ගමෙන් කොළඹට ආවේ ගායිකාවක් වෙන්න, අවසානයේ නිළියක් වුණා - සුජානි මධුවන්ති

 



කෝලම් කුට්ටම ටෙලිනාට්‍යයෙන් රංගන ක්ෂේත්‍රයට පිවිසුන සුජානි මධුවන්ති පිරිමි ළමයි ටෙලිනාට්‍යයේ දිල්හාරා විදිහට මේ දවස්වල ප්‍රේක්ෂකයො අතරට ඇවිත් ඉන්නවා. ඉතින් සුජානිගේ රංගන හැකියාව ගැන ප්‍රේක්ෂකයො මේ දවස්වල කතාබහ වෙන නිසා අපි හිතුවා කෙටි කාලයකින් රටම දන්න ප්‍රසිද්ධ නිළියක් වීම ගැන සුජානි එක්ක කතා කරන්න.




පිරිමි ළමයි සුජානිගේ කීවෙනි ටෙලිනාට්‍යයද?




මුලින්ම මම රඟපෑවේ කෝලම් කුට්ටම ටෙලිනාට්‍යයේ. ඊටපස්සෙ නීල පබළු ටෙලිනාට්‍යයේ රඟපෑවා. මේ වෙද්දී තුන්වෙනියට රඟපාන ටෙලිනාට්‍යය තමයි පිරිමි ළමයි.








දිල්හාරා විදිහට රඟපාන අත්දැකීම කොහොමද?




කෝලම් කුට්ටම ටෙලිනාට්‍යය තිර රචනය කරපු සද්ධාමංගල සූරියබණ්ඩාර සර් සහ අධ්‍යක්ෂ ජයප්‍රකාශ් ශිවගුරුනාදන් සර් තමයි පිරිමි ළමයි ටෙලිනාට්‍යයේ නිර්මාණකරුවෝ වෙන්නේ. ඉතින් සද්ධාමංගල සර් සහ ශිවගුරුනාදන් සර් මට රඟපාන්න දීපු දිල්හාරා අඩු කුලේ පවුලක ඉපදිලා වලව්වේ පුංචි මහත්තයට ආදරේ කරලා ඒ ආදරේ අහිමිවීමත් එක්ක හතුරියක් විදිහට ඉස්මතුවෙලා පුංචි මහත්තයව අයිති කරගන්න හදන දුෂ්ට චරිතයක්. මේ තාක් රඟපාලා නැති වගේම මගේ රංගන හැකියාව හොඳට පෙන්නන්න පුළුවන් වුණ චරිතයක් තමයි දිල්හාරා කියන්නේ.




දිල්හාරට ලැබෙන ප්‍රතිචාර කොහොමද?




දේවින්දගෙයි සෙනුරිගෙයි මැද්දට හතුරියක් විදිහට එන හින්දා ප්‍රේක්ෂකයොන්ගෙන් මට වැඩිපුර බැනුම් තමයි අහන්න ලැබෙන්නේ. දිල්හාරාගේ චරිතය ඇත්ත විදිහට ප්‍රේක්ෂකයන්ට දැනෙන්න රඟපාන නිසා වෙන්න ඇති බනින්නේ. බැනුම් අහන්න අහන්න මට ගොඩක් සතුටුයි. චරිතයට බනිනකොට මම කරන රංගනය සාර්ථකයි කියලා මට දැනෙනවා.








සුජානි ජුරාලියා ටෙලිනාට්‍යයේ ශෙනායා විදිහටත් මේ දවස්වල රගපානවා..




සුපුන් රත්නායක අධ්‍යක්ෂණය කරන ජුරාලියා ටෙලිනාට්‍යයේ ශෙනායාගේ චරිතයෙනුත් ප්‍රේක්ෂකයො අතරට මේ දවස්වල ඇවිත් ඉන්නවා. කොල්ලෙක්ගෙ හැසිරීම තියන කෙල්ලෙක්ගෙ චරිතයක් තමයි ශෙනායා කියන්නෙ. වෙනස් විදිහෙ රංගනයක් නිසා මම තාම ශෙනායගේ චරිතයට හරියට හුරු වෙලා නැහැ. ශෙනායා ගැන තව අධ්‍යයනය කරලා ඉදිරියේදි මීට වැඩිය හොඳට රඟපාන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.




මේ ගෙවෙන්නෙ සුජානිගේ හොඳම කාලයද?




