අනේ මම එයා වගේ සෙල්ලක්කාරයෙක් නෙවෙයි - අමිල කරුණානායක

 



මේ දිනවල “විසේකාරී”‍ ටෙලිනාට්‍ය ඔස්සේ ඔබගේ ආලින්දයට පැමිණෙන විසේකාරයා ඔහුයි. පුංචි තිරයේ මෙන්ම රිදී තිරයේද දස්කම් දක්වන ඔහු, කලා ලෝකයට නැතිවම බැරි තරුවකි. අද හදසර කතාබහ “ප්‍රොෆෙසර් චේතියගේ”‍ චරිතය ඔස්සේ විශාල රසික ආකර්ෂණයක් දිනාගත් රංගන ශිල්පී “අමිල කරුණානායක”‍ සමඟයි.


අමිල... කොහොමද මේ දවස්වල වැඩ කටයුතු?

මේ දවස්වල චිත්‍රපට කිහිපයකට ආරාධනා ලැබිලා තියෙනවා. ඒවායේ රූගත කිරීම් සඳහා සූදානම් වෙමින් සිටිනවා. ඒ වගේම මේ දිනවල ”‍විසේකාරී”‍ටෙලි නාට්‍යයේ රූගත කිරීම්වලටත් සම්බන්ධ වෙනවා. ඊට අමතරව මගේම ව්‍යාපාරයක් කරගෙන යනවා. ඒ Cloth Brand එකක්. ඉතින් ව්‍යාපාර වැඩත් තියෙනවා.


මේ දවස්වල ගොඩක් බැණුම් අහනවා නේද?

ඔව්... විසේකාරී ටෙලිනාට්‍යයේ “ප්‍රොෆෙසර් චේතියගේ”‍ චරිතයට ලැබෙන ප්‍රතිචාර විදිහට ගොඩක් බැණුම් අහන්න සිද්ධ වෙලා තියෙනවා. ඇත්තටම මම “ප්‍රොෆෙසර් චේතියගේ” චරිතය භාරගත්තෙ අභියෝගයක් විදිහට. මේක කළු චරිතයක් විදිහට ප්‍රේක්ෂකයන් අතරට යන්න ලැබුණු අවස්ථාවක්. මම හිතන විදිහට ඒ චරිතය මම සාර්ථකව කරන නිසා තමයි බැණුම් අහන්න වෙලා තියෙන්නෙ. මට වඩාත් වැදගත් වෙන්නෙ මම කරන චරිතයට සාධාරණයක් කරමින් ඒක සාර්ථකව කරන එක. මට ප්‍රොෆෙසර් චේතියගේ චරිතය වෙනුවෙන් සමාජ මාධ්‍යයෙන් පවා විවිධ ප්‍රතිචාර ලැබෙනවා. ප්‍රේක්ෂකයා බණින්නෙ ප්‍රොෆෙසර් චේතිය කියන චරිතයට මිසක් සැබෑ ජීවිතයේ ඉන්න අමිල කරුණානායකට නෙවෙයි කියලා මම විශ්වාස කරනවා.


“ප්‍රොෆෙසර් චේතිය”‍ ගැන අදහසක් දක්වමු?

“ප්‍රොෆෙසර් චේතිය”‍ කියන චරිතය ගොඩනගලා තියෙන්නෙ කළු චරිතයක් විදිහටයි. ඔහු ගොඩක් ගෑනු ළමයින්ට ආසා කරන, ගෑනු ළමයින්ට බොරු කරන, සෙල්ලක්කාර චරිතයක්. කතාවේ ඉදිරියේදී දැනගන්න පුළුවන් ඇයි ඔහු එහෙම හැසිරෙන්නෙ, ඒකට හේතු මොනවද කියන කාරණාව. ඇත්තටම මම “ප්‍රොෆෙසර් චේතිය”‍ වගේ චරිත ඕනෑ තරම් සමාජයේ දැකලා තියෙනවා. ඒ වගේ පුද්ගලයන් නිසා කරදරයට හිරිහැරවලට පත්වුණු ගැහැනු ළමයි ගැන ඕනෑ තරම් සිදුවීම් තියෙනවා.


“විසේකාරී”‍ ටෙලිනාට්‍ය ගැන ඔයාගේ අදහස මොන වගේද?

