“කාසි වාසි” පිටපත ලියද්දී ගිරිරාජ් කෞශල්‍ය නම් ඔබේ පියාගේ හිතේ ඒ චරිතයට ගොඩනැගිලා තිබුණේ අමන්ද්යාමද?
පිටපත ලියද්දී තාත්තාගේ හිතේ එහෙම අදහසක් තිබුණාද කියලනම් මම හරියටම දන්නෙ නැහැ.
තාත්තා ඒ පිටපත ලියද්දි අමන්ද්‍යා එක්ක පිටපත ගැන කතා කළාද?
”කාසි වාසි” පිටපත ලියද්දී මට තාත්තා එක්ක ඒ ගැන කතා කරන්න ලොකු අවස්ථාවක් ලැබුණේ නැහැ. තාත්තාත් ටිකක් අසනීප තත්ත්වයෙන් හිටපු කාලයේදී තමයි මේ පිටපත ලිව්වෙ. ඒ වෙද්දි මමත් ටිකක් කාර්යබහුල වුණා. ඒ හින්දම ඇත්තටම මට පිටපත සම්පූර්ණයෙන්ම කියවන්න ලැබුණේ නැහැ. ඊට පෙර තාත්තා ලියපු පිටපත් මම මුල ඉඳන් අගටම කියවලා තිබුණා. හැබැයි මේ පිටපත මට කියවන්න ලැබුණේ නැහැ. අඩුම ගාණේ ඒ පිටපත ගැන මාත් එක්ක තාත්තාට කතා කරන්න ලැබුණෙත් නැහැ.
ගායිකාවක් වුණු ඔබට රංගන ශිල්පිනියක් වීම අභියෝගයක් වුණාද?
රංගනය කියන්නෙ පුංචි කාලේ ඉඳන්ම, පාසල් කාලේ ඉඳන්ම මම කරපු දෙයක්. පාසල් කාලයේදී රංගනයට සමස්ත ලංකා තරගවලින් මම “හොඳම නිළිය” සම්මාන පවා ලබා තියෙනවා. හැබැයි 2021 අවුරුද්දෙ පුංචි තිරයට එන්න මට අවස්ථාව ලැබුණේ ජයප්‍රකාශ් සිවගුරුනාදන් මහතාගේ “නාඩගම්කාරයෝ” නාට්‍ය ඔස්සේ. ඒක ඉතාම සුළු චරිතයක්. ඊට පස්සෙ සිවා අංකල් අධ්‍යක්ෂණය කළ “key” ටෙලිනාට්‍යයෙත් රඟපාන්න අවස්ථාව ලැබුණා. ඒකෙදි මට රංගනය පිළිබඳ බොහෝ දේවල් ඉගෙන ගන්න අවස්ථාව ලැබුණා. ඒක ඇත්තටම මට සුවිශේෂී අවස්ථාවක්. ඒ නිසා “කාසි වාසි” රඟපාද්දී රංගනය මට ලොකු අභියෝගයක් වුණේ නැහැ.
ජයප්‍රකාශ් සිවගුරුනාදන් මොන වගේ අධ්‍යක්ෂවරයෙක්ද?
ජයප්‍රකාශ් සිවගුරුනාදන් මහතා ඇත්තටම හරිම හොඳ අධ්යක්ෂවරයෙක්. නළුවෙකුට, නිළියකට රඟපානකොට ඒ කෙනාව පීඩනයකට පත් කරන්නෙ නැතුව තමන්ට හැකි විදිහට, තමන්ට හිතෙන විදිහට, තමන්ගේ දෙයක් උත්සාහ කරලා බලන්න පුළුවන් විදිහට අවස්ථාව ලබා දෙන අධ්යක්ෂවරයෙක්. හැබැයි ඒ කරන දේ අඩුපාඩුවක් තියෙනවනම්, එහෙම නැත්නම් යමක් තව එකතු කරන්න තියෙනවනම් ඔහු හෙමිහිට ළඟට ඇවිත් “පුතේ මෙහෙම කළොත් හොඳයි නේද?” කියලා කියනවා. ඒකත් ඉතාම වැදගත් විදිහට කරන්නෙ. ඔහු එක්ක වැඩ කරන්න හරිම පහසුයි.
