වාණිජ සිනමාවේ චරිතයක් ලැබුණොත් මට එයත් කළ හැකියි -කලණ ගුණසේකර

 



රුව තිබූ පමණින්, කඩවසම් වූ පමණින් රංගන ශිල්පියෙක් විය නොහැකිය. රංගන ශිල්පියෙක් ලෙස වේදිකාවේ, ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ, සිනමාවේ කැපී පෙනෙන දක්ෂ භූමිකාවක් වීමට නම් රංගනය පිළිබඳ නිසි අධ්‍යයනයක් තිබිය යුතුයි. එවැනි අධ්‍යයනයක් සහිතව රංගන ක්ෂේත්‍රයට පිවිසුණහොත් තමන්ට ලැබෙන ඕනෑම චරිතයකට ආරූඪවීමේ හැකියාව පවතිනු ඇත.


තමාට ලැබෙන චරිතය මැනෙවින් හඳුනාගෙන චරිතයට දක්ෂ ලෙස පණපොවන සම්මානනීය තරුණ රංගන ශිල්පියෙක් ලෙස නම්දරා ඇති ඔහු කාහටත් කල්‍යාණ මිත්‍රයෙක් වූ කලණ ගුණසේකරයි.


2024 වසරේ 35 වන ලක්ස් සරසවිය සම්මාන උලළේදී 2020 ජනප්‍රිය නළුවා සම්මානය දිනාගත් ඔහු අපූරු චරිතයකි. සම්මානනීය රංගන ශිල්පියෙක් වුවත් එයින් හිස උදුම්මවා නොගත් ඔහු කා සමඟත් ඉතා සුහදශීලීව කටයුතු කරන තැනැත්තෙකි.


කලණ තමාගේ නවතම කලා තොරතුරු කතා කිරීමට සරසවිය සමඟ එක්වුවත් ඔහු මුලින්ම කතා කළේ තමන්ට ලැබුණ ජනප්‍රිය නළුවා සම්මානය (2020) ගැනයි.


සරසවිය සම්මානය මට ලැබුණ වෙලාවේ මට දැනුණේ ඔස්කාර් සම්මානය ලැබුණා වගේ. එතරම් සතුටුයි මට .ඒ තරමට වටිනා සම්මානයක් සරසවිය සම්මානය කියන්නේ.


ඉතාමත් ක්‍රියාශීලී චරිතයක් ගතකරන ඔහු, ඔහුටම ආවේණික වූ ශෛලියකින් සරසවිය කතාබහ ඇරඹුවේය.


ඇත්තටම පුදුම සතුටක් සහ ආඩම්බරයක් මට සරසවිය ජනප්‍රිය නළුවා සම්මානය ලැබුණ එක. මෙවරත් සරසවිය සම්මාන උලෙළ පවත්වනවා කියල ආරංචි වුණා. හරිම සතුටින් ඉන්නෙ සහභාගී වෙන්න. මම පුංචි කාලේ මුලින්ම දැකපු සම්මානය තමයි සරසවිය සම්මානය. ඉස්සර සරසවිය පුවත්පතේ මුල් කවරය හැඩවෙලා තිබුණා ගාමිණි ෆොන්සේකා, විජය කුමාරතුංග වැනි සිනමාවේ දැවැන්තයින්ගේ රූපයෙන සරසවිය සම්මානය දෝතට තුරුලු කරගෙන. ඉතින් එවැනි සම්මානයක් මටත් ලැබුණා කියන්නේ හිතාගන්න බැරි සතුටක් තමයි.


