ඔහු ලාංකේය සංගීත ක්ෂේත්රය තුළ තම අනන්‍යතාව තහවුරු කළ කලාකරුවෙක්. ගැඹුරු හඬ පෞරුෂයකින් රසික හදවත් තුළ අරක් ගත් ඔහු විවිධ ශානරයන් ඔස්සේ ගායන කිරීමේ හැකියාවකින් යුතු විසල් විභවයක් සහිත කලාකරුවෙක්. අද හදගැස්ම හා එක්වන්නේ ප්‍රවීණ ගායක මිහිඳු ආරියරත්න.
මේ දවස්වල වැඩකටයුතු මොනවද?
මේ දවස් කාර්යබහුල අයුරින් ගෙවී යනවා. මම වොයිස් තරගාවලියට පුහුණුකරුවෙක් ලෙස එක් වුණා. ඉතින් මේ වැඩ එක්ක කාලය ගෙවීගෙන යනවා.
මිහිඳු ආරියරත්න දැන් කෝච් මිහිඳු බවට පත්වෙලා මේ අත්දැකීම කොහොමද?
මේක මට අලුත්ම අත්දැකීමක්. මම කෝච් කෙනෙක් හෝ ජජ් කෙනෙක් ලෙස මීට පෙර තරගයකට සහභාගි වෙලා නැහැ. ඒ වගේම මම කේවල ගායකයෙක් ලෙස රියැලිටි තරගයකට සහභාගි වෙලත් නැහැ. නමුත් 2008දී මගේ සංගීත කණ්ඩායම වන Nemesis සංගීත කණ්ඩායම Onstage තරගාවලියත් ජයග්‍රහණය කළා. මේක වෙනස් ආකාරයක අත්දැකීමක්. ආධුනික ගායකයන් අනාගත සංගීත ක්ෂේත්රයට අවශ්‍ය ආකාරයට ගොඩනැඟීම තමයි තමයි අපි මෙයින් සිදු කරන්නේ.
රියැලිටි තරඟාවලියක් ලෙස වොයිස් පිළිබඳව ඔබට තිබෙන අදහස?
ද වොයිස් කියන්නේ ලෝකය පුරා පැවැත්වෙන තරගාවලියක්. මෙය සිදු වෙන්නේ ජාත්‍යන්තර ප්‍රමිතියක් යටතේ. ඒ වගේම මෙය අන්තර්ජාතික මට්ටමේ ඉතා ඉහළ තැනක තිබෙන තරගාවලියක්. මෙතන තිබෙන වැදගත්ම දෙය මෙම තරගාවලියේදී ගායනා කරන ගීතවල මුල් හිමිකරුවාට කර්තෘ භාගයක් ලැබෙන එක. වගකීමක් තිබෙන කලාකරුවන් ලෙස මේ ගෙවීම සිදු වෙනවාද කියන දෙය තහවුරු කර ගැනීමෙන් අනතුරුව තමයි මම මේ තරගයට එකතු වුණේ.
ලාංකේය රියැලිටි තරගවල ගුණාත්මක භාවයක් තිබෙනවාද ඒ ගැන ඔබ සිතන්නේ කුමක්ද?
මගේ අදහස හොඳයි කියන එක. මම වෙනත් රියැලිටි තරග ගැන අදහසක් ප්‍රකාශ නොකර සිටින්නම්. මොකද ඒක මට අයිති දෙයක් නොවන නිසා. මට පෙනෙන විධියට ඒවායෙත් ප්‍රමිතියක් තිබෙනවා. අද අපි අතර සිටින ඇතැම් කලාකරුවන් රියැලිටි තරගවලින් පැමිණි අය. ඔවුන් ඉතා දක්ෂයි. එම තරගවල ගුණාත්මක භාවයක් තිබෙන නිසා තමයි මොවුන් බිහි වුණේ.
අනෙක් කෝචස්ලා තිදෙනා පිළිබඳව ඔබේ අදහස?
අනෙක් කෝචස්ලා තුන් දෙනා ගැන කතා කරනවා නම් ඔවුන් අපේ ක්ෂේත්රය තුළ විවිධ තලවලින් දක්ෂතා පෙන්වූ කලාකරුවන්. අපි අතර කිසිම තරහක් නැහැ. නමුත් අපි අතර දැඩි තරගයක් තිබෙනවා. අපේ අවසන් බලාපොරොත්තුව මේ තරගාවලියෙන් ජයග්‍රහණය කිරීම. අපේ කණ්ඩායමේ සිටින තරඟකරුවන් ඉහළට රැගෙන යෑම තමයි අපේ පරමාර්ථය වෙන්නේ. අනෙක් පුහුණුකරුවන් සමඟ වැඩ කරන්න ලැබීම මට ලොකු අත්දැකීමක්.
කෝච් මිහිඳු ලෙස ඔබට දැන් තවත් කලාකරුවන් ගායකයන් මෙහෙයවන්න වෙනවා මේ ගැන ඔබේ අදහස?
ගායකයන්ගේ හඬ පුහුණු කිරීම මීට කලිනුත් මම කරපු දෙයක්. මගෙන් හඬ පුහුණුව ලබපු අය අද මේ ක්ෂේත්රයේ සිටිනවා. මම ඒ අයගේ නම් කියන්න යන්නේ නැහැ. ඒක කියන එක ඒ අයට භාර දෙයක්. රියැලිටි තරගයක් තුළ මෙලෙස තරගකරුවන් මෙහෙයවන්නට ලැබීම ලොකු අත්දැකීමක්. යම් තරගකරුවෙක්ව මේ ක්ෂේත්රයේ ඉහළටම ගෙන යන්න අපිට පුළුවන්. ඉතින් මේ හරහා අපිට අලුත් පරපුරක් බිහි කරන්න ලැබීම තමයි හොඳම දෙය වෙන්නේ.
ඇතැම් විට අපි දකිනවා මෙවැනි තරගවලදී දේශීය මෙන්ම සාම්ප්‍රදායික ගීත ට්‍රෙන්ඩින් වෙන අවස්ථා බොහෝ වැඩියි මේ පිළිබඳ ඔබේ අදහස?
මෙවැනි තරග හරහා අපිට අපේ පැරැණි ගීත නැවැතත් ප්‍රේක්ෂකයා අතරට ගෙන යන්න පුළුවන්. ඒවා ට්‍රෙන්ඩින් වෙනවාද කියන එක ගැන නම් මම ලොකුවට වද වෙන්නේ නැහැ. කොහොම හරි මේ හරහා පැරැණි ගීත අපේ නව පරපුරට රස විඳින්න ලැබෙනවා. මේ නිසා අපේ රසවින්දනයේ පරාසය පුළුල් වෙනවා. ඇත්තටම ඒක හොඳ දෙයක්.
ඔබට විවිධ ශානරවල ගීත ගැයීමට දස්කම් දක්වන තරගකරුවන් පිරිසක් ලැබේවි කියා ඔබ සිතනවාද?
විවිධ ශානර ඔස්සේ ගායනා කරන තරගකරුවන් මගේ කණ්ඩායමේ සිටිනවා. මගේ සංගීතමය පදනම රොක් ශානරය වුණාට මම අනෙක් සංගීත ශානරයන් හදාරලා තිබෙනවා. ඒ නිසා මට විවිධ ශානර ඔස්සේ ගායනා කරන තරගකරුවන් මෙහෙයවීමේ හැකියාවක් තිබෙනවා. අපි කරන්නේ තරගකරුවන්ට සංගීතය උගන්වන එක නෙවෙයි. ඔවුන්ට තිබෙන හැකියාව වැඩිදියුණු කරන එක. මගේ කණ්ඩායමේ වගේම වෙනත් කණ්ඩායම්වලත් විවිධ ශානර ඔස්සේ ගායනා කරන තරගකරුවන් සිටිනවා.
නවක පරපුරේ ගායන හැකියාව සහ දක්ෂතා පිළිබඳ ඔබේ අදහස?
ඇත්තටම නවක පරපුර ඉතාම දක්ෂයි. ඒ ගැන කතා දෙකක් නැහැ. ඔවුන්ට ලෝකය සමඟ තිබෙන ගනුදෙනුව ඉතා ප්‍රබලයි. අපි ලෝකය ගැන ඉගෙන ගත්තේ පොත්පත් සහ ගුරුවරු හරහා. කැසට් සහ ඩී.වී.ඩී. හොයාගෙන තමයි අපි සංගීතය ගැන ඉගෙන ගත්තේ. දැන් යූටියුබ් එකේ ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. නවක පරපුර අපේ පරපුරට වඩා දක්ෂයි. ඔවුන් කලින් රියැලිටි තරගවල සිටි තරගකරුවන්ට වඩා ගොඩක් ඉදිරියෙන් සිටිනවා. මේක අපේ සංගීතය ඉදිරියට යන්න සෑහෙන හොඳ ප්‍රවණතාවක්.
අන්තර්ජාතික මට්ටමේ කාලාකරුවෙක් නිර්මාණය කිරීමේ විභවය වොයිස් තරගාවලියට තිබෙනවාද?
ඇත්තටම ඒ විභවය වොයිස් තරගාවලියට තිබෙනවා. දැනටමත් මේ තරගාවලියේ ගායනා කරන ගීත The Voice Global පේජ් එකට එකතු වෙනවා. මේ නිසාම තරගකරුවන් ජාත්‍යන්තරයට යන්න තිබෙන සම්භාවිතාව ඉතා වැඩියි. අපි මේකට යම් කාලයක් ලබා දෙන්න ඕන. මේකට අපි කියන්නේ “It’s a matter of time” කියලා. අනිවාර්යෙන්ම එවන් කලාකරුවෙක් බිහිවෙයි කියන එකයි මගේ අදහස.
සෝලෝ ටවුන් ඔස්සේ ඔබ රංගනයට එක් වෙනවා ඒ අත්දැකීම ගැන කියමු?
ඇත්තටම මම එහි රඟපාන්නේ ඉතා කුඩා චරිතයකට. මම ඊට වඩා මගේ මියුසික් වීඩියෝවලට රංගනයෙන් දායකත්වය සපයලා තිබෙනවා. ඉතින් ඒ අත්දැකීම මට අලුත් එකක් නෙවෙයි.
සෝලෝ ටවුන් කියන්නේ මියුසිකල් මෙලෝ ඩ්‍රාමා එකක්, වෙනස් විධියක නිර්මාණයක්. සංගීතඥයෙක් ලෙස ඔබ මෙය දකින්නේ කොහොමද?
මම හිතන්නේ සෝලෝ ටවුන් තමයි ලංකාවේ එම ශානරයෙන් බිහි වුණු පළමු සිනමාපටය. ඒක බෝයි බෑන්ඩ් එකක් වටා දිවෙන ලස්සන කතාවක්. ඒක අන්තර්ජාතික මට්ටමට ඔසවා තැබිය හැකි කතාවක්. ඉතින් ප්‍රේක්ෂකයාට එය විඳගන්න කියලා කියනවා.
ගිහාන් සචින්ත