කුවේණිය වෙනුවෙන් මිනිස්සු ඇඬෙව්වා – නිරංජනී ෂන්මුගරාජා

 


කුවේණිය ශ්‍රී ලංකාවේ පළමු රැජන ලෙස ඉතිහාසයේ අතිශයින්ම වැදගත් චරිතයක්. ඉන්දියාවෙන් පිටමං කළ විජය කුමරු සමග කුවේණියගේ ප්‍රේම සබඳතාව තව රජ පරපුරකට ශ්‍රී ලංකාව ගෙනගිය බව ඉතිහාසයේ සඳහන්ව ඇත. මෙම ඓතිහාසික සිද්ධිය මුල්කරගෙන නර්තනාචාර්ය චන්දන වික්‍රමසිංහයන්ගේ පිටපතකට අනුව නර්තන අධ්‍යක්ෂණය කරන ලද The Noir Queen kuweni මුද්‍රා නාට්‍යය පසුගියදා කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී රඟදැක්විණ. මෙහි කුවේණියගේ චරිතය රඟදක්වන්නේ අපේ රටේ දක්ෂ රංගන ශිල්පිනියක් වන නිරංජනී ශන්මුගරාජා විසිනි. මේ ඒ කුවේණියගේ හඬයි.


චන්දන වික්‍රමසිංහයන්ගේ කුවේණියට ලැබුණු ප්‍රතිචාර මොන වගේද?


ඇත්තටම නිරංජනී ෂන්මුගරාජා කියන රංගන ශිල්පිනියගේ දක්ෂතාවය කියලා නෙමෙයි මම හිතන්නේ. කුවේණි කියන බලවත් ශක්තිමත් අපේ රටේ පළමුවැනි රැජනට ලැබුණ ප්‍රතිචාර විදිහටයි මම ඒක දකින්නේ. එදා දවසේ ආපු හැමෝම කිව්වේ කුවේණිගේ විලාපය දුක අපිට දැනුණා අපේ ඇස්වලට කඳුළු ආවා කියලා.


සමහර මිනිස්සු කුවේණිට වෛර කරනවා. තවත් සමහර මිනිස්සු කුවේණිට අගෞරව කරනවා. අනික කුවේණි ගැන විවිධ කතා තියෙනවානේ. හැබැයි කවුරුවත් කුවේණිගේ අහිංසකකම, ආදරය, සාධාරණය දැක්කේ නැහැ. හැබැයි ඉතිහාසයේ කවුරුවත් කුවේණිගේ පැතිකඩ ගැන හිතුවේ නැහැ. හැබැයි චන්දන සර්ට ඕනෑ වුණේ කුවේණි වෙනුවෙන් කඳුළක් සලන්න ඕනෑ කියලයි.


කුවේණිය වෙනුවෙන් මිනිස්සු ඇඬෙව්වා - නිරංජනී ෂන්මුගරාජා

මේ ආරාධනාව ලැබුණහම මොකද හිතුණේ ?


කුවේණියගේ ආත්මය මේ පොළොව මත කොහේ හෝ තිබෙනවා. ඉතිං ඒ ආත්මය තමයි චන්දන සර්ට අවසර දීලා තියෙන්නේ මාව ගන්න කියලා. කුවේණියගේ අවසරයත් එක්ක මාව තෝරාගන්න වෙලාවේ මට ලොකු බයක් දැනුණා.


ඇයි ඒ ?


මම නර්තන ශිල්පිනියක් නෙමෙයිනේ. මම රංගන ශිල්පිනියක් විදිහට මම හැමදාම හිතන්නේ මගේ දක්ෂතාව හැමදාම ප්‍රගුණ කරගන්නවා කියලයි. රංගනය සහ නර්තනය කියන දෙකම මට අභියෝගයක් නිසා මම බයවුණා. හැබැයි චන්දන සර් මට ලබාදුන්න පුහුණුව වගේම ඒ නර්තන කණ්ඩායමේ ඉන්න හැම දරුවෙක්ම මට ලොකු සහයෝගයක් ලබාදුන්න හින්දයි, කුවේණිට මේ තරම් සාධාරණයක් ඉෂ්ට කරන්න පුළුවන් වුණේ.


කුවේණිය වෙනුවෙන් මිනිස්සු ඇඬෙව්වා - නිරංජනී ෂන්මුගරාජා

කුවේණිය වෙනුවෙන් මොන වගේ කැපකිරීම්ද සිදුකළේ ?


මේ මුද්‍රා නාට්‍යය පටන්ගත්තු දවසේ ඉඳලා මට වෙන වැඩක් ඔළුවට ආවේ නැහැ. මම එහෙම කළෙත් නැහැ. සල්ලිවලට වඩා ඒ අවස්ථාව මට වටිනවා. මේ මුද්‍රා නාට්‍යය ඇතුළේ ඉන්න එකම දමිළ කාන්තාව මමයි. මුද්‍රා නාට්‍ය කේෂ්ත්‍රය තුළ දමිළ කලාකාරිනියකට ලැබුණ ඉහළම අවස්ථාවක්.