එදා මම හිතුවේ නැහැ මට ජනප්‍රිය නළුවා සම්මානය ලැබෙයි කියල. නමුත් එය ලැබුණා. 2020 වසරේ තිරගත වූ සූස්ති චිත්‍රපටය සඳහා විය යුතුයි මගේ නම ජනප්‍රිය නළුවා ලැයිස්තුවට ඇතුළත් වුණේ. සූස්ති චිත්‍රපටය කුෂාන් වීරරත්න අධ්‍යක්ෂණයක්. තිර රචනය මමත්, උදාර පල්ලියගුරු තමයි ලිව්වේ. මමත් සමඟ රංගනයෙන් දායක වුණේ සමනළී ෆොන්සේකා. සූස්ති ෆිල්ම් එක බොහෝ දෙනෙක් නරඹා තිබුණා. සම්මානය මට ලැබෙන්න ඇත්තේ ඒ හේතුව නිසා වෙන්න පුළුවන්.


කලණ ගුණසේකර යනු ඕනෑම රංගන පරාසයකට තම දක්ෂතාවය විහිදුවාලිය හැකි ශිල්පියෙක්. සම්භාව්‍ය, වාණිජ යනුවෙන් වර්ගීකරණයක් කිරීමට ඔහුට අවශ්‍ය නැත. ඕනෑම ආකාරයක චරිතයකට අනුගත වීමට කලණට හැකියාව ඇත. ඒ පිළිබඳ ඔහුගෙන් විමසූ විට කලණ එයට මෙසේ පිළිතුරු දුන්නේය.


දැන් මට ලැබෙන චරිතවල හැඩය අනුව වැඩි ප්‍රමාණයක් ලැබෙන්නේ කලාත්මක චරිත. සිනමාවේ සහ ටෙලි නාට්‍යවල. ඒත් පොදු වගේ ටෙලි නාට්‍යයක එහෙම වුණේ නැහැ. නළුවෙක් වුණාහම ඕනෑම රංගන පරාසයක චරිත කරන්න හැකියාව තිබිය යුතුයි කියල තමයි මම හිතන්නේ. වාණිජ සිනමාවේ චරිතයක් ලැබුණොත් මට එයත් කළ හැකියි. සටන් තියෙනවා නම් සටන් කරන්න පුළුවන්. මම මාෂල් ආර්ට් කරපු කෙනෙක්. ඒ වගේම නටන්නත් පුළුවන්. ඒ වගේ චරිතයක් ලැබුණොත් නටන්නත් හැකියාවක් තියෙනවා.


ඔහුගේ කතාව සත්‍යයකි. කලණ රඟපෑ ටෙලි නාට්‍ය, චිත්‍රපට දෙස බැලුවහොත් එම ප්‍රකාශය නිවැරැදිය.


පොදු, ත්‍රයිලෝක, කූඹියෝ, ගිනිඅවි සහ ගිනිකෙළි , අක්ෂි, අඩෝ, වන්වේ, විභාග ෆේල් රීකන්ඩිෂන් කෙල්ල, සීසෝ වැනි ටෙලිනාට්‍යද විය සිදුර, මෝටර් බයිසිකල්, වෙඩි නොවදින ළමයි, නයිට් රයිඩර්, රහස් කියන කඳු චිත්‍රපට එයට සාක්ෂි ලෙස පෙන්වා දියහැකිය. කලණ මෑතකදී තිරගත වූ සිහින නෙළුම් මල් චිත්‍රපටයෙන්ද ප්‍රේක්ෂකයාට දැකගත හැකිවිය. එහි අල්විස්ගේ චරිතයට පණපොවන්නේ කලණයි.


ඔව් මමත් රංගනයෙන් දායක වූ මෑතකදී තිරගත වූ චිත්‍රපටයක් තමයි සිහින නෙළුම් මල්. එය සමීර නාඹටුන්නගේ අධ්‍යක්ෂණයක්. එහි හේමාල් රණසිංහ සමඟ තමයි මට රංගනයෙ යෙදෙන්න තිබුණේ. අල්විස් කියන චරිතය මට පුළුවන් උපරිමයෙන් කළා. ලැබෙන දේට උපරිම සාධාරණයක් මම කරනවා.


