‘අංජලී ජයසිංහ’ නම් සුරූපී නවක රංගන ශිල්පිනිය මේ දිනවල රසික ඔබට ටෙලි නිර්මාණ කිහිපයකින්ම දැකගන්නට පුළුවන්. ඇයගේ දඟකාරකම්, හැඩකාරකම් කලා ලොවට එක් කරන්නේ අමුතුම ආලෝකයක්. මෙවර හදගැස්මට ඇය එක් කළ සොඳුරු කතාබහයි මේ. ඔබේ අලුත් වැඩකටයුතු ගැන කතා කරමු?
මේ දිනවල ‘සිකුරු ඇවිත්‘ ටෙලි නාට්‍යය තුළිනුත් ‘ජුරාලියා’ ටෙලි නාට්‍යය තුළිනුත් මාව දකින්න පුළුවන්. තවත් අලුත් ටෙලි නිර්මාණයකට දායක වෙමින් එහි වැඩකටයුතුත් කරගෙන යනවා. ඒ වගේම මම රංගන දායකත්වය ලබාදුන් ‘See You’ ටෙලි නාට්‍යය නම් අවසන් වුණා. ඉතින් ඒ වැඩකටයුතු තමයි.
‘ජුරාලියා’ ටෙලිනාට්‍යයේ රංගනයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
ජුරාලියා ටෙලි නාට්‍යයේ මගේ රංගනයට හොඳ ප්‍රතිචාර ටිකක් ලැබෙමින් පවතිනවා. ළඟදී තමයි ‘ජුරාලියා’ ටෙලි නාට්‍යය විකාශය ආරම්භ වුණේ. රසිකයෝ දැන් දැන් ටෙලි නාට්‍යය වැලඳ ගනිමින් සිටින බවක් පෙනෙනවා. ඉතින් තව ටික කාලයකින් ඒ වටා රසිකයෝ බොහෝමයක් එකතු වෙයි කියලා හිතෙනවා. ඒ වගේම ක්ෂේත්රයේ ප්‍රවීණයන්ගෙන් ලැබෙන ප්‍රතිචාරත් හරි ඉහළයි.
ඔබ ක්ෂේත්රයට පැමිණ කෙටි කාලයකින් ජනප්‍රියත්වයට පත් වුවත් ජනප්‍රියත්වය දිගුකාලීනව පවත්වා ගැනීම පහසු නෑ නේද?
ඇත්තටම මට රඟපාන්න ආශාවක් තිබුණා. නමුත් මට ජනප්‍රියතාව පසුපස යෑමට කිසිම ආශාවක් තිබුණේ නෑ. මොකද ජනප්‍රිය වීම සමඟ ප්‍රශ්න වැඩියි වගේ දෙයක් මම දැක්කා. මම මගේ ජීවිතයේ සැහැල්ලු බවට ගොඩක් කැමැති කෙනෙක්. නමුත් මම හිතන්නේ යම් දෙයක් දිගටම පවත්වා ගැනීමට නම් ඒ දේ නඩත්තු කළ යුතුයි. ඒ වගේම අපි කාලයෙන් කාලයට අප්ඩේට් වන්නට ඕනෑ. ඒ වගේම අපි නිහතමානී වන්න ඕනෑ. අපි කොයි ක්ෂේත්රයක සිටියත් මිනිසුන්ගේ කැමැත්ත අපට ලැබෙන්නේ අපි ඒ ක්ෂේත්රයේ සාර්ථක ගමනක් ගියොත් තමයි.
නවක පරපුර හා ප්‍රවීණයන් අතර ඇති අන්‍යෝන්‍ය බැඳීම කොහොමද?
ඇත්තටම මම නිර්මාණ බොහොමයකට දායක වී නැහැ. මම දායක වූ හැම නිර්මාණයකම ප්‍රවීණයන් හරිම හොඳයි. ඒ වගේම ඔවුන් හරිම නිහතමානියි. අපිත් එක්ක හරිම සහයෝගයෙන් තමයි ඔවුන් වැඩකටයුතු කළේ. මම ඔවුන් සමඟ වැඩකටයුතු කිරීමේදී මට දැනුණේ මම නැවත පාසලකට ගියා වගේ හැඟීමක්. හැම ප්‍රවීණ රංගන ශිල්පියකුම රංගන ශිල්පිනියකම මට ගොඩක් උදවු කරමින් අවවාද ලබා දෙනවා. ඉතින් ඔවුන් සමඟ එකට වැඩ කටයුතු කිරීමට මම හරිම කැමැතියි.
