රඟපාන චරිතවලින් අපේ පෞද්ගලික ජීවිතය මනින්න එපා -නිත්‍යා දේවින්දි

 



පාට කුරුල්ලෝ ටෙලිනාට්‍යය හරහා මේ දිනවල ඔබේ හදට රස මතක එක් කරන ඇය නමින් “නිත්‍යා දේවින්දි” දක්ෂ සුරූපී රංගන ශිල්පිනියක් වගේම රූපලාවණ්‍ය ශිල්පිනියක්ද වන ඇය ඇයගේ රස මතක පිරි කතාබහක් හදගැස්මට එක් කළේ මේ අයුරින්.  “පාට කුරුල්ලෝ” ටෙලිනාට්‍යයේ ඔබේ රංගනයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?


ලැබෙන ප්‍රතිචාර ගොඩක් හොඳයි. කලින් මම රංගනයෙන් දායක වූ “පාර දිගේ” ටෙලිනාට්‍යයට ලැබුණු ප්‍රතිචාර වගේම ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඉතින් මේ කැරැක්ටර් එකත් ටිකක් නපුරු කැරැක්ටර් එකක්. මම මේ වනතුරු රංගනයෙන් දායක වූ චරිතවලින් හොඳටම ප්‍රේක්ෂකයන් අතරට ගියපු චරිත විධියට ලැබිලා තිබෙන්නේ නපුරු චරිත. ඉතින් බොහෝ ප්‍රේක්ෂකයෝ එය රංගනයක් සහ මගේ දක්ෂතාව කියන තැන ඉන්නවා. නමුත් ඊට අනවශ්‍ය ලෙස බනින සුළු පිරිසක් ඉන්නවා. ඉතින් හැම දෙයකම දෙපැත්තක් තිබෙනවා සහ ඊට දැන් මම හුරුවෙලා.


මවක්, ගෘහණියක්, වෘත්තියක නියැළෙන්නියක් ලෙස කාල කළමනාකරණය කරගන්නේ කොහොමද?


ඒ ගැන කලින් නම් මට අදහසක් තිබුණේ නැහැ. මොකද කලින් මම එතරම් කාර්යබහුල කෙනකු නෙවෙයි. ඒ වගේම මම කාර්යබහුල වෙන්න කැමැති කෙනකුත් නෙවෙයි. නමුත් ඉතින් දැන් ව්‍යාපාර කටයුතුත් බබාගේ වැඩකටයුතුත් එක්ක ටිකක් කාර්යබහුල වෙලා තිබෙනවා. ඉතින් මම කාලසටහනකට වැඩ කරන කෙනෙක් නෙවෙයි. නමුත් මගෙ අතින් කොහොමහරි කාලය කළමනාකරණය වෙනවා. ඉතින් මගේ ව්‍යාපාරය දියුණු කරගන්න තමයි ප්‍රධානම අරමුණ තිබෙන්නේ.


බොහෝ තරුණියන් මවක් වූ පසු තම රුව ගැන සිතන්නේ අඩුවෙන් ඔබේ අදහස?


මම හිතන්නේ අම්මා කෙනකු වෙන්න කලිනුත් අම්මා කෙනකු වුණාට පසුත් අම්මා කෙනකු වෙන්න ඉන්න විටත් ඒ හැම කාලයකම අපි ලස්සනට ඉන්න ඕනෑ. අපි ලස්සනට ඉන්න ඕනේ කවුරුවත් වෙනුවෙන් නොවෙයි අපි වෙනුවෙන්මයි. අපිට අපිව කණ්ණාඩියෙන් බලනකොට ලස්සනයි කියලා හිතෙනකොට අපිට සතුටුයිනේ. ඉතින් මම ලස්සනයි කියලා පෙනෙන විට මට සතුටුයි. ඒ නිසා තමයි මම නම් ගොඩක් මගේ ලස්සන ගැන හිතන්නේ සහ එක පැත්තකින් මගේ සැමියාත් ඒ ගැන මට අවවාද කරනවා. මම හිතන්නේ කලා ක්ෂේත්‍රයේ පමණක් නෙවෙයි ඕනෑම අම්මා කෙනෙක් තමන්ගේ රුව ගැන හිතන්න ඕනෑ. දරුවෝ හදනවා කියන්නේ වෙනම දෙයක් සහ තමන්ගේ රූපය ගැන හිතලා ලස්සනට පිරිසුදුව පිළිවෙළට ඉන්නවා කියන්නේ තවත් දෙයක්. ඔය දෙකම කාන්තාවකට තිබෙන්න ඕනෑ කියලා තමයි මම හිතන්නේ.