කලණ ගුණසේකර රංගන ශිල්පියෙක් පමණක් නොවේ. ඔහු අධ්‍යක්ෂවරයෙක් සහ තිර රචකයෙක්. පිළියන්දල ප්‍රාථමික විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ කලණ තම ද්වීතික අධ්‍යාපනය ලබා ඇත්තේ පිළියන්දල මැදි විදුහලෙනි. කලාවට ඔහු යොමු වන්නේ මැදි විදුහලට පැමිණි ගමනේදීය.


පිළියන්දල මධ්‍ය විද්‍යාලයට ඇතුළත් වූ පසුව තමයි මම කලාවට යොමු වුණේ. එහිදී මට හමුවෙනවා හරි අපූරු ගුරුවරයෙක්. නාට්‍ය සහ රංග කලාව උගන්වපු ප්‍රේමකුමාර කරුණාරත්න මහතා. පාසැලේ මුතුහර ළමා සමාජයේත් මම කැපී පෙනෙන චරිතයක් වුණා. ප්‍රේමකුමාර සර්ගෙන් තමයි මම රංගනය පිළිබඳ හැදෑරුවේ. ඒ අතරේ මම යෞවන නාට්‍යවලත් රඟපෑවා. නඳුන් තත්තිම අල්විස් වැනි දක්ෂ ශිල්පීන් සමඟ.


කලණ සිනමාවට, ටෙලි නාට්‍ය රංගනයට පිවිසීමට පෙර ඔහු අඩිය තබන්නේ වේදිකාවටයි. දාස මල්ලිගේ බංගලාව, මං දියවෙලා, ඊගෝ නගරය, ග්ලැඩියේටර් ප්‍රේමය, ලේ නෑයා, මිස්ටර් ප්‍රසිඩන්ට් වැනි වේදිකා නාට්‍යවල කලණගේ දස්කම් ප්‍රේක්ෂකයන්ට දැකගත හැකිවිය.


ඒ අනුව ඔහු වේදිකාව, ටෙලිනාට්‍ය සහ සිනමාව යන ක්ෂේත්‍ර තුනෙහිම දස්කම් දක්වන්නෙක්. එසේ තුන් ආකාරයකින් රංගනයට පිවිසීම සෑම ශිල්පියෙක්ටම කළ නොහැකිය. එහෙත් කලණ ඒ සියල්ල හොඳීන් සමබරව කරගෙන යා හැකි ශිල්පියෙක්.


ඔහු රඟපෑ නවතම සිනමාපටයක විශේෂ දර්ශනයක් පසුගියදා පැවැත්විණි. ඒ මන්කිමෑන් චිත්‍රපටය. ඒ පිළිබඳ තොරතුරු ඔහු සරසවිය සමඟින් බෙදාහදා ගත්තේ මෙසේය.


මන්කිමෑන් කියන්නේ වෙනස්ම ආකාරයක චිත්‍රපටයක්. එය මේ වසරේ ප්‍රේක්ෂකයන්ට දැක බලාගන්න පුළුවන්. මන්කිමෑන් චිත්‍රපටයේ වීරයෙක් නැහැ, දුෂ්ටයෙක් නැහැ, ආදරය නැහැ. නමුත් සිංදු තියෙනවා. හාස්‍ය තියෙනවා. ඒකයි මම කියන්නේ වෙනස්ම ආකාරයක චිත්‍රපටයක් කියල. නමුත් මන්කිමෑන් සමාජයට හොඳ පණිවිඩයක් දෙනවා. වැඩි විස්තර නොකියා ඉන්න එක හොඳයි. මන්කිමෑන් දිහා බලලම තීරණ ගැනිම ඔබට බාරයි. මෙහි තිර රචනය මම සහ තරිඳු දේශප්‍රිය තමයි ලිව්වේ. ඔහු තමයි මන්කිමෑන් අධ්‍යක්ෂණය කළේ. වැඩි ප්‍රේක්ෂකයන් පිරිසක් මන්කිමෑන්ට ආදරය කරයි කියල හිතනවා.