අවුරුදු කීපයකට කලින් උපන් ගම වන ගිරිඋල්ලේ ඉඳලා කොළඹ ආවේ නිළියක් වෙන්න නෙමෙයි. ගායිකාවක් වෙන්න හිතාගෙන. හැබැයි අහම්බෙන් මට නිළියක් වෙන්න අවස්ථාව ලැබුණා. නිළියක් වුණේ අහම්බෙන් වුණාට මම සද්ධාමංගල සර්ගේ impas රංගන ආයතනයට සම්බන්ධවෙලා රංගනය හැදෑරුවා. ඉතින් ඒ හැදෑරීම නිසා දිගින් දිගටම ටෙලිනාට්‍යවලින් ආරාධනා ලැබුණා. ක්ෂේත්‍රයට ඇවිත් එකපාර නොපෙනී නොයා දිගටම නිර්මාණවලින් ප්‍රේක්ෂකයො අතරට එන නිසා මේ ගෙවෙන්නෙ මගේ හොඳම කාලය වෙන්න ඇති කියලා හිතනවා.








නිළියක් වුණ එක ගැන පවුලේ අය මොකද කියන්නේ?




පවුලේ ඉන්නේ අම්මයි මමයි විතරයි. මම පුංචිකාලෙදී තාත්තා නැති වුණා. අම්මා තමයි මගේ ලෝකය. ඉතින් මම ටෙලිනාට්‍යවල රඟපානවා දැකලා අම්මා ගොඩක් සතුටු වෙනවා.




ගායිකාවක් වෙන හීනය අතෑරලද?




රංගන ක්ෂේත්‍රයට එන්න කලින් මම ප්‍රසිද්ධ ගායන රියැලිටි තරගයක තරගකාරණියක් විදිහට තරගවැදුණා. ගායිකාවක් විදිහට ඒ හරහා තමයි මාව මුලින්ම විශාල ප්‍රේක්ෂක පිරිසක් අඳුරගත්තේ. රංගන ක්ෂේත්‍රයට එන්න අවස්ථාව ලැබීමත් එක්ක ගායනයට වෙන් කරන්න කාලය මදි වුණා. හැබැයි මම ගායිකාවක් වෙන හීනය අතෑරලා නැහැ. ඉදිරියෙදී කාලය හදාගෙන නිළියක් විදිහට වගේම ගායිකාවක් විදිහටත් ප්‍රේක්ෂකයෝ අතරට එන්න බලාපොරොත්තු වෙනවා.




ගමක හැදුණ නිසාද ලස්සන රූපයක් තියෙන්නේ?




දකින ගොඩක්දෙනා කියනවා මට තියෙන්නෙ ගැමි පෙනුමක් කියලා. ඉතින් ගමක හැදුන වැඩුණ නිසා ගැමි පෙනුම මට එන්න ඇති. හැබැයි මගේ රූපයට ගොඩක් බලපාන්න ඇත්තේ අම්මගේ ලස්සන කියලයි මම හිතන්නේ. ඒ ලස්සන පවත්වගෙන යන්න මේ දවස්වල රූපලාවණ්‍ය සත්කාර කරලා ව්‍යායාම කරලා ඇඟ හැඩට හදනවා.








විලාසිතා කරන්න කැමැති කොහොමද?




එකම විදිහෙ විලාසිතාවලට කොටුවෙන්නෙ නැතුව විවිධත්වයත් ඇතුව විලාසිතා කරන්න මම වැඩිපුර කැමැතියි. ඒ නිසා අලුත් විදිහෙ විලාසිතා නිතරම අනුගමනය කරනවා.




සැබෑ ජීවිතයේදි මොනවගේ කෙනෙක්ද?




සැබෑ ජීවිතයේදී මම එච්චර අහිංසක කෙනෙක් නෙමෙයි. මාත් එක්ක හොඳින් ඉන්න අයත් එක්ක හොඳින් ඉන්නවා. ඒ වගේම මාත් එක්ක නපුරුකමින් ඉන්න අයත් එක්ක මාත් නපුරුයි.








ආදරය ගැන අදහස මොකක්ද?




ආදරය හරි සුන්දර දෙයක්. ආදරය විඳින්න වගේම ආදරය දෙන්න මම හරි කැමැතියි. හැබැයි වැරදි කෙනාට ආදරය කළොත් ජීවිතය අපායක් වෙනවා. ඒ නිසා හදිස්සි වෙන්නෙ නැතුව හොඳට කල්පනා කරලා බලලා ආදරය කරන්න ඕන.




මේ වෙද්දී ආදරය විඳිනවද?




මම තාම තනිකඩයි. මම ආදරේදී උස කොට සුදු කළු බලන්නෙ නැහැ. මටයි අම්මටයි ආදරේ කරන ගුණයහපත් හොඳ පිරිමි ළමයෙක් නම් පෙම්වතා වෙන්න සුදුසුයි.



Previous Post Next Post