ලාංකේය කලාකරුවන්ට නිසි ඇගයීම් ලැබෙනවාද?


නිසි ඇගයීම් ලැබෙන අවස්ථා තිබෙනවා. මෙහෙමයි දැනට අවුරුදු පහ හයකට කලින් ඇගයීම් ලැබිය යුත්තන්ට නොලැබී අනවශ්‍ය විධියට තේරුමක් නැති අයට ඇගයීම් ලැබුණු අවස්ථා තිබුණා. ඉතින් දැන් දැන් එහෙම නෑ. පසුගිය කාලය පුරාවටම හොඳ නිර්මාණ බිහිවෙනවා අපි දැක්කා. මම හිතන විධියට මේ වෙද්දි නම් කලාකරුවන්ට හොඳ ඇගයීමක් ලැබෙනවා. එකම ප්‍රශ්නය තිබෙන්නේ නපුරු චරිත හා කොමඩි චරිත ස්කෝර් කරන අයට තමයි ඇඟයීමක් ලැබෙන්නේ නැත්තේ.


සැලොන් හිමිකාරිනියක ලෙස තවකකු ඔබේ අතින් හැඩ කිරීමේ අත්දැකීම කොහොමද?


ඒ ගැන මට කලින් අදහසක් තිබුණෙ නෑ. ඒ අදහස මගේ සැමියාගේ. මම ඇත්තටම සෙල්ෆ් මේකප් එකක්වත් ට්‍රයි කරපු කෙනෙක් නෙවෙයි. මම සැලොන් එකකින් මේකප් කරන්න තමයි පුරුදු වෙලා හිටියේ සහ නැත්නම් බොහෝදුරට මම මේකප් නැතිව යනවා. නමුත් පසුව ටික ටික මම මගේ සෙල්ෆ් මේකප් එක කරගන්න පුරුදු වුණා. ඊට පසුව තමයි මම ඒ දේවල් ඉගෙනගෙන වෘත්තීයමය වශයෙන් මේ දේ කරන්න පටන් ගත්තේ. කෙනකු ලස්සන කරලා අනේ එයා හරි ලස්සනයි කියලා එයත් ඒ ගැන සතුටු වන එක වෙනම ෆීලින් එකක්. ඉතින් මම හිතන්නේ ඒ හැඟීම රූපලාවණ්‍ය ශිල්පීන් ශිල්පිනියන්ම විතරයි දන්නෙ. ඉතින් එයින් ලැබෙන ආත්ම තෘප්තිය මම දන්නවා මොකද මම ඒ වෘත්තියේ නියැළෙන නිසා.


තරුණියන් තම රුව වැඩිදියුණු කරගැනීමට හඹා යන වයිට්නින්ග් උන්මාදය ගැන ඔබේ අදහස?


අපි හැමෝම කැමැතියි ලස්සනට ඉන්න. කාටවත් කියන්න බෑ මේ මේ දේවල් පාවිච්චි කරන්න එපා කියලා. වයිට්නින්ග් කියන්නේ ඊයේ පෙරේදා ආපු පොඩි උන්මාදයක්. ඉතින් හම සුදු වුණා කියලා කෙනකු ලස්සනයි කියලා අපට කියන්න බෑ. නමුත් කෙනකු හිතනවා නම් මම කළුයි, මම ටිකක් සුදු වුණා නම් හොඳයි ලස්සනයි කියල ඒක එයාගේ පෞද්ගලික තෘප්තිය. ඉතින් කවුරුම හරි කෙනකු තමන්ට හානියක් නොවන මොනවම හරි දෙයක් භාවිත කරලා තමන්ගේ හිත සතුටු වන විධියට ලස්සනට ඉන්න පුළුවන් නම් ඒ දේවල් කරන්න. ඉතින් අපි ජීවත් වෙලා ඉන්න මේ පොඩි කාලයේ හිත සතුටු වන දේවල් කරන්න ඕනෑ.


රසික ආදරය ඔබට දැනෙන්නේ කෙසේද?