මගේ ජීවිතයේ මීට කලින් මම මුද්‍රා නාට්‍යයක් කරලාම නැහැ. මේක මගේ පළමුවැනි මුද්‍රා නාට්‍යය. පුහුණුවන කාලයේ වැටිලා දණහිස ගොඩක් තුවාල වුණා. මොකද මට සමබරතාවය පුරුදු නැහැනේ.


ටෙලි නාට්‍යවලට ආරාධනා ලැබෙනවාද?. නැතිනම් ඒවා භාරගන්නේ නැතිද?


මෑත කාලයේ මම ටෙලි නාට්‍යයක වැඩකළා. එහි මුල් අදියරයේ රූගත කිරීම් සිදුකළා. මම යන්නේ නැහැ කියලා එකක් නැහැ. මම ආසයි වෙනස් චරිත කරන්න. හැමදාම අපිව කොටු කරන්නේ දමිළ චරිතවලට එහෙමත් නැතිනම් යුද්ධය සම්බන්ධ චරිතවලටනේ. වතුකරයේ, යාපනයේ ඉන්න දමිළ පවුල්වල චරිතවලටනේ. මම ඒකට ආසා නැහැ. චරිතයත් ජාතියත් ඒකක කොටුවෙලා තියෙනවාට මම ආසා නැහැ.


ඇත්තටම ඔබ වටා වැඩිපුර ඉන්න රසික පිරිස කවුද?


ඇත්තටම මට ආදරය කරන්නේ සිංහල ප්‍රේක්ෂකයන්. අදටත් මගේ ජයග්‍රහණයේ හෙවණැල්ල සිංහල ජනතාව සහ සිංහල ප්‍රේක්ෂකයන්. ඒක මම ඕනෑම තැනක බය නැතිව කියනවා.


ජීවිතයට මෙහෙම ආදරයක් ලැබේවි කියලා හිතුවද?


මම කවමදාවත් ජීවිතය ප්ලෑන් කරන කෙනෙක් නෙමෙයි. මම හැම තිස්සේම එන දේ භාරගන්න කෙනෙක්. මේ ආදරය මට ලැබෙන දේ. මම ඒක හරි නිහතමානිව භාරගන්නවා. මම ඇත්තටම ආඩම්බර වෙනවා ලංකාවේ දමිළ කලාකරුවෙක් වෙලා ලංකාවේම ජනතාවගේ ආදරය දිනන්න පුළුවන් මට්ටමට මම මගේ කලා ජීවිතය අරගෙන යනවා කියන එක බැලුවහම. අපේ රටේ සංහිඳියාවට මම හොඳ උදාහරණයක්. මට ගොඩක්දෙනෙක් ආදරය කරන්නේ මම දමිළ නිසාමයි. මම දමිළ වීම නිසාම සිංහල ප්‍රේක්ෂකයන් මාව විශේෂ කරලා තියෙන්නේ. දමිළ මිනිස්සුන්ට වඩා මට සිංහල ජනතාවගේ ආදරය ලැබිලා තියෙනවා. ඒක මට ගොඩක් තැන්වලදී දැනිලා තියෙනවා. මම ආඩම්බරයෙන් කියනවා සිංහල නිළියකට වඩා මේ ටැමිල් නිළියට සිංහල මිනිස්සු මාර ආදරෙයි.


දමිළ නිර්මාණවලට ලැබෙන ආරාධනා අඩුයි ද?


ලංකාවේ දමිළ නිර්මාණ සිදුකෙරෙනවා අඩුයි. අනිත් එක මට ඉන්දියාවට යන්න වුවමනාවක් නැහැ. හේතුව මට මේ රටේ මෙච්චර ගෞරවයක් ලැබෙනවා නම් ආදරයක් ලැබෙනවා නම් මොකටද මේ රට දාල යන්නේ.


ඉන්දියානු නිර්මාණවලට ආරාධනා ලැබෙනවා ද?


ඉන්දියාවේ ලොකු චිත්‍රපටවල වැඩකරන සහාය අධ්‍යක්ෂවරු මගේ හොඳ යාළුවෝ. විජයගේ චිත්‍රපටවල වැඩකරන සහාය අධ්‍යක්ෂතුමා මගේ හොඳ යාළුවෙක්. එයා වුණත් මට කියන්නේ නිරංජනී ඔයා මගේ හොඳ යාළුවෙක්, හැබැයි අද වෙනකම් ඔයා මගෙන් අවස්ථාවක් ඉල්ලලා නැහැ කියලයි. ඒකයි මම මෙච්චර ගරු කරන්නේ කියලත් කියනවා. මම එහෙම කෙනෙක්.


දිනේෂ් විතාන



Previous Post Next Post