හැමදාම වැඩ කළේ මගේ සීමාවන් එක්ක -අනුරාධා උදයංගනී

 

 



අනුරාධා උදයංගනී කියන්නේ පුංචි තිරයෙන් නිරන්තරයෙන්ම දකින්න ලැබුණු චරිතයක්. ඒත් මෑත කාලයේ නම් ඇයව දකින්න ලැබෙන්නේ සියත නාලිකාවේ විකාශය වන සින්ධු නාට්‍යයෙන්. රසඳුන මේ කතාබහ ඇයගේ අලුත් තොරතුරු ගැන.


අලුත් අවුරුද්ද පටන් ගැන්ම කොහොමද?


2025 පටන් ගැන්ම ගැන කියන්න කලින් මම කැමතියි 2024 අවසානය ගැන කතා කරන්න. 2024 කියන්නේ මගේ ජිවිතේ යම් කිසි කඩා වැටීම් සිදු වුණු වසරක්. මම පවුලේ එකම දරුවා. දැන් මාස තුනකට කලින් මගේ තාත්තා නැති වුණා. ඒ දුක තනි දරුවා විදියට මට දරා ගන්න හරිම ආමාරු වුණා. අපි ජිවත් වුණේ දෙමාපිය දරුවන් කියන බැඳීමටත් වඩා යාළුවො වගේ, ඒ නිසා තාත්තාගේ වියෝව දරා ගන්න අපහසු වුණා. මාස දෙක තුනක් යනකම්ම ඒ දුක මට තදින් දැනුණා. ඒ එක්කම මේ පසුගිය දෙසැම්බර් මස 30 වැනිදා මගේ වෘත්තීය ජිවිතේ තව එක් පියවරක් ඉස්සරහට තිබ්බා. මම රූපලාවණ‍ය ශිල්පිනියක් විදියට අවුරුදු 23ක් තිස්සේ වැඩ කරනවා. සෙත්මා ආයතනයෙන් ආයුර්වේද රූපලාවණ්‍ය ශිල්පිනියක් සහ ආයුර්වේද තෙරපිස් කෙනෙක් විදියට මම මගේ සුසුදුකම් හදා ගත්තා. ඒක මගේ වෘත්තීය ජිවිතේ පැත්තෙන් ලබපු ජයග්‍රහණයක්. ඒ දේවල් එක්ක තමයි 2025 වසරට පිය නගන්නේ. ඒ එක්කම අලුත් කලා නිර්මාණ වලට ඇරයුම් ලැබිලා තියෙනවා.


මේ කාලයේ ඔබව දකින්න ලැබෙන නිර්මාණ මොනවද?


සියත නාළිකාවේ සින්ධු ටෙලි නාට්‍යයෙන්. ඒ එක්කම බයිස්කෝප් නාට්‍යය, ලොක්කිගේ කතාව, රාජිණි වගේ නාට්‍යයවල රඟපෑවා. ඒ නාට්‍යය මේ වෙද්දී විකාශය වෙලා අවසන්.


සින්ධු නාට්‍යයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?


ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මඟ තොටේ දැක්කත් හොඳ ප්‍රතිචාර තියෙනවා. ලසිත කාරියවසම් තමයි එහි අධ්‍යක්ෂවරයා. ඔහු එක්ක වැඩ කරපු පළමු අවස්ථාව. ඔහු අපිට උපරිම නිදහස දීලා තියෙනවා. ඒ වගේම සින්ධු කණ්ඩායම හරිම එකමුතුයි.


මෙතෙක් රඟපෑ චරිත අතරින් වඩාත් ප්‍රේක්ෂක ආදරයක් හිමිවුණ චරිතය මොකක් ද?


මගේ දෙවන නාට්‍යය වන සුමිත් කුමාර මහතා අධ්‍යක්ෂණය කළ නේත්‍රාමංගල්‍යහි කුමාරිගේ චරිතය තාමත් ප්‍රේක්ෂකයින්ට මතකයි. මමත් ආදරෙන් වැලඳ ගත්තු චරිතයක්. ඒ නාට්‍යය කළේ 2000 වසරේ. දැන් වසර 25ක් වෙනවා නාට්‍යය විකාශය වෙලා. තාමත් මේ නේත්‍රාමංගල්‍යහි කුමාරි නේද කියලා කතා කරනවා. ඊට පස්සේ දායක වුණු වසුදා නාට්‍යයත් බොහෝ දෙනා අතරට ගියා.


ඔබ චරිත භාර ගන්නේ සීමාවන් ඇතුවද?