“කාසි වාසි” රූගත කිරීම් කරද්දී ලබපු අත්දැකීම් කොහොමද?
“කාසි වාසි” චිත්‍රපටයේ මට වැඩි වශයෙන් රඟපාන්න දායක වෙන්න ලැබුණේ තාත්තා එක්කමයි. නිර්මාණයේ මගේ තාත්තා විදියට රඟපෑවේ මගේ තාත්තමයි. අම්මා විදිහට ලක්ෂ්මි දමයන්ති ඇන්ටි රඟපෑවා. රංගනයෙන් දායක වුණු හැමෝම මම පොඩි කාලේ ඉඳන්ම දන්න අයයි. ඒ නිසා ආගන්තුක බවක් ඇතිවුණේ නැහැ. තාත්තා එක්ක රඟපාද්දි සමහර තැන්වලදී තාත්තා කරන්න ඕනෑ විදිහ කියලා දුන්නා. ඒක හරි සුන්දර අත්දැකීමක්. සංගීත් ප්රභූවත් මම ”නාඩගම්කාරයෝ” නාට්‍යයේ ඉඳන් දන්නවා. සංගීත් මගේ ජීවිතයට සමීප යාළුවෙක්. ඒ නිසා සංගීත් එක්ක ආදර ජවනිකාවක් කරන්න ලැජ්ජාවක්, අපහසුතාවයක් දැනුණේ නැහැ.
අමතක නොවන සිදුවීම් එහෙමත් වෙලා ඇති?
මේ චිත්‍රපටයේ මට පාපැදියක් පදින්න තියෙනවා. ඊට පෙර මම බයිසිකල් පැදලා තිබුණේ නැහැ. චිත්‍රපටය රූපගත කරන්න කලින්ම ගෙදරට බයිසිකලයක් ගෙනත් දීලා තිබුණා. මම ඒකෙන් පාරේ වැටි වැටී පුරුදු වුණා. රූගත කිරීම් ආරම්භ කළාට පස්සෙ සංගීත් එක්කත් පුරුදු වුණා. මාලබේ හන්දියේ සංගීත්වත් බයිසිකලේ ඉස්සරහ තියාගෙන මම බයිසිකල් පදින්න පුරුදු වුණා. ඒක හරිම සුන්දර අත්දැකීමක්. හැබැයි පදින බයිසිකලයකට සංගීත් දුවලා ඇවිත් නගින දර්ශනයක් තියෙනවා. ඒක රූගත කිරීම් කරද්දී සංගීත් දුවලා ඇවිල්ලා මගේ බයිසිකලයට නැගලා ටිකක් ඉස්සරහට යද්දිම දෙන්නත් එක්කම බයිසිකලේ බිමට පෙරළුණා. ඒක නම් අමතක වෙන්නෙ නැහැ.
තාත්තා එක්ක රඟපාද්දී ලැබුණු අත්දැකීම් කොහොමද?
තාත්තා එක්ක රඟපාද්දී තාත්තා මට බොහෝ දේවල් කියලා දුන්නා. හැබැයි පොඩි තිගැස්මකුත් තිබුණා. අපේ තාත්තා හරිම පිළිවෙළයි. දර්ශන තලයට ආවට පස්සෙ ඉන්න ඕනෑ පිළිවෙළ තාත්තා මට කියා දීලා තිබුණා. ඒ නිසා තාත්තා මාත් එක්ක කේන්ති යාවිදෝ කියලත් හිතුණා. හැබැයි එහෙම වුණේ නැහැ. මම හොඳ ළමයෙක් වගේ දර්ශන තලයේ හිටියා.
චිත්‍රපටයේ ගීතය අමන්ද්‍යා ගායනා කළේ සජිත ඇන්තනී එක්කයි. ඒ අවස්ථාව ගැන කියන්න?