මේ වෙනකොට විසේකාරී ටෙලිනාට්‍ය Trending වෙලා තියෙනවා. ප්‍රේක්ෂකයන් ඉතාම ආදරයෙන් වැළඳගත්ත ටෙලිනාට්‍යයක් විදියට තමයි මම දකින්නෙ. මේ නාට්‍ය තාරුණ්‍යයේ ජීවන රටාව, තාරුණ්‍යයේ හැඟීම් එක්ක බැඳුණු කතාවක්. ඇත්තටම අද සමාජයේ දකින්න ලැබෙන දේවල් තමයි මේ කතාවේ අන්තර්ගත වෙලා තියෙන්නෙ. පවුලක් ඇතුළේ තියෙන ආදරය, දරුවන් එක්ක ගත කරන ජීවිතය, ඒ වගේම විවිධ පසුබිම්වලින් එන විවිධ පුද්ගලයන්ගේ චරිත අභ්‍යන්තරයට ගිහිල්ලා ඒ චරිත හරි අපූරුවට මේ නාට්‍ය තුළින් විදහා දක්වලා තියෙනවා. ඒ වගේම කපටි, අවස්ථාවාදී මිනිසුන් ගැන මේ කතාවෙන් පැහැදිලි කරනවා. අපිට සැබෑ ජීවිතයේදිත් මේ වගේ පුද්ගලයන් ඕනෑ තරම් හම්බවෙන්න පුළුවන්. ඒ වගේම තාරුණ්‍යයේ ආදරය, මිත්‍රත්වය වගේ දේවලු‍ත් මේ කතාව ඇතුළෙ තියෙනවා. ඉතින් මේ හැමදේම එක්ක ඉතාමත් ආකර්ෂණීය විදිහට මේ නාට්‍ය නිර්මාණය කරලා තියෙන නිසා බොහොමයක් තරුණ පරපුර තමයි “විසේකාරී”‍ හරි ආදරෙන් වැළඳ ගත්තෙ.


“ප්‍රොෆෙසර් චේතියට” සාපේක්ෂව, අමිල කරුණානායකගේ පවුල් ජීවිතය හාත්පසින්ම වෙනස්. අපි ඔයාගේ ජීවිතය ගැන කතා කරමු?

මගේ පෞද්ගලික ජීවිතය ගත්තොත් මම විවාහකයි. මගේ බිරිඳ ඉංජිනේරුවරියක්. මට දුවයි පුතයි ඉන්නවා. මගේ පවුල ගත්තොත් දරුවෝ දෙන්නත් එක්ක අපි ගොඩක් ආදරයෙන්, සතුටින්, සහයෝගයෙන් ජීවත් වෙනවා. මගේ කලා කටයුතුවලටත් මගේ බිරිඳගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. පෞද්ගලික ජීවිතයේ මම මගේ පවුලට ගොඩක් ආදරය කරන, මුල් තැන දෙන කෙනෙක්.


ඔයාට ආදරය ගැන තියෙන්නෙ මොන වගේ අදහසක්ද? ආදරය දැනෙන්නෙ කොහොමද?

ආදරය ලබන්නත් වාසනාවන්ත වෙන්න ඕනෑ. මම හිතන විදිහට ආදරය කියන්නෙ ජීවිතයට අත්‍යවශ්‍ය දෙයක්. ආදරය නිසා අපේ අරමුණු, බලාපොරොත්තුවලට උත්තේජනයක් ලැබෙනවා. එකිනෙකාව දරාගෙන එකිනෙකාගේ ජීවිතයට හයියක් වෙලා ආදරයෙන් ඉදිරියට යන ගමන ඇත්තටම සුන්දරයි. ජීවිතය සුන්දර කරන්න ආදරය කියන දේ වුවමනාමයි. අපිට ආදරය ලැබෙනකොට තමයි ජීවත් වෙලා ඉන්නවා කියලා හරියටම දැනෙන්නෙ.


අමිල පුංචි තිරයේ වගේම රිදී තිරයෙත් දක්ෂතා දක්වපු කෙනෙක්. අපි සිනමා ජීවිතය ගැන කතා කරමු?

මුලින්ම නිරූපණ ක්ෂේත්‍රයේ, නිරූපණ ශිල්පියෙක් ලෙස කටයුතු කරලා තමයි මම රංගන ක්ෂේත්‍රයට පිවිසුණේ. මේ වනවිට මම චිත්‍රපට දහයකට පමණ රංගනයෙන් දායක වෙලා තියෙනවා. ළඟදී “කම්බිලි” චිත්‍රපටය දින සියයක් දක්වා තිරගත වුණා. “කබඩි” චිත්‍රපටයත් ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැළඳ ගත්තා. ඇත්තටම මට සිනමා නිර්මාණ තමයි වැඩිපුර ලැබුණේ. ටෙලිනාට්‍ය කිහිපයකට රංගනයෙන් දායක වුණා. නමුත් මම ගොඩක් බැඳිලා හිටියේ සිනමාවත් එක්ක.

