ජනපද කල්‍යාණියගෙ මෙහෙණි කාලයට තමයි මම කැමැතිම- නිලූෂි පවන්‍යා

 



බුද්ධ මාතා චිත්‍රපටයේ ජනපද කල්‍යාණියට පණපොවන ඇය, පුංචි තිරයේදීත් රිදී තිරයේදීත් මේ දිනවල ඇස ගැටෙන චරිතයක්. කලා ලොවේ බැබළෙන දක්ෂ තරුණ රංගන ශිල්පිනියක් වන ඇය මෙවර හදගැස්මට එක්වුණා. මේ සොඳුරු කතාබහ නිලූෂි පවන්‍යාගෙන්. “බුද්ධ මාතා” චිත්‍රපටයේ ජනපද කල්‍යාණියගේ චරිතයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?


ජනපද කල්‍යාණියගේ චරිතයට ලැබෙන ප්‍රතිචාර ගොඩාක් හොඳයි. ඉතින් චිත්‍රපටය නැරඹූ බොහෝදෙනකු මට කෝල් කරලා සුබ පැතුවා. මගේ චරිතය චිත්‍රපටයේ දකින්න ලැබෙන්නේ එහි මැද හරියේදී. ඉතින් ඒ වුණත් ලැබෙන ප්‍රතිචාර ගොඩක් හොඳයි.


රංගන ශිල්පිනියකට කලාතුරකින් හිමිවන මෙහෙණියකගේ චරිත නිරූපණයේ භාග්‍යය ඔබට ලැබීම ගැන මොකද හිතෙන්නේ?


රංගන දිවියේ ගොඩාක් කලාතුරකින් තමයි මෙහෙණියකගේ චරිතයක් කෙනකුට ලැබෙන්නේ. බොහෝ වෙලාවට විවිධාකාර චරිත අපට ලැබුණත් මෙහෙණියකගේ චරිතයක් ලැබෙන්නේ ඉතාමත් අල්ප වශයෙන්. ඉතින් මේ චරිතය ලැබීමට තරම් මම හරිම වාසනාවන්තයි කියලා හිතනවා. කෙනකුට එවැනි චරිතයක් කරන්න ලැබීමම භාග්‍යයක්. සිවුරක් හැඳගෙන, හිස මුඩු කිරීමට නොහැකි වුණත් ඒ චරිතය මම කළේ හරිම ආශාවෙන්. මම රංගන දායකත්වය ලබා දුන්න චරිත අතරින් මම කැමැතිම චරිතය තමයි ඒ. ජනපද කල්‍යාණියගේ චරිතයේ මහණ වන කොටසට තමයි මම ගොඩක්ම කැමැති. කවුරු හරි මගෙන් ඇහුවොත් මම කැමැති ලස්සනට හැඳ පැලඳගෙන ඉන්න ජනපද කල්‍යාණියගේ චරිතයේ කාලයටද, නැත්නම් සිවුර පොරවාගත් කාලයටද කියලා මම කියන්නේ ඇත්තටම සිවුර පොරවා ගත් කාලයට කියලා තමයි. බුද්ධ මාතා චිත්‍රපටය රිලීස් වීමේදී මම මගේ සමාජ මාධ්‍ය ගිණුම් හරහා ගොඩාක්ම ෂෙයාර් කළෙත් මම සිවුර හැඳපු කාලයේ ෆොටෝස්.


“විශුද්ධා” චිත්‍රපටයේ රූගත කිරීම්වලට ජපානයට ගිය අත්දැකීම කොහොමද?


විශුද්ධා චිත්‍රපටයේ රූගත කිරීම්වලදී ජපානයේදී අපි නොහිතපු දේවල්වලට මුහුණ දෙන්න වුණා. භූමිකම්පා නිසා අපි නොහිතපු තැන්වල අපට ෂූට් කරන්න වුණා. ඒ වගේම අපි ජපානයට යන ගමනේදී අපේ ගුවන්යානය පැය