ඔව්. අනිවාර්යෙන්ම චරිත භාර ගන්නේ සීමාවන් ඇතුව. මුල් කාලේ ඉඳන් මම හැල්මේ දුවන අදහසින් චරිත භාර ගත්ත කෙනෙක් නෙවෙයි. විශේෂයෙන්ම කියන්න ඕනේ මම නිළියක් වෙන්න බලාපොරොත්තු වුණු කෙනෙක් නෙවෙයි. මම ආස කළේ නැටුම් ගුරුවරියක් වෙන්න. නමුත් අහම්බෙන් රංගනයට යොමු වුණේ. රංගනයට එන්න කලින් මෝස්තර නිරුපණය සහ නර්තන ශිල්පිනියක් වෙලා හිටියා. මම හැමදාම වැඩ කළේ මගේ සීමාවන් එක්ක.


රංගනය ගැන තෘප්තිමත් ද?


ඇත්තටම තෘප්තිමත්. මම රංගනයට එන්න හිතපු නැති කෙනෙක්. සුනිල් තල්ගහ ගුරුතුමා සහ ජයන්ත කරුණාසේන ගුරුතුමා යටතේ මීගමුවේ රුක්මණී දේවි කලායතනයේ අවුරුදු 13ක් ක්‍රියාකාරී නර්තන ශිල්පිනියක් විදියට වැඩ කළා. එහෙම ඉන්න කාලේ රංගනයට එන්න අවස්ථාව ලැබුණා. ඊට පස්සේ නර්තනය කියන දේ මගෙන් ගිලිහුනා. නමුත් අදටත් සිහිනයක් වගේ නර්තනය කියන දේ මගේ ඇඟේ මාත් එක්කම ජිවත් වෙනවා. මේ අවුරුදු 25 පුරාවට මම විවිධ චරිත කළා. ඒ නිසා රංගනය තුළ දී මම තෘප්තිමත්.


පෞද්ගලික ජීවිතේ තොරතුරු මොනවද?


මම පවුලේ එකම දරුවා. මීට මාස තුනකට කලින් නම් අම්මා තාත්තා මා එක්කම හිටියා. තාත්තා වියෝ වෙලා මාස තුනක්. ඒ දුක තාමත් මට දැනෙනවා. ඒ අහිමිවීම මුළු ජිවිත කාලයටම දැනෙයි. අම්මා මා එක්ක ඉන්නවා. මගේ සැමියා හසිත වික්‍රමආරච්චි. එයත් මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා ඉන්න කාලේ මම දැන හඳුනා ගත්තේ. දැන් ඔහු මාධ්‍යය ක්ෂේත්‍රයේ කටයුතු කරනවා. ඔහුගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා මගේ ජිවිතයට.


මේ අවුරුද්දේ සපුරාගන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ මොනවද?


ඇත්තටම බලාපොරොත්තු තමයි මනුස්සයෙක්ව ජිවත් කරන්නේ. එහෙම කියලා ලොකු ලොකු බලාපොරොත්තු එක්ක වැඩ කරන කෙනෙක් නෙවෙයි. ඉලක්ක අරමුණු තියෙනවා. හැබැයි ඒවා කාලෙන් කාලෙට වෙනස් වෙනවා. 2024 ආසාවෙන් හිටියා ආයුර්වේද පංචකර්ම පිළිබඳව අධ්‍යයනය කරන්න. ඒක මම ඉටු කර ගත්තා. 2025 දී බලාපොරොත්තු වෙනවා මගේ රූපලාවණ්‍යාගාරය තුළ ආයුර්වේද තෙරපි පැත්තටත් යොමු වෙන්න. කලාව පැත්තෙන් ගත්තම තව තව හොඳ නිර්මාණ කරන්න ආසයි.


ඉදිරියට එන්න තියෙන නිර්මාණ මොනවද?


තාරක අධිකාරි සහ උපුල් වීරසිංහගේ සිහින සරුංගල් සහ මහේෂ් කරුණාරත්නගේ කාලි චිත්‍රපටය එන්න තියෙනවා. බුද්ධික ලොකුකැටියගේ නිර්මාණයක් එන්න තියෙනවා. වසන්ත අමරසිංහ සහ නුවනි වලිමුණි නිෂ්පාදනය කළ අලුත් ටෙලි නාට්‍යය දෙකක් කළා. තව විකාශය වෙන්න නියමිත ටෙලි නිර්මාණ පහක් විතර එන්න තියෙනවා.


ප්‍රේක්ෂක ආදරේ ගැන කියන්නත් දෙයක් ඇති


ඒ ආදරේට මමත් ආදරෙයි. ප්‍රේක්ෂක ආදරේ කියන දේ රංගන ශිල්පියෙක්ට සහ ශිල්පිනියකට අවශ්‍යම දෙයක්. ඔවුන් නිසා තමයි අපි මෙතන ඉන්නේ. හැමදාම ආරාධනා කරනවා මා එක්ක දිගටම ඉන්න කියලා.


අනුෂා රණසිංහ




Previous Post Next Post