බහුචිතවාදියා චිත්‍රපටය මීට වසර ගණනාවකට කලින් වැඩනිම වූ චිත්‍රපටයක්. එය මාලක දේවප්‍රියගේ අධ්‍යක්ෂණයක්. බහුචිතවාදියා තිරගතවීම ප්‍රමාදවීම ගැන කලණ මෙසේ තම අදහස පැවසුවේය.


මාලක දේවප්‍රියගේ බහුචිතවාදියා චිත්‍රපටය වැඩනිම කරල බොහෝ කල්. ඒත් තිරගත වුණේ නැහැ තාම. ඔහු වගේ කෙනෙක් පිටරටක හිටියා නම් තත්වය මීට වඩා වෙනස්. එහෙනම් මේ වනවිට මාලක චිත්‍රපට කිහිපයක් කරල. ඇත්තටම ඇයි එහෙම වෙන්නේ කියනදේට පිළිතුරක් දෙන්න තේරෙන්නේ නැහැ. සිංහල සිනමාවේ තරඟකාරීත්වයක් තියෙනවා. විවිධාකාරයේ චිත්‍රපට නිර්මාණය වුවත් ලංකාවේ සිනමා ආකෘතිය වෙනස් විය යුතුයි කියල මම හිතන්නේ. තරුණ පිරිසට නිර්මාණ කරන්න , ඔවුන්ගේ නිර්මාණවලට ඇඟයුමක් ලබා දෙන්න වටිනාකමක් ලබා දෙන්න කටයුතු කෙරෙනවා නම් වඩාත් හොඳයි.


සිනමාව කියන දේ කර්මාන්තයක් විය යුතුයි කියල තමයි මම කියන්නේ. එය කර්මාන්ත අමාත්‍යාංශය යටතට පත්වෙනවා නම් හොඳයි. රජය මේ ගැන අවධානය යොමු කළ යුතුයි. ඉන්දියාව වගේ සිනමාවක් පවත්වාගෙන යන්න. ඒ වගේ නිර්මාණ කරන්න අපටත් පුළුවන්. තරුණ පිරිසට වැඩියෙන් අවස්ථාව දෙන්න ඕන. ඔවුන් එක චිත්‍රපටයකට මුදල් යොදවල එය තිරගත කිරීමේදීත් බොහෝ ගැටලුවලට මුහුණ දෙන්න ඕන. එසේ වියයුතු නැහැ. ටෙලි නාට්‍යයක් නිර්මාණය කරන එකත් ලේසි පහසු කටයුත්තක් නෙවෙයි. එමනිසා ටෙලි නාට්‍ය, සිනමා නිර්මාණකරුවන් රැකගත යුතුයි. ලංකාවේ මේ සඳහා තිබෙන ක්‍රමවේදය අලුත්විය යුතුයි. එය දැන් පරණ මැෂින් එකක් වගේ. පරණ වීම නිසා එහෙන් මෙහෙන් කොටස් එක් කරල කරන්න පුළුවන් වැඩක් නෙවෙයි සිනමාව සහ ටෙලි නාට්‍ය කලාව. ඒ නිසා තරුණ නිර්මාණකරුවන් ආරක්ෂා කර ගැනීම රජය සතු යුතුකමක්.


තම අදහස් නිතරම සෘජුව පවසන තැනැත්තෙක් ලෙස කලණ ගුණසේකර රංගන ශිල්පියා හඳුන්වා දිය හැකිය. ඔහු තම අදහස් ප්‍රකාශ කරනුයේ තමන් ගැන පමණක් සිතා නොවේ. ඔහු තම අදහස්, මතවාද ඉදිරිපත් කරන්නේ සමස්ත නිර්මාණකරුවන් වෙනුවෙනි. කලණ සුපිරි චරිතයක් ලෙස හැසිරෙන චරිතයක් නොවේ. ඔහුගේ ගතිපැවතුම් සරලය. චාම්ය.


