හදිස්සි නොවී ‘The Voice’ අවසාන ප්‍රතිඵලය බලන්න

 


“හිරුෂි ජයසේන” සංගීත ක්ෂේත්‍රය තුළ තම අනන්‍යතාව අපූරුවට තහවුරු කළ කලාකාරිනියක්. කලා ලොවේ ගායනයෙන් වගේම රංගනයෙන්, නිවේදනයෙන් දස්කම් දක්වන සුරූපී ඇය තාරුණ්‍යයේ ජවය ලොවටම කියාපාන ලාංකේය නියෝජනයක්. මෙවර හදගැස්මට මේ සොඳුරු කතාබහ ඇයගෙන්. අලුත් වැඩකටයුතු ගැන කතා කරමු?


මේ දවස්වල, ඉදිරියේදී රිලීස් කිරීමේ බලාපොරොත්තුවෙන් ගීත කිහිපයක් නිර්මාණය කරගෙන යනවා. ඒ වගේම විදේශ රටවල සංගීත ප්‍රසංග කිහිපයක් කරගෙන යෑමට සැලසුම් කරමින් යනවා සහ වොයිස් ශ්‍රී ලංකා සීසන් 3හි පුහුණුකරුවකු ලෙසත් ඉදිරිපත් වෙලා ඉන්නවා. ඉතින් ඒ වැඩ කටයුතුත් කරගෙන යමින් තමයි ඉන්නේ.


රැප්, හිප් හොප් සංගීත ශානරයන් ගොඩනැඟීම කොතරම් සංකීර්ණද?


ඇත්තටම හිප්හොප් වගේ ශානරයන් ප්‍රේක්ෂකාගාරයේ එක්තරා කොටසක් අතර ජනප්‍රියයි. ඒත් සමඟම තවමත් ප්‍රේක්ෂකයන් පිරිසක් මෙවැනි සංගීත ශෛලීන් වැලඳ ගැනීමේ බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඉතින් හිප් හොප් කියන සංස්කෘතිය බොහෝවිට නාගරික සංස්කෘතියත් සමඟින් තමයි පැමිණෙන්නේ. ඒ නිසා ඒ දෙයට ආවේණික වූ අභියෝග තිබෙනවා. නමුත් මට හිතෙන්නේ හැම ආර්ටිස්ට් කෙනකුම බිහිවන්නේ හැමෝටම නිර්මාණ කරන්නට නෙවෙයි. ඉතින් මම විශ්වාස කරන්නේ බිහිවන හැම නිර්මාණයකටම ප්‍රේක්ෂකාගාරයක් ඉන්නවා සහ බිහිවන හැම ප්‍රේක්ෂකාගාරයකටම නිර්මාණයක් ලොව කොහේ හෝ තිබෙන්නට පුළුවන් බවයි. ආර්ටිස්ට් හිතට එකඟව නිර්මාණයක් කළාම ස්වාභාවිකවම ඒ සඳහා ප්‍රේක්ෂක පිරිසක් ආකර්ෂණය වෙයි කියන විශ්වාසය මට තිබෙනවා.


රියැලිටි තරගාවලියක් වන “ද වොයිස්” තාරුණ්‍යයට ක්ෂේත්‍රයේ අනන්‍යතාව තහවුරු කරගැනීමට කොතරම් පිටුවහලක්ද?


ද වොයිස් ශ්‍රී ලංකා තරගාවලිය කියන්නේ ඉතාමත් ලස්සන සංකීර්ණ ක්‍රමවේදයකට යන රියැලිටි තරගාවලියක්. ඉතින් අපි දකින සාම්ප්‍රදායික ගායන තරගාවලිවලට වඩා ඉදිරියට ගිය තරගාවලියක්. මොකද මේ තරගාවලිය කණ්ඩායම් දියුණු කිරීම හා ගොඩනැඟීමේ සංකල්පයකට අනුව තමයි යන්නේ. අවසානයේ පුහුණුකරුවන් අතර තරගයක් සඳහා තමයි මෙහි ආරම්භය හැදිලා තිබෙන්නේ. මෙය ජාත්‍යන්තර සන්නාමයක් නිසා අපට ලංකාවේ දක්ෂතා ජාත්‍යන්තරයට පෙන්වීමට දොරටුවක් විවෘත වෙලා තිබෙනවා. ඉතින් අපි පුළුවන් තරම් උත්සාහ කරන්නේ ලංකාවේ හැම ‍ශෛලියකින්ම ගීත සුසංයෝගයක් සහිතව හොඳ ගමනක් යන්නට තමයි.


