලින්, එයාගේ දක්ෂතාවලින් සහ එයාගේ මනුස්සකමින් කරපු දේවල් නිසා අද මටත් මේ ක්ෂේත්‍රයේ සාර්ථකව රැඳී ඉන්න පුළුවන් වෙලා තියෙනවා. එදා තාත්තා කරපු දේවල්වල වටිනාකම අදටත් අනාගතයේදීත් රැකගන්න එක දරුවන් විදිහට අපේ අතේ තියෙන වගකීමක්. මම නිතරම කියනවා, නිහාල් නෙල්සන් කියන්නේ යුග පුරුෂයෙක්. ඉතින් ඒ යුග පුරුෂයාගේ නිර්මාණ දිගටම ආරක්ෂා කරගෙන යන එක තමයි මගේ වගකීම.


ඔබ විසින් පැවැත්වූ "Tribute to නිහාල් නෙල්සන්, ලස්සනට පිපුණු වනමල්”‍ ප්‍රසංගය ගැන කතා කරමු?

ඔව්... 2024 වසරේ "Tribute to නිහාල් නෙල්සන්, ලස්සනට පිපුණු වනමල්”‍ නමින් ප්‍රසංගයක් පැවැත්වුණා. තාත්තගෙ ගීත අතරින් මේ කාලයේදී වැඩිපුරම අපිට ඇහෙන්නේ වේදිකාවේ ජනප්‍රිය වුණු ගීත හතරක් පහක් විතරයි. ගොඩක් අයගේ ඉල්ලීමක් තිබුණා, තාත්තාගේ ගීත අතුරින් ඒ කාලයේ ජනප්‍රිය වුණත් මේ වෙනකොට ප්‍රසංග වේදිකාවල වැඩිපුර ගායනා නොවෙන ගීත එකතුවක් රසවිඳින්න ආසයි කියලා. ඒ ඉල්ලීමත් සමඟ මම කල්පනා කළා මේ කාලයේ වැඩිය ඇහෙන්නේ නැති තාත්තාගේ ගීත එක්ක ජනප්‍රිය වෙලා තියෙන ගීත තුන හතරකුත් දාලා ප්‍රසංගයක් කරන්න ඕනෑ කියලා. “ලස්සනට පිපුණු වනමල්”‍ කියන්නේ තාත්තාගේ පළවෙනි ගීතය නිසා, ප්‍රසංගය ඒ නමින් නම් කළා.


ඔබ විදෙස් ප්‍රසංග රැසකට සහභාගී වූ කලාකරුවෙක්. ඒ ගැන අදහසක් දක්වමු?

ඔව්... ඇත්තටම ඒ අතින් මම ගොඩක් වාසනාවන්තයි. ඒ වගේ දක්ෂ, හොඳ තාත්තා කෙනෙක් ලැබුණු නිසා තමයි අද මට මේ වගේ අවස්ථා ලැබෙන්නෙ. මම යුරෝපීය රටවල් ඇතුළුව තවත් රටවල් රැසක ප්‍රසංගවලට සහභාගී වුණා. ඒ සෑම තැනකදීම තාත්තට ආදරය කරන රසික රසිකාවියන්ගේ උණුසුම් ප්‍රතිචාර සහ ආදරය මටත් හිමිවුණා. සෑම ප්‍රසංගයක් අවසානයේදීම ඔවුන් මට නැවත එන්න කියලා ආරාධනා කරනවා.


ඔබේ සංගීත ජීවිතයේ සිදුවුණු අමතක නොවන සිදුවීමක් ගැන කතා කළොත්?

මම පුංචි කාලේ ඉඳලා ජීවත් වුණේ සංගීතයත් එක්ක. සංගීතමය වටපිටාවක. මගේ සංගීත ජීවිතයේ කිසිම දුකක් වේදනාවක් පසුතැවීමක් නැහැ. පුංචි කාලේ ඉඳලම මගේ ජීවිතය වුණේ සංගීතය. සංගීත ජීවිතය ඇතුළේ සිදුවුණු හැම සිදුවීමක්ම අමතක කරන්න බැරි විශේෂ දේවල්. කවදාවත් මම සංගීත ක්ෂේත්‍රය නිසා දුකින් ඉඳලා නැහැ. හැම සිදුවීමක්ම, හැම මතකයක්ම, හැම අත්දැකීමක්ම, සතුටු හිතෙන විඳින්න පුළුවන් දේවල් කියලා මම හිතනවා.


ඔබේ සංගීත ජීවිතයේ ඉදිරි බලාපොරොත්තු මොනවාද?

මම බලාපොරොත්තු වෙනවා අවුරුදු කාලය පහුවෙලා මගේ සංගීත කණ්ඩායමත් එක්ක, නැවත වරක් "Tribute to නිහාල් නෙල්සන්, ලස්සනට පිපුණු වන මල්”‍ ප්‍රසංගයක් පවත්වන්න.

 ඒ වගේම සංගීත කණ්ඩායම පැත්තෙන් නව නිර්මාණ කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. විශේෂයෙන්ම මගේම ගීත කිහිපයක් හඳුන්වා දෙන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නවා. මොකද මම තවමත් තාත්තගෙ ගීත තමයි ගායනා කරන්නෙ. ඉදිරියේදී මගේම ගීතවලින් අනන්‍යතාවයක් ගොඩනගාගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.


• මංගලා පවිත්‍රානි



Previous Post Next Post