මේ දිනවල විකාශය වන රීකන්ඩිෂන් කෙල්ල ටෙලි නාට්‍යයේ කලණ පණපොවන්නේ වෛද්‍යවරයෙක්ගේ භූමිකාවටයි. ඔහු සමඟ රංගනයේ යෙදෙන්නේ ජනප්‍රිය නිළි යුරේනි නොෂිකා. රීකන්ඩිෂන් කෙල්ල පිළිබඳවත් කතා කිරීමට ඔහු අමතක නොකළේය.


රීකන්ඩිෂන් කෙල්ල හි දිනූ දුෂ්කර ගම්මානයක ජීවත් වෙන කෙල්ලක්. එහෙත් ඇය ලෝකය ගැන දන්නවා. ජංගම දුරකථනක් ළඟ තියෙනවා නම් ලෝකයේ ඕනෑම දෙයක් ලෙහෙසියෙන් දැනගන්න පුළුවන් . අවශ්‍ය සිග්නල් පමණයි. ඇය ජීවත් වෙන්නේ සමාජ මාධ්‍ය සමඟ. ඇයට අවශ්‍ය


කරන්නේ කොළඹ කේන්ද්‍රීය වූ ජීවන රටාවකට හැඩ ගැසෙන්න. කිසිම කෙනෙක්ට ඇය යන ගමනට හරස් වෙන්න පුළුවන් කමක් නැහැ. ආදරයට, සෙක්ස් වලට ඇයව නවත්වන්න බැහැ. දිනූ ආදරය කරන දොස්තරටවත් ඒක කරන්න බැහැ. වැඩි පිරිසක් රීකන්ඩිෂන් කෙල්ල නරඹනවා. ඒත් තවත් පිරිසක් ඉන්නවා ඒකට පොඩි අකමැත්තක් තියෙන. සංස්කෘතිය පිළිබඳ ප්‍රශ්නයක් ඔවුන්ට තියෙන්නේ. ඒත් ඒ නිර්මාණයේ පෙන්වන්නේ ඇත්ත.


රීකන්ඩිෂන් කෙල්ල ගැන කතා කරපු වෙලාවේ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ වත්මන් තත්වය ගැනත් කතා කරන්න ඕන. ටෙලි නාට්‍ය කලාව නම් කඩා නොවැටී කොහොම හරි පවත්වාගෙන යන බවක් පේනවා. ටෙලි නාට්‍යයේත් දෙවර්ගක් තියෙනවා. මෙගා සහ කලාත්මක වශයෙන්. මෙගා නාට්‍ය රැල්ල සතියේ දිනපහ තුළ විකාශය වෙනවා. සෙනසුරාදා සහ ඉරිදා දිනවල ටීවී චැනල්වල ගුණාත්මක බවින් උසස් නිර්මාණ විකාශය වෙනවා. ඒව කරගෙන යන්නේ අමාරුවෙන්. නිෂ්පාදකවරු අමාරුවේ. චැනල් ලාභ ලබන්නෙත් නැහැ. එහෙම කියල ඒ ආයතනවලට කරන්න දේකුත් නැහැ. ඔවුන්ට පුළුවන් මුදල් ප්‍රමාණය තමයි ඒ සඳහා වෙන්කරන්නේ. ඒ නිසා සිනමාවේත්, ටෙලිනාට්‍යයේත් නිෂ්පාදකයා රැක ගන්නත් අලුතින් ක්‍රමවේදයක් අවශ්‍යයි කියල මම නැවතත් කියනවා.


මින් පෙරත් සඳහන් කළා වගේ සිනමාකරුවා, නිෂ්පාදකයා රැකගත යුතුයි. හරි සැලස්මක් සකස් කරල ලාභ ලබන විදිහට මේවා සකස් කළ යුතුයි. එවිට ඉන්දියාවේ තෙළිඟු, මලයාලම්, හින්දි, දෙමළ චිත්‍රපටවලටත් වඩා දියුණුවට අපේ සිනමාව ඉදිරියට ගෙනියන්න පුළුවන් වෙයි. ඒ තත්වයට ගෙනියන්න පුළුවන් තරුණ සිනමා නිර්මාණකරුවන් මේ ලක්බිමේ ඉන්නවා.