මෙවර “ද වොයිස්” විනිසුරු මඬුල්ල පරිණත  මදි ආදී වශයෙන් නැඟෙන චෝදනා ගැන ඔබේ පිළිතුර?


ඇත්තටම පරිණත බව කියන දේ හරි සාපේක්ෂයි. උදාහරණයක් විධියට මමයි මගේ තාත්තයි දිහා බැලුවොත් ජීවිතයේ තාත්තට තිබෙන අත්දැකීම් මට නෑ. ඔහු අත්විඳලා තිබෙන දේවල් වෙනස්. නමුත් නූතන යුගයේ ඩිජිටල්කරණයත් සමඟ බිහිවුණු පරපුරේ පරිණතභාවය වෙනම එකක්. ඒ දේ සංසන්දනය කරන්න බෑ. මගෙන් තාත්තා ඉගෙන ගන්න දේවල් තිබෙනවා සහ තාත්තගෙන් මම ඉගෙන ගන්න දේවල් තිබෙනවා. ඉතින් අලුත් ජෙනරේෂන් එකක් විධියට අපට වඩා පරිණත බවින් වැඩි අයට උගන්වන්න පුළුවන් දේවලුත් අපි ඉගෙනගෙන තිබෙනවා. ඒ වගේම ඔවුන්ගෙන් අපට ඉගෙන ගන්න තිබෙන දේවල් තිබෙනවා. අලුත් ජෙනරේෂන් එකේ අයටත් මේ දේවල්වලට හොඳ ඇහැක් තිබෙනවා. අපි ඉගෙන ගන්න ගියත් විදේශ ඉන්ඩස්ට්‍ර්ස් එක්ක එකතුවෙලා එක එක වැඩ කරලා තිබෙනවා. අපිට ආවේණික අත්දැකීම්, දැනුම, අධ්‍යයනය වෙනස්. වයසින් අඩු වුණා කියලා ඒ දේවල් අවලංගු නෑ. මම ආදරයෙන් ඉල්ලන්නෙ යෞවනයේ ඉන්න තරුණ තරුණියන්ට වගකීම් භාර දෙන්න.


ඔබ ගායනය, රංගනය නිවේදනය යන තුන් වැදෑරුම් භූමිකා නියෝජනයට දස්කම් දක්වනවා නේද?


මම විශ්වවිද්‍යාලයේ සිටි කාලයේ ඉඳන් මාධ්‍යවේදනියක් විධියට අවුරුදු දහයකට අධික කාලයක් කටයුතු කළා. මම ආර්ටිස්ට් කෙනකු විධියට සංගීත ක්ෂේත්‍රය සම්බන්ධයෙන් තවත් වැඩකටයුතු ඉදිරියට කිරීමට තිබූ බලාපොරොත්තුව නිසයි ඉවත් වුණේ. කාලය සම්බන්ධ ප්‍රශ්නය නිසා එයින් ඉවත් වුණත් මම මාධ්‍යවේදිනියක් විධියට තමයි පළමු කැමරා ට්‍රේනින් එක ලැබුණෙ. ඒ ඉගෙන ගත් කිසිම දෙයක් අපතේ නම් ගියේ නෑ.


ලංකාවේ සංගීතයට අන්තර්ජාතික වටිනාකමක් එක් කිරීම සම්බන්ධව ඔබේ අදහස?


අනිවාර්යයෙන්ම එය විය යුතුයි. ඒ නිසා තමයි ජාත්‍යන්තර තරගාවලියක් වන “ද වොයිස් ශ්‍රී ලංකා” තරගාවලියෙන් මෙවර වෙනසක් කිරීමට අපිත් සම්බන්ධ වන්නේ. මේ වන විට ඩිජිටල්කරණයත් සමඟ අපට කලින් තිබුණට වඩා ලොකු අවස්ථාවක් ඉදිරියට යන්න තිබෙනවා. සමහරු මේ වන විටත් සද්ද නැතුව ඒ දේ කරගෙන යනවා. ලොකුවට ජනප්‍රිය නොවුණත් ලෝකයට ලංකාවේ නම අරගෙන ගිය අය ඉන්නවා. අපේ ලංකාවේ සාම්ප්‍රදායික සංගීතයටත් එයටම ආවේණික වූ හඬක් තිබෙනවා. ලංකාවේ අපේ ගැටබෙරයේ හඬ, යක් බෙරයේ හඬ යම් කිසි මාධ්‍යයක් තුළින් ලෝකයට ගෙන යෑමට හැකිනම් එය අලුත්ම ශබ්දයක්. ඉදිරියේදී ඒ වගේ ප්‍රවණතාවක් ලැබෙයි කියලා මම හිතනවා.