වර්තමානයේ කාර්යබහුල ජීවිතයත් එක්ක ප්‍රේක්ෂකයන්ට ඔවුන් ආසා වුණත් සිනමා ශාලාවකට ගිහින් චිත්‍රපටයක් බලන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙනවා. ඊට සාපේක්ෂව ප්‍රේක්ෂකයන් රූපවාහිනියත් එක්ක සම්බන්ධ වෙන ප්‍රමාණය වැඩියි කියලා හිතෙනවා. විසේකාරී ටෙලිනාට්‍යත් එක්ක මම අත්දැකීමෙන් දැකපු දෙයක් තමයි, ශ්‍රී ලංකාවේ සිනමාවට වඩා රූපවාහිනී ටෙලිනාට්‍ය තුළින් පහසුවෙන් ප්‍රේක්ෂකයන් අතරට යන්න පුළුවන් කියන කාරණාව. මොකද මට මෙතෙක් කල් නොලැබුණු ප්‍රේක්ෂක ආදරයක්, ප්‍රතිචාරයක් මේ ටෙලිනාට්‍ය හරහා ලැබුණා කිව්වොත් මම නිවැරදියි.


රූගත කිරීම්වලදී සිදුවුණු රසවත් සිදුවීම් එහෙම ඇති. ඒ ගැනත් මතක් කළොත්?

“කබඩි”‍ චිත්‍රපටය රූගත කිරීම්වලදී ගාල්ල ලයිට් හවුස් එකේ තට්ටු පහක් උඩ ඉඳලා බිමට පනින දර්ශනයක් රූගත කරන්න තිබුණා. මටයි සෙනාලි ෆොන්සේකාටයි තමයි ඒ දර්ශනය කරන්න තිබුණේ. ඒ අවස්ථාව රූගත කිරීමේදී අපේ ආරක්ෂාවට පහළ දැලක් දාලා තිබුණා. අපි උඩ ඉඳන් බලනකොට ඒ දැල හරියට දාලා තිබුණේ නෑ. අපි ඒකට පැන්නා නම් අපිට බම්ප් වෙලා ගිහින් ඉස්සරහ බිත්තියේ වැදිලා ජීවිත හානියක් වුණත් සිදු වෙන්න තිබුණා.

අපි කට්ටියත් එක්ක එකතු වෙලා පහළට ගිහින් ආරක්ෂාකාරීව අදාළ ස්ථානය හදලා තමයි අපේ දර්ශනය රූගත කළේ. මට ඒ අවස්ථාව කවදාවත් අමතක වෙන්නෙ නැහැ. පොඩි හරි අත්වැරදීමකින් විශාල හානියක් සිදුවෙන්න තිබුණු අවස්ථාවක් ඒක. නමුත් රංගනයට තිබුණු ආදරය නිසා මමත් සෙනාලි ෆොන්සේකාත් එම අවස්ථාවට මුහුණ දුන්නා.


මෙතෙක් කල් ආපු ගමනේ ඔබට මුහුණ දීමට සිදුවුණු අභියෝග මොනවද?

කලින් කිව්වා වගේ නිරූපණය ශිල්පියෙක් විදිහට තමයි මම මේ ගමන ආරම්භ කළේ. අවුරුදු දහයක් පමණ මම නිරූපණ ක්ෂේත්‍රයත් සමඟ ඉතාමත් තදින් බැඳිලා හිටියා. නිරූපණ ක්ෂේත්‍රයේ ඉඳලා රංගන ශිල්පියෙකු විදිහට හැඩගැසීමට සිදුවීම තමයි මට තිබුණු ලොකුම අභියෝගය. නිරූපණ ක්ෂේත්‍රය සහ රංගන ක්ෂේත්‍රය කියන්නෙ වෙනස්ම කලාවන් දෙකක්.

රංගනය ශිල්පියෙක් විදිහට අපිට ලැබෙන චරිතයට උපරිම සාධාරණයක් කරන්න උවමනායි. ඒ චරිතය රසිකයන්ගේ හදවත් තුළ ජීවත් වන, ජීවමාන චරිතයක් විදිහට ප්‍රේක්ෂකයන්ට දෙන්න ඕනෑ. එහෙම නොවුණොත් ඒක ප්‍රේක්ෂකයාට කරන ලොකු අසාධාරණයක්. රංගන ශිල්පියෙක් විදිහට හැඩගැහෙන්න මට ටික කාලයක් ගත වුණා සහ මම ඒක ලොකු අභියෝගයක් විදිහට දකිනවා.


අමිලගේ අනාගත සැලසුම් හා බලාපොරොත්තු මොනවද?

මගේ ලොකුම බලාපොරොත්තුව තමයි හොඳ සිනමා නිර්මාණවලට දායක වෙලා හොඳ චරිත ඔස්සේ ප්‍රේක්ෂකයන්ගේ ආදරය, ආකර්ෂණය දිනාගන්න එක. ඒ වගේම මගේ ජීවිතේ තව ලොකු අරමුණක් තිබෙනවා. ඒ මගේ ව්‍යාපාරය “ADetail” කියන Clothe Brand එක දියුණු කරලා ලංකාව වටේම මේ ඇඳුම් බෙදාහැරීම. ඒ වගේම මගේ පවුල එක්ක සතුටින්, ජීවිතය ගත කරන්න බලාපොරොත්තු වෙනවා.


• මංගලා පවිත්‍රානි



Previous Post Next Post