කලණ කී දේ සත්‍යයක්. තරුණ නවක නිර්මාණකරුවාට ඉදිරියට ඒමට ඉඩහසර සැලසිය යුතුයි.


කලණ, දක්ෂ රංගනයක් තුළින් දියුණුව කරා යන ශිල්පියෙක්. අද මෙන්ම අනාගතයේදී විවිධ හැඩයන්ගෙන් යුත් චරිත තුළින් ප්‍රේක්ෂකයාට ඔහුව දැකගත හැකිවනු ඇත.


ගරා, 106, දිගුදුර මිසයිල මෙරයින් ඩ්‍රයිව්, සීගිරි, තම්බපණ්ණි, බහුචිතවාදියා, සිම්බා, මන්කිමෑන්, කලණ රඟපෑ ඉදිරියේදී තිරගත වීමට නියමිත එම චිත්‍රපට පොකුරයි.


එමෙන්ම මේ දිනවල විකාශය වන ටෙලි නාට්‍ය කිහිපයකද කලණගේ දක්ෂතා රසිකයන්ට දැකබලා ගතහැකිය. ගුණාත්මක ප්‍රේක්ෂකයන් උදෙසා ගුණාත්මක වැඩසටහන් පෙළක් ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය කිරීම ආරම්භ විය. ඒ යටතේ කලාත්මක ටෙලිනාට්‍ය පෙළක ආරම්භය සිදුවිය. අමුතු දොස්තර එහි ඉදිරියෙන් සිටින ටෙලි නාට්‍යයකි. කලණ ද අමුතු දොස්තර සමඟ සම්බන්ධ වී සිටී. එහි කලණ රංගනයෙන් මෙන්ම තේමා ගීතය රචනයෙන්ද දයක වී ඇත. ඔහු එහි මැරයෙක් ලෙස රංගනයේ යෙදෙයි. ඒ පිළිබඳ ඔහු දැක්වූ අදහස් මෙසේය.


අමුතු දොස්තර ටෙලි නාට්‍යය ටෙලි නාට්‍යයේ මැරයෙක් විදිහට තමයි රඟපාන්නේ. මම එහෙම චරිතයක් කරන්න හරි ආසාවෙන් බලාගෙන හිටියේ. කෝරළගේ සමන් මට හමු වූ අවස්ථාවක ඔහු මට මේ චරිතය ගැන කිව්වා. කෝරළගේ මගේ හොඳ මිත්‍රයෙක්. යාළුවොත් එක්ක වැඩ කරන්න අපි කවුරුත් කැමතියි. ඔහු මගෙන් ඇහුවාම බෑ නොකියා මම බාරගත්තා. කළු චරිතයක් මම කරන්නේ. මගේ සැබෑ ජීවිතයේදී එවැනි චරිතවලට අකමැති වුවත් රංගනයේදී ලැබෙන චරිත බාරගත යුතුයි.