ලංකාවේ රියැලිටි තරගවල ගුණාත්මක බව ගැනත් බොහෝ විවේචන එල්ල වනවා නේද?


අපි යම් කිසි ක්‍රමයකට හුරු වුණාම අපි බලාපොරොත්තු වන දේ පහසුවෙන්ම දන්නවා. නමුත් වෙනසක් කළාම ඒ දෙය කෙනකුට මුලින්ම සුව පහසු නැති වන්න පුළුවන්. වෙනසකින් අපි බලාපොරොත්තු වන දේ හිතාගන්න බැරිවනවා. ඒ නිසයි මිනිස්සු වෙනසකට බයවෙන්නේ. ලංකාව බොහෝ පැතිවලින් වෙනසට බය වුණු නිසා බොහෝ තැන් අපට මඟහැරුණා. ලෝකයත් එක්ක සංසන්දනය කරලා බලනවිට සමහර තැන්වල වෙනසට බය නිසා අපි පසු බැහැලා තිබෙනවා. නමුත් දකුණු කොරියාව වගේ රටක් කේ පොප් මියුසික් ට්‍රිලියන් ඩොලර් ඉන්ඩස්ට්‍රි එකක් වුණේ කොහොමද කියලා අවබෝධ කර ගන්න ඕනෑ. අපේ කෙනකු ජාත්‍යන්තරය තුළ යම් දෙයක් කළ විට ඒ පුද්ගලයාව පහළට ඇද දමන්නට වැඩ කරන්නේ අපේම කෙනෙක්. නමුත් අපි ඔක්කොම එක කණ්ඩායමක් කියන දේ අපි තේරුම් ගන්න ඕනෑ. හදිසි නොවී මේ වොයිස් තරගාවලියේ අවසන් ඵලය මොකක්ද කියලා බලන්න. ද වොයිස් තරගාවලියේ වෙනසක් තිබෙනවා. ඔබ හැමදාම අහන සින්දු ෆයිනල් තරගාවලියේ ඇහෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් ඒ වෙනසට පොඩ්ඩක් කන් දෙන්න.


“ද වොයිස්” තරගකරුවන් ගායනය කරන ගීතවල කර්තෘභාගය උදෙසා මුදලක් ගෙවනවාද?


ඔව්. තරගකරුවන් ගායනා කරන සෑම ගීතයක් සඳහාම ඒ ගීතයේ අදාළ භාවිත කිරීම වෙනුවෙන් ඒ සඳහා කර්තෘභාගය උදෙසා මුදලක් MTV ආයතනයෙන් අදාළ ගීතයේ කතුවරුන් හෝ අයිතිකරුවන් වෙනුවෙන් වෙන් කරලා තිබෙනවා. ඉතින් වෙනසක් දකින්න කැමැති වෙනස් වැඩක් කරන “ද වොයිස්” තරගාවලිය දැනටත් ලස්සන වෙනසක් සොයා යනවා.


ඔබේ පවුලෙන් ලැබෙන සහයෝගය කොහොමද?


ඉතාමත් ඉහළයි. මම අද ඉන්න තැන ඉන්නේ මවුපියන්ගෙන් ලැබෙන සහයෝගය නිසයි. මවුපියන්ගේ සහයෝගය නැති තැන තමයි බොහෝදෙනකුට ප්‍රශ්න ඇතිවන්නේ. අම්මයි තාත්තයි තමයි මගේ ලොකුම රසිකයෝ දෙන්නා.


ඉදිරි වැඩකටයුතු ගැනත් කියමුද?


ගීත කිහිපයක් නිර්මාණය කරගෙන යනවා සහ ප්‍රසංගවල වැඩකටයුතුත් කරගෙන යනවා. ඉතින් බලමු.


රුවිනි අමරකෝන්



Previous Post Next Post