දාගත්තු සීමා ටිකක් මටත් තියෙනවා-අභිලාෂි ශන්තුෂ්කි

 



සිංහබාහු සිනමා නිර්මාණය තුළින් රසික හදවත් තුළ නොමැකෙන මතකයක් වුණු ඇය නැවැතත් රසිකයන් අතරට පැමිණෙන්නේ ඇයගේ ප්‍රථම ටෙලි නාට්‍ය නිර්මාණය වන පාවී එන්න ආසයි ටෙලි නාට්‍ය  තුළිනි. දක්ෂ නවක රංගන ශිල්පිනියක් ලෙස කටයුතු කරන ඇය නමින් අභිලාෂි ශන්තුෂ්කි. ඇය හදගැස්ම අපත් සමඟ කතාබහට එක් වුණේ මෙලෙසින්. “පාවී එන්න ආසයි ටෙලි නාට්‍ය” ගැන කතා කරමු?


මම ක්ෂේත්‍රයට පැමිණියේ සිංහබාහු සිනමා නිර්මාණයෙන් වුණත් ඒ කාලය තුළ තවත් සිනමා නිර්මාණ කිහිපයකටම සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබුණා. පාවී එන්න ආසයි ටෙලි නාට්‍යයට සම්බන්ධ වීමට පෙර සිනමාව සහ වේදිකාව යන දෙකම ස්පර්ශ කරලා තිබුණේ. ඉතින් ටෙලි නාට්‍ය ගැන අත්දැකීමක් නොතිබුණු නිසා මේ ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙන්න ඕනෑ කියලා මට හිතුණා. ඒ වන විටත් ටෙලි නාට්‍ය කිහිපයකටම ආරාධනා ලැබිලා


තිබුණත්, මගේ ඉගෙනීම් වැඩකටයුතුත් එක්ක හොඳ ටෙලි නාට්‍ය නිර්මාණයකට දෙකකට සම්බන්ධ වුණොත් හොඳයි කියලා හිතුණා. ඉතින් සිවගුරුනාදන් අයියා සහ චාමර සමරවික්‍රම අයියා මට මේ ටෙලි නාට්‍යයට ආරාධනා කළා සහ ප්‍රවීණ රංගන ශිල්පීන් සමඟ වැඩ කිරීමට ඒක හොඳ අවස්ථාවක් වුණා. මේ දවස්වල ටෙලි නාට්‍යයේ ගෞරවීගේ චරිතය ‘සුද්දි පැටියා’ කියන නමින් ප්‍රේක්ෂකයා අතර හරිම ජනප්‍රියයි.


ඔබ නවකයෙක් ලෙස ක්ෂේත්‍රයට පැමිණෙන මුල් කාලයේ පටන්ම ක්ෂේත්‍රයේ දක්ෂයන් සමඟ රංගන කටයුතු කිරීමට ලැබුණා. ඒ අද්දැකීම ගැන කියනවා නම්?


මම අද වනතුරු රංගනයෙන් දායක වුණු නිර්මාණ දෙස හැරී බැලුවොත් තරුණ රංගන ශිල්පීන් ශිල්පිනියන්ට වඩා ප්‍රවීණ රංගන ශිල්පීන් ශිල්පිනියන් සමඟ තමයි මට රංගනය කරන්න අවස්ථාව ලැබුණෙ.  මම ක්ෂේත්‍රයට නවකයෙක්. ඉතින් ක්ෂේත්‍රයේ දැවැන්තයන් සමඟ වැඩ කරන්න ලැබීම සහ ඔවුන්ගෙන් ගුරුහරුකම් ලබා ගන්න ලැබීම ඇත්තටම ජීවිතේ මම ලබපු ලොකුම භාග්‍යයක්. පාවී එන්න ආසයි ටෙලි නාට්‍යයේ ධනුක දිල්ෂාන් අයියා, සුදර්ශනී ගැලනිගම, සරත් කොතලාවල, ධනංජය සිරිවර්ධන, ඉෂාරා සඳමිණි, අකිල ධනුද්දර ඇතුළු බොහෝ ප්‍රවීණයෝ ඉන්නවා. මම නම් වශයෙන් නොකියුවත් ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා.


