ලාංකේය කලා කෙතෙහි සදා නොමියන මතක රැන්දූ ඇය දක්ෂ ප්‍රවීණ රංගන ශිල්පිනියක්. ප්‍රධාන අප්‍රධාන සෑම චරිතයක් තුළින් ම රසික හදට කතා කළ ඇය නිරූපණය කළ සෑම චරිතයක් ම රසික නෙත් ඉදිරිපිට ජීවමාන කළ අයුරු අපූරුයි. මෙවර හදගැස්මෙහි ගැස්ම වැඩි කළ මේ කතා බහට එක් වූයේ සේමිණී ඉද්දමල්ගොඩ.
“අමුතු දොස්තර” ටෙලි නාට්‍ය අමුතු වැඩක්ද?
මට හිතෙන්නේ “අමුතු දොස්තර” ටෙලි නාට්‍යයේ හැමදෙයක්ම අමුතුයි. ඒ කියන්නේ දොස්තරලාට කරන්න අමාරු දේවල් මේ දොස්තර කරනවා. ඉතින් මම හිතන්නේ ඒ දේ තමයි මේ ටෙලි නාට්‍යයේ තිබෙන ලොකුම අමුත්ත. ඒ වගේම ඒ පළාතේ පරිසරයේ තිබෙන කටුක බව මේ ටෙලි නාට්‍ය හරහා පෙන්නුම් කරනවා.
“අමුතු දොස්තර” නම් කෝරලගේ සමන්ගේ කුලුඳුල් අධ්‍යක්ෂණය ගැන ඔබේ අදහස?
ඇත්තටම හොඳයි. මොකද ඔහුව අධ්යක්ෂවරයකු විධියට දකින්න කලින් අපි දැක්කේ හොඳ රංගන ශිල්පියෙක් විධියටයි. ඒ කියන්නේ ඔහු දක්ෂතාවලින් පරිපූර්ණ හොඳින් අධ්‍යාපනය ලැබූ ගුරුවරයෙක්. ඒ හැමදෙයකටම වඩා ඔහු දක්ෂ රංගන ශිල්පියෙක්. ඉතින් ඒ නිසා මේ නිර්මාණය ඔහුගේ පළමුවැනි අධ්‍යක්ෂණය කියලා අපට කිසිම ගැටලුවක් තිබුණේ නෑ. මේ නිර්මාණය පුරාම ඉන්නෙ ප්‍රවීණ රංගන ශිල්පීන් ශිල්පිනියන් රැසක් තමයි. ඒ හැමෝගේම චරිත ඔහුට අවශ්‍ය පරිදි ඔහුගේ සිතේ මැවුණ විධියට මවලා තිබෙනවා.
වර්තමානයේ නවක පරපුරේ බොහෝ රංගන ශිල්පීන් කෙටි කලකින් ජනප්‍රිය වුවද ක්ෂේත්රයේ රැඳෙන්නේ නැහැ නේද?
අපි ඕනෑම කෙනෙක් ක්ෂේත්රයේ ප්‍රවීණයකු බවට පත්වන්නේ මුලින්ම නවකයෙක් විධියට ඇවිල්ලා තමයි. ඉතින් ඕනෑම ක්ෂේත්රයකට ඒ දේ පොදුයි. අපි කරන වැඩකටයුතු සහ ලබා ගන්නා අත්දැකීම් මත තමයි අපි ප්‍රවීණත්වයට පත් වන්නේ. අපි ක්ෂේත්රයට පැමිණි මුල් කාලයේ අපිත් එක්ක පැමිණි සමහර අය අද වෙද්දී ක්ෂේත්රයේ නෑ. ඉතින් හැම ක්ෂේත්රයකම ස්ථාවරත්වයක් ගොඩනඟා ගැනීමට පුළුවන් අය එතැන ඉතිරි වෙනවා සහ අනෙක් අය මඟහැලෙනවා.
කලාවෙන් ඉදිරියට යන කලාකරුවකුට රසික යෝජනා සහ චෝදනා ඉදිරි ගමනට කොතරම් වැදගත්ද?