ජනප්‍රිය පුද්ගලයන් වටා වැඩි වශයෙන් කටකතා ගොඩනැඟෙනවා නේද? ඔබේ අදහස?
කටකතා හැදෙන්නට ජනප්‍රිය පුද්ගලයකු වෙන්නම ඕනෑ නෑ. නමුත් ඒ වගේ දේවල්වලට ශක්තිමත්ව මුහුණ දෙන්න ඕනෑ. මොන විධියේ කටකතා හැදුණත් තමන් දන්නවනේ තමන් කවුද කියලා. ඒ වගේම අපිට ඇත්තටම වටින්නේ අපට ආදරය කරන මිනිසුන්ගේ අදහස් තමයි. අපි නොදන්න අපිට කතා හදන අයගේ අදහස් අපි අදාළ කරගන්නත් ඕනෑ නෑ.
කලාකරුවකුට රසික යෝජනා මෙන්ම චෝදනාත් ඉදිරි ගමනට වැදගත් නේද?
ඕනෑම දෙයකදී අපට හොඳ ප්‍රතිචාර වගේම නරක ප්‍රතිචාරත් කියන දෙකම ලැබෙන්න පුළුවන්. මගේ විධියට මට ගොඩක් හොඳ කමෙන්ට්ස් ලැබුණම මම ගොඩාක් සතුටු වෙන්නෙත් නෑ. ඒ වගේම නරක ප්‍රතිචාර ලැබෙද්දී මම ගොඩක් දුක් වෙන්නෙත් නෑ. නමුත් නරක ප්‍රතිචාර කියන්නෙත් අපට දේවල් හදාගන්න අවස්ථාවක් වෙන්නත් පුළුවන්. නමුත් සමහර අය නරක ප්‍රතිචාර බොරුවටත් දානවානේ. හැම වෙලාවකම ඒ අදහස්වලින් අවශ්‍ය දේවල් තෝරා බේරා ගැනීම තමයි වැදගත්.
දක්ෂ රංගන ශිල්යපිකුට තම හැකියාවන් පෙන්වීමට අනු චරිතයක් වුවත් ප්‍රමාණවත්ද?
ඔව්… දක්ෂ රංගන ශිල්පිනියකට හෝ ශිල්පියකුට තම හැකියාව පෙන්වීමට චිත්‍රපටයක හෝ ටෙලි නාට්‍යයක එක දෙබසක් වුණත් ප්‍රමාණවත්. සමහර වෙලාවට ඒ දෙබස මුළු චිත්‍රපටය පුරාවටම මේන් කැරැක්ටර් එක දැනුණාට වඩා රසිකයන්ට දැනෙන්නට පුළුවන්. මම එහෙම අවස්ථා ඕනෑ තරම් දැකලත් තිබෙනවා.
තරුණ රංගන ශිල්පිනියක් ලෙස තරුණියන් අතර තිබෙන සම සුදු කරගැනීමේ සහ රූපලාවණ්‍ය සැත්කම් උන්මාදය ගැන ඔබේ අදහස?
මම උපතින්ම සුදු පැහැය හිමි කෙනෙක්. ඉතින් මට ඒ දේ ප්‍රශ්නයක් වෙලා නෑ. නමුත් නව යෞවනයේ ගැහැනු ළමයි වගේම කාන්තා අපි හැමෝම සුදු පැහැයට කැමැතියි. නමුත් වයිට්නින්ග් ක්‍රීම් හෝ ඉන්ජෙක්ෂන් වගේ කෘත්‍රිම දේවල් හොඳ නෑ. අපිට ලැබෙන්න ඕනෑ සමේ පැහැය උපතින්ම ලැබිලා තිබෙනවා. ඉතින් අපි සමට අහිතකර නිෂ්පාදන හරහා සමේ පැහැය වෙනස් කර ගැනීම හොඳ දෙයක් කියලා මම හිතන්නේ නෑ. තව අවුරුදු පහකින් හෝ දහයකින් විතර ඒ අහිතකර දේවල් භාවිතයේ අතුරු ප්‍රතිඵල විඳවන්න වෙනවා. කෙනකුට සුදු වීමට අවශ්‍ය නම් එය සෞඛ්‍ය සම්පන්නව කළාට ප්‍රශ්නයක් නෑ.
ඉදිරි වැඩකටයුතු ගැන මතක් කරමු?
ඉදිරියට නිර්මාණ කිහිපයක්ම විකාශයට නියමිතයි. අපි බලමු.
රුවිනි අමරකෝන්