කලා ක්ෂේත්‍ර තුළ කට කතා හැදෙන්න තිබෙන ඉඩ වැඩියි. එවැනි තත්ත්වයකදී ඔබ ඒවාට මුහුණ දෙන්නේ කොහොමද?


මම විශ්වාස කරන දෙයක් තමයි අපි අසාර්ථක වුණොත් හැමකෙනකුගෙන්ම ගුරු හරුකම්, අවවාද අනුශාසනා ලැබෙනවා කියන දේ. නමුත් අපි සාර්ථක වෙලා හෝ සාර්ථක වෙමින් සිටින මොහොතක කට කතා හැදුණොත් කිසි කෙනෙක් අපට ගුරුහරුකම්, අවවාද අනුශාසනා දෙන්නෙ නැහැ. එවැනි අවස්ථාවලදී අනිවාර්යයෙන්ම අපිට එල්ල වෙන ගල් මුල් හැමදෙයක්ම විඳ දරා ගන්න වෙනවා. මම හිතන්නේ සාර්ථකත්වයේ දොරගුළු විවර වෙන්නෙ


එතැනින්. කලා ක්ෂේත්‍රය කියන්නේ යම් කිසි ආකාරයක සෘණාත්මක දෙයක් වෙන්න තිබෙන ඉඩකඩ වැඩි තැනැක්. ක්ෂේත්‍රයට එන ඕනෑම කෙනෙක්ට ගොසිප් හැදෙනවා, විවේචන එල්ල වෙනවා. ඉතින් අපිට ඒ දේවල්වලට මුහුණදෙන්න සිදු වෙනවා. මම පෞද්ගලිකව මම කරන වැඩේට මගේ ඇතුළාන්තයෙන්ම අවධානය යොමු කරනවා සහ ඒ වැඩේට උපරිම සාධාරණයක් ඉෂ්ට කරනවා. අපි ඒ විධියට තමන් කරන වැඩේ ගැන විශ්වාසයෙන්, අධිෂ්ඨානයෙන් සහ උත්සාහවන්තව ඉන්නවා නම්  අපිට එන විවේචන කිසිම දෙයක් ගණන් ගන්න ඕනෑ නැහැ.


ඔබට රංගනය පිළිබඳ හැදෑරීමක් තිබෙනවද?


රංගනය හැදෑරීමෙන් අනතුරුව තමයි මම ක්ෂේත්‍රයට පිවිසෙන්නේ. පාසලේ තුන, හතර ශ්‍රේණිවල අධ්‍යාපනය ලබන කාලය තුළ සිටම මම ඉංග්‍රීසි වේදිකා නාට්‍යවලට සම්බන්ධ වුණු කෙනෙක්. වේදිකා නාට්‍යවලට සම්බන්ධ වෙලා ෂේක්ස්පියර් වගේ ඉංග්‍රීසි තරගාවලින් ජයග්‍රහණය කිරීමම රංගනය පිළිබඳ හදාරන්න ලැබුණු හොඳ අවස්ථාවක් කියලා මම හිතනවා. පාසල් අධ්‍යාපනය අවසන් කරන තුරුම මම විවිධ තරගාවලිවලට සම්බන්ධ වෙලා සෑම වසරකම ජයග්‍රහණ ලබා ගත්තා සහ පාසල් වේදිකා නාට්‍යවලදී හොඳම නිළිය සම්මානයත් ලබා ගෙන තිබෙනවා. Act 4 theatre for change


ආයතනයේ වැඩිදුර රංගනය හදාරනවා සහ ඒ හරහා තමයි සිංහබාහු සිනමා නිර්මාණයටත් සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ. ඒත් එක්කම අනෝජා වීරසිංහ මිස්ගේ අභින වැඩමුළුව සාර්ථකව නිමා කළා. ඉදිරියේදිත් මම සම්බන්ධ වෙන සෑම නිර්මාණයකින්ම රංගනය පිළිබඳ අලුත් දේවල් ඉගෙන ගන්න සහ රංගනය ගැන තවදුරටත් හදාරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මම සිනමාවට හරිම කැමැති නිසා ඉදිරියේදී සිනමාව පිළිබඳ වැඩිදුර හදාරන්නත් බලාපොරොත්තු වෙනවා.