ඔව්... ඒකත් මගේ ජීවිතේ විශේෂ අවස්ථාවක්. නාඩගම්කාරයෝ කරන කාලේ ඉඳන් සජිත ඇන්තනී එක්ක ගීතයක් කරන්න මට අදහසක් තිබුණා. ඒ ගැන අපි දෙන්නා කතා වෙලත් හිටියා. දෙන්නම ඉතාම කාර්යබහුලව හිටපු නිසා ඒකට අවස්ථාවක් ලැබුණේ නැහැ. කොහොම හරි පහුගිය කාලයේදී එක්තරා රූපවාහිනී වැඩසටහනකදී අපි දෙන්නාගේ සින්දුවක් අහන්න ඕනෑ කියලා බොහෝ දෙනාගේ ඉල්ලීම් තිබුණා. මේ චිත්‍රපටයේ ගීතය සජිත අයියටයි මටයි ගායනා කරන්න අවස්ථාව ලැබුණා. ඒක ඉතාම විශේෂයි. ගීතය පද රචනාව සහ සංගීතය කරපු අචල සොලමන් අයියව ආදරයෙන් මතක් කරනවා. මේක වෙනස් ශබ්ද ටිකක් ඇහෙන හරි වෙනස් සිංදුවක්. දැනටමත් “ජීවිතේ බයිසිකලේ” ගීතයට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. සින්දුව අපි දෙන්නා ගායනා කළේ රඟපාමින්. ඒකත් හරි විශේෂයි.
“කාසි වාසි” චිත්‍රපටය මුලින්ම නරඹද්දි මොකද හිතුණේ?
මුලින්ම මාව ප්‍රධාන චරිතයකින් පුළුල් තිරයේ දකිද්දි ඒ අත්දැකීම හරිම වෙනස්. හිතට හරි සතුටක්, පුංචි ආඩම්බරකමක් දැනුණා. ඒක වචනයෙන් “මෙහෙමයි” කියලා කියන්න බැහැ. ඒ අවස්ථාව මට ලබා දුන්න ජයප්‍රකාශ් සිවගුරුනාදන් මහතාට ගොඩක් ස්තූති කරනවා. මගේ ජීවිතේ බොහෝ හැරවුම් තැන්වලදී සිවා අංකල් මගේ ළඟ හිටියා. රැජිනට ඇන්දා ගීතය රූප රචනාවක් බවට පත් කරන්නෙත් ඔහුගේ අතින්.
ඉදිරියේදී අමන්ද්‍යා පූර්ණ කාලීනව ගායිකාවක් වෙයිද? රංගන ශිල්පිනියක් වෙයිද?
ඉදිරියේදී මම එකම එක අංශයකට සීමා වෙන්න කැමති නැහැ. ප්‍රධානම වෘත්තිය විදිහට ගායිකාවක් ලෙසින් මම කටයුතු කරාවි. හැබැයි ඊට සමානවම රංගන ශිල්පිනියක් විදිහටත් කටයුතු කරන්න ඉතාම කැමතියි. ඒකට මම ආදරෙයි, ලෝබයි. මෙගා නොවන කලාත්මක ගණයේ නිර්මාණවලට ආරාධනා ලැබුණොත් ඉතාම ආදරයෙන් බාරගන්නවා. මේ වෙද්දි වේදිකා නාට්‍ය බොහොමයකට ආරාධනා ලැබුණා. නමුත් ඒ අතරේ තෝරා බේරාගෙන ඉතාම සීමිත සංඛ්‍යාවක් රඟපාන්න බලාපොරොත්තු වෙනවා. ඒ අතරින් ජයලත් මනෝරත්න මහතාගේ “අන්දරේලා” වේදිකා නාට්‍ය නැවත වතාවක් වේදිකාගත කරන්න සූදානමින් ඉන්නවා. ඒකෙ “අන්දරේවතී”ගේ චරිතය රඟපාන්න අවස්ථාව ලැබුණා. “රැජිනට ඇන්දා රජ කුමරිට ඇන්දා අන්දරේගේ පවුලට ඇන්දා” කියලා කිව්ව මට අන්දරේවතීට අඳින්නත් ඔන්න අවස්ථාව ලැබුණා.
• දිශානි ජයමාලි