විශේෂයෙන් සඳහන් කළ යුතුයි ජාතික රූපවාහිනිය ඔස්සේ අලුතින් විකාශය ආරම්භ වූ සීසෝ ටෙලි නාට්‍යය ගැන. ලොකු අවදානමක් අරගෙන කරපු රංගනයක්. අතුරේ යන මිනිසෙකුගේ චරිතයක්. මහ පොළොවේ ඉන්න අපි බොන රා ටිකේ, පැණි ටිකේ රස පමණයි අපට දැනෙන්නේ. ඒත් ඒ රස අපිට දෙන අතුරේ යන මනුස්සයා කොපමණ ජීවිත අවදානමක් ගන්නවාද. ඒක තේරුම් අරගන්න පුළුවන් අතුරේ යන කෙනෙක් පමණයි. මම එවැනි ත්‍රාසජනක ක්‍රියාවල මින්පෙර යෙදිලා තියෙනවා. නෙළුම් කුළුණෙන් බැස්සා, ලක්ෂපාන දිය ඇල්ලෙන් බැස්සා. ඒත් අතුරේ යනවකොට නම් පුදුම බයක් දැනුණා. කකුල් දෙක වෙව්ලන්න ගත්තා. මට ශරීරයේ සමබරතාවය පවත්වා ගන්න පැය බාගයක් විතර ගියා. පෙර පුහුණුවීම් පවා කළා.සාර්ථක වුණා කියල හිතනවා ඒ චරිතය. එහි තේමා ගීතය ලියැවුණෙත් මගේ අතින්. සීසෝ ඩබ්ලිව්. රවීන්ද්‍රගේ අධ්‍යක්ෂණයක්. වෙරළබඩ මුහුදු තීරය කේන්ද්‍ර කරගනිමින් රූගත කළ සීසෝ ප්‍රේක්ෂකයන්ට අපූරු ටෙලිනාට්‍යයක් වේවි.


අලසකමින් තොරව ක්‍රියාශීලි ජීවිතයක් ගත කරන කලණ ගුණසේකර වැනි ශිල්පීන් කලා ක්ෂේත්‍රය අවශ්‍යය. කලාව, රංගනය පිළිබඳ වසර ගණනාවක අත්දැකීම් වලින් පරිපූර්ණ වූ කලණ වර්තමානයේ රංගනයට පිවිසෙන නවකයන්ට අත්වැලක්වීමට පුංචි උපදෙසක් දීමට අමතක කළේ නැත.


මගේ අත්දැකීම් අනුව නම් රංගනය කියන දේ විනෝදයට කරන දෙයක් නෙවෙයි. එය විෂයයක් හැටියට ඉගෙන ගතයුතුයි. රංගනයට පිවිසීමේදී ඒ පිළිබඳ අධ්‍යයනයක් කළ යුතුයි. අපිත් තවම ඉගෙන ගන්නවා. රංගනය පිළිබඳ නිසි අධ්‍යනයකින් යුතුව ක්ෂේත්‍රයට ආවොත් දැවැන්ත චරිතයක් දක්වා ඉහළට යා හැකියි.


කලණ විසින් සිදුකරන වටිනා කටයුත්තක් ගැනද මෙහි සඳහන් කළ යුතුයි. රඟපෑමට අමතරව ඒ ගැන පිළිබඳ නිසි දැනුමක් සහ පුහුණුවක් ලබා දීමට රංගන පාඨමාලාවක් ඔහු විසින් ආරම්භ කර ඇත.


වේදිකාව, ටෙලිනාට්‍ය, සිනමා රංගනය පමණක් නොව ජීවිතයද රංග වේදිකාවක්. කලා ක්ෂේත්‍රයට යන එන චරිත බොහෝ ඇත. ඒ අතර තම ගරුත්වය රැකගෙන, තමාට ගැළපෙන චරිතය හොඳීන් හඳුනාගෙන රංගනයේ යෙදෙන කලණ ගුණසේකර සැබෑවටම අති දක්ෂ තරුණ රංගන ශිල්පියෙක්.ජවසම්පන්න බව, කඩවසම් බව,නිර්මාණශීලිත්වය මුසුව හැඩගැසුණු මේ අපූරු තරුණයා සිංහල සිනමාවට ශක්තියකි.


කතාබහ අවසානයේ කලණ තම ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලූ ආදරණීය ඉල්ලීමක්ද කළේය.


මම රංගනයෙන් දායකවන නිර්මාණ නරඹන්න. විවිධ සිනමා නිර්මාණ බිහිවෙනවා. එවත් නරඹන්න. ප්‍රේක්ෂකයන් නිසා තමයි අපි කලාවේ රැදෙන්නේ.



Previous Post Next Post