රසික ආදරය ඇත්තටම ඉතාම ඉහළයි. වර්තමානය ගැන කතා කළොත් ඒ වෙනුවෙන් මම අපේ “පාට කුරුල්ලෝ” ටෙලිනාට්‍යයේ නිෂ්පාදකතුමා චාමර සමරවික්‍රම අයියා, අධ්‍යක්ෂතුමා සිවගුරුනාදන් සර්, බුද්ධික සේමසිංහ අයියා මම ආදරයෙන් මතක් කරනවා සහ හිරු ටී.වී මාධ්‍ය ජාලයත් ආදරයෙන් මතක් කරන්න ඕනෑ. මම හිතන්නේ පාට කුරුල්ලෝ ටෙලිනාට්‍ය අතිශය ජනාදරයට පත්වෙලා තිබෙන්නේ. තවත් ලබන්න ආදරයක් නැහැ අපිට මොකද පසුගිය දවස්වල අපේ පාට කුරුල්ලෝ ටෙලිනාට්‍ය ට්‍රෙන්ඩින් වන් වුණා. ඒ වගේ නාට්‍යයක වැඩ කරන්න ලැබීමත් වාසනාවක්. ඒ හා සමානවම ජනප්‍රියත්වයක් ලබපු ටෙලි නාට්‍යයක් තමයි “පාර දිගේ” ටෙලි නාට්‍යය. සමහර වෙලාවට මිනිස්සුන්ට පාට කුරුල්ලෝ ටෙලිනාට්‍යයේ රංගනයට වඩා “පාර දිගේ” ටෙලි නාට්‍යයේ රංගනය තවම මතකයි. රසික ආදරය හැමතැනම ගියාම එක හා සමානව ලැබෙනවා. රසිකයෝ නිසා තමයි අපි ඉන්නෙ සහ ඔවුන් ආදරයෙන් අපේ නිර්මාණ වැලඳගත්තොත් තමයි අපට පැවැත්මක් තිබෙන්නේ.


නපුරු චරිතවලින් ප්‍රේක්ෂකයා අතරට වැඩිපුර පැමිණීමේදී පෞද්ගලික ජීවිතය ඒ ඔස්සේ විනිශ්චය කිරීම ගැන ඔබේ අදහස?


රසික ආදරය ලැබෙනවා වගේම එක පැත්තකින් සමහර මිනිස්සු කිසිම සෙවිල්ලක් නැතිව බනිනවා. අපි කොච්චර චරිතයක් නිර්මාණය කරන්නට මහන්සි වෙනවද කියන දේ අවබෝධයකින් තොරව පිස්සුවෙන් වගේ අපේ ගෙවල්වල අයටත් එක්ක බනිනවා. හේතුවක් නැතිව බැනුම් අහන එක කලින් නම් ටිකක් අමාරුයි. සමහර වෙලාවට සුදු චරිත කරන අයට වඩා කළු චරිත කරන අය පොළොවේ පය ගහලා ඉන්න හොඳ මිනිස්සු. අපි ඒවා දකින්නේ ෆීල්ඩ් එකේ ඉන්න අය නිසා. ඉතින් පිටින් ඉන්න මිනිස්සු ඒක දකින්නේ නැහැනේ. මිනිස්සු හැම වෙලාවකම ආදරයෙන් කමෙන්ට් කරන්න, ආදරයෙන් වැලඳගන්න පුරුදු වෙලා ඉන්නේ සුදු චරිත කරන මිනිස්සු විතරයි. ඉතින් ඒ දේ ලංකාව වගේ රටක වෙනස් වෙයි කියලා හිතන්න අමාරුයි. පෞද්ගලික ජීවිතය කවදාවත් චරිතයකින් මනින්න එපා කියලා මම ඕනෑ තරම් කියලා තිබෙනවා.


කළු චරිත භාර ගැනීමේ අභියෝගය ගැන කතා කරමු?


පෙම්වතිය කියන චරිතයට මම අකැමැති නෑ. දැන් වෙලා තිබෙන්නේ මම මිනිස්සු අතරට ගියපු චරිත දෙකම නපුරු චරිත. එහෙම වුණාම ෆීල්ඩ් එක තුළත් ඒ චරිතයටම කොටුවීමක් සිදුවෙනවා. මට ඒ වගේ චරිතවලට තවත් ආරාධනා ලැබුණා මම ඒවා පිළිගත්තේ නෑ. මොකද මට එකම විධියේ චරිත කරන්න අවශ්‍යතාවක් නෑ. මම දන්නවා මට වෙනස් විධියේ චරිතයක් ලැබුණොත් සාධාරණයක් කරන්න පුළුවන් කියලා.


ඔබේ ඉදිරි වැඩකටයුතු ගැනත් මතක් කරමු?


මම රංගන දායකත්වය ලබා දුන් ටෙලි නාට්‍යයක් විකාශය වීමට නියමිතයි. දැනට එපමණයි



Previous Post Next Post