අනිවාර්යෙන්ම බොහොම වැදගත්. මොකද රසිකයන් ගේ රසිකත්වය තමයි අපේ ඉදිරි ගමනට ලොකු ශක්තියක් වන්නේ. ඒ කියන්නේ අපේ දක්ෂතාවක් නැතිව ක්ෂේත්රය තුළ ඔහේ හිටියොත් රසිකයන්ට අපිව මතකයේ රැඳෙන්නේ නෑ. ඒ නිසා රසිකයන්ගේ අදහස්වල හොඳ සහ නරක දෙකම අපේ ඉදිරි ගමනට වටිනවා.
ලාංකේය සමාජයේ ගැහැනිය බොහෝ ක්ෂේත්‍ර තුළ අසාධාරණකම්වලට ලක්වනවා. ඔබේ අදහස?
යුරෝපීය රටවල් ඇරුණම ආසියාතික රටවල කාන්තාවන්ට බොහෝ වෙලාවට දෙවැනි තැන තමයි ලැබෙන්නේ. ඒ විධියට තමයි මිනිස්සු ගැහැනිය වර්ගීකරණයට ලක් කරන්නේ. නමුත් කාන්තාව කියන චරිතය එහෙම දෙවැනි තැනට දමා අසාධාරණකම්වලට ලක් කරන්න බෑ. ඒ නිසා තමයි අපි හැමවෙලේම කියන්නේ කාන්තාව කියන කෙනා ආර්ථීක, සමාජීය මේ හැම පැත්තෙන්ම ශක්තිමත් වන්න ඕනෑ කියලා. ඉතින් අපි හැම කෙනෙක්ම යම් ස්ථාවරත්වයක් ගොඩනඟාගන්න ඕනෑ. ඒ කියන්නේ හැම දෙයක්ම තිබෙන්නේ තමන්ගේ අතේ තමයි. ඒ දෙයට කාන්තාවක්ද පුරුෂයෙක්ද කියන දේ වැදගත් වන්නේ නෑ. තම ස්ථාවරත්වය තමන්ව ගොඩනඟාගන්න ඕනෑ.
නිසි කල නිසි වෙලාවට ලැබිය යුතු හොඳ චරිත ලැබීම කලාකරුවාගේ ඉදිරි ගමනට කොතරම් පිටිවහලක්ද?
ඕනෑම දෙයකට ඕනෑම කෙනකුට වෙලාවක් තිබෙනවා. තමන්ගේ වෙලාව හරි ගියාම තමයි තමන්ගේ දක්ෂතාව වුණත් රසිකයන්ට පෙනෙන්නට පටන් ගන්නේ. සමහර අය කිසිදු දක්ෂතාවක් නැතිව මිනිස්සු අතරට ගොස් බොහෝ ජනප්‍රිය චරිත වනවා අපි දකිනවා. ඒ ඔවුන්ගේ වෙලාව හොඳ නිසා. ඉතින් කර්මය කියන දේ බුද්ධාගමේ අය විධියට අපි විශ්වාස කරනවා. තමන් කරපු පින් පව් තමයි හැමදෙයටම මූලික වී පල දෙන්නේ. නමුත් රංගන ශිල්පීන්ට ලොකු පාඩුවක් තමයි සුදුසු කල නිසි වයසේදී සුදුසු චරිත ලැබී ඉදිරියට යෑමට නොලැබීම.
මේ දිනවල ඔබ එක දිගට සිනමා නිර්මාණ රැසකින් දකින්න ලැබෙනවා නේද?
ඔව්. ඇත්තටම පසුගිය කාලයේ මම රංගන දායකත්වය ලබාදුන් චිත්‍රපටවල නම් සමහර වෙලාවට දර්ශන දෙක තුනයි තිබුණේ. නමුත් මට දර්ශන ප්‍රමාණය කීයද කියන දේ වැදගත් නෑ. මට වැදගත් වන්නේ මම රංගන දායකත්වය ලබා දෙන එක දර්ශනයෙන් වුණත් මුළු චිත්‍රපටය පුරාවටම කොයිතරම් දායකත්වයක් මට ලබා දෙන්න පුළුවන් වනවාද කියන දේ තමයි. එය ප්‍රධාන චරිතයක්, උප ප්‍රධාන චරිතයක් හෝ දර්ශනයක් දෙකක් තුනක් වෙන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා මම බයක් නැතිව අභියෝගය භාර අරගෙන මට ලැබුණ චරිතයට සාධාරණයක් ඉෂ්ට කරනවා.
වෘත්තීය රංගන ශිල්පිනියකට විවිධාකාර චරිත නිරූපණයට ලැබීම කොයිතරම් වැදගත්ද?
මේ පුංචි රට ඇතුළේ විවිධාකාර චරිත රඟපෑමට ලැබෙනවා කියන්නෙම විශාල භාග්‍යයක්. ඉතින් එක රාමුවකට කොටු නොවී විවිධ පරාසවලට යන්න ලැබෙනවා නම් රංගන ශිල්පියකුට හෝ රංගන ශිල්පිනියකට තමන්ගේ හැකියාව පෙන්වන්න ඒ මඟින් හොඳ අවස්ථාවක් ලැබෙනවා. හැම අයකුටම විවිධ පරාසයන්හි චරිත නිරූපණය කරන්නට බෑ. ඉතින් චරිතාංග ශිල්පියකු වීම පහසු නෑ. ඒ ශිල්පියාගේ දක්ෂතාව පෙන්වීම තුළ තමයි ඒ වගේ විවිධ චරිත ලැබෙන්නේ.
මෙරට නිර්මාණවලට නිර්දේශ වන නාමයන් අතර ඔබේ නම ඉහළින්ම තබා ගැනීමට තරම් සාර්ථකත්වයේ රහස කියමු?
මම දැන් ක්ෂේත්රයට ඇවිත් අවුරුදු විසිතුනක්, විසිහතරක් වනවා. ඉතින් මම රඟපාපු හැම නිර්මාණයකම චරිත හොඳම නිළිය සම්මානයට නිර්දේශ වී තිබෙනවා. නමුත් ටෙලි නාට්‍යයකින් හොඳම නිළිය කියන සම්මානය මට ලැබුණේ මේ අවුරුද්දේ. මෙතරම් කාලයක් මම ඒ සම්මානයට නිර්දේශ වුණා විතරයි. මම හිතන්නේ ඒ දේ මම ලොකු ශක්තියක් කර ගත්තා. මොකද ක්ෂේත්රයට පැමිණි ගමන් මට ඒ සම්මානය ලැබුණා නම් චරිතාංග නිළියක් වන්න තිබුණ ඉඩකඩ අඩුවෙන්න තිබුණා. මොකද ඉතින් පැමිණි මුල් කාලයේම ඒ සම්මානය මට ලැබුණ නම් මම අඩි දහයක් විතර උඩින් යයිනෙ කියලා මට හිතෙනවා. මොකද බොහෝදෙනකුට එහෙම වෙලා තිබෙනවා. ඉතින් ඕනෑම අධ්යක්ෂවරයකු යටතේ ඔහුට අවශ්‍ය දේ චරිතය තුළ ලබා දෙන්න මට පුළුවන් වෙලා තිබෙනවා.මම කවදාවත් මම ඉන්න තැන ගැන හිතලා හිස උදුම්මවා ගත්තේ නෑ. හැම නිර්මාණයකදීම මගේ අධ්යක්ෂවරයා හැමවෙලේම මගේ පියා විධියටයි මම සලකන්නේ. ඉතින් නිර්දේශිත නාම අතරට එකතු වුණා කියන්නෙත් සම්මානයට පාත්‍ර වුණා හා සමානයි. සම්මාන උළෙලවල්වල විනිශ්චය මණ්ඩලයේ තීරණය තමයි අවසාන තීරණය වන්නේ. ඒ තීරණය අපි හැමෝටම හිස නමා පිළිගන්න පුළුවන් වන්න ඕනෑ. ඉතින් එදා සිට අද දක්වා මම ඒ දෙයට හිස නමපු නිසා වෙන්න ඇති ඔබ කියූ විධියට මගේ නම බොහෝවිට නිර්දේශ වන්නේ. ඒ දේ මට ලොකු සතුටක්.
ඉදිරි වැඩකටයුතු ගැන මතක් කරමු?
ඉදිරියට තවත් චිත්‍රපට දෙක තුනක් තිරගත වීමට නියමිතයි. ඒ අතර “ඊඩඥ තචඬඥ” කියලා තවත් අපූරු නිර්මාණයකින් වෙනස් විධියේ අපූරු චරිතයකින් ඉදිරියට දකින්න ලැබෙයි.