රංගනයේදී ඔබ පනවා ගත් සීමා මායිම් තිබෙනවාද?


සාමාන්‍යයෙන් අපි කියන දෙයක් තමයි රංගන ශිල්පියෙක් ශිල්පිනියක් වුණාම ඕනෑම චරිතයකට පණ පොවන්න හැකියාවක් තිබෙන්න ඕනෑ කියන දේ. ඉතින් අනිවාර්යයෙන්ම ඒ හැකියාව අපිට තිබෙන්න ඕනෑ. නමුත් පෞද්ගලිකව එකිනෙකාට රංගනය තුළ පනවා ගත් සීමා තිබෙන්න පුළුවන්. මටත් එවැනි සීමා කිහිපයක් තිබෙනවා. මගේ වයසත් එක්ක, මට ලැබෙන චරිත හොඳට තෝරා බේරා ගෙන තමයි රංගනයට යොමු වෙන්නේ. මට ලැබෙන චරිතය මට ගැළපෙනවද සහ කලින් මම කළ නිර්මාණත් එක්ක ගැළපීමක් තිබෙනවද කියනදේ බලනවා. ගොඩක් වෙලාවට මම උත්සාහ කරන්නේ කලින් රංගනය කළ නිර්මාණයකට වඩා දශමයකින් හෝ ඊළඟ නිර්මාණය සාර්ථක කරන්න.


රංගන කටයුතු සඳහා පවුලෙන් ලැබෙන සහයෝගය කෙබඳුද?


මගේ පවුලේ ඉන්නේ අම්මා, තාත්තා,අක්කා සහ මල්ලි අක්කා මේ වන විට විදේශ ගත වෙලා ඉන්නේ. මල්ලි තවම පාසල් යන වයසේ. පවුලෙන් මට කිසිම වෙලාවක නීති රීති පනවලා මාව හිර කරලා නැහැ. පොඩි කාලේ සිටම පාසලේ බාහිර වැඩකටයුතුවලටත් සම්බන්ධ වෙලා ඉගෙනීම් වැඩත් සමබරව කරගෙන සිනමා නිළියක් දක්වා පැමිණි මේ ගමනෙදි මට ශක්තියක් වුණේ මගේ අම්මයි තාත්තයි.


ඔබට වෘත්තීමය රංගන ශිල්පිනියක් වීමේ බලාපොරොත්තුවක් තිබෙනවාද?


ඔව් අනිවාර්යයෙන්ම. කලා ක්ෂේත්‍රය කිසිම වෙලාවක අත හරින්නෙ නැහැ. රංගනය සහ සිනමාව පිළිබඳව  තවදුරටත් හදාරලා හොඳ, දක්ෂ රංගන ශිල්පිනියක් විධියට කලා ක්ෂේත්‍රයේ මගේ නම රඳවන්න කැමැතියි. ඒ වගේම මම මනෝ වෛද්‍යවරියක් වෙන්න ඉගෙන ගනිමින් ඉන්නවා. ඒ දේත් සාර්ථක කරගෙන රංගන කටයුතුත් සමබර කරගෙන ඉදිරියට යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.


ඉදිරි වැඩකටයුතු ගැනත් කියමු?


තිලිණ බොරලැස්ස අයියා අධ්‍යක්ෂණය කරන ‘මං හොයන්නේ ප්‍රේමයක්’ කියලා ලස්සන සිනමා නිර්මාණයක් ඉදිරියේදි ප්‍රේක්ෂකයාට නරඹන්න ලැබේවි. මේ සිනමා නිර්මාණය  තිලිණ අයියගේ පළමු වැනි සිනමා නිර්මාණය. මේ දිනවල එහි රූගත කිරීම් කටයුතු කරගෙන යනවා. ඉතින් තිලිණ අයියා හරිම සපෝටිවි අධ්‍යක්ෂවරයෙක්. ඉතින් මම හරිම ආසාවෙන් රූගත කිරීම්වලට සම්බන්ධ වෙනවා. මම හිතන්නේ අනිවාර්යයෙන්ම මේ සිනමා පටය අපේ ප්‍රේක්ෂකයාව හින්දි සිනමාවට රැගෙන යාවි.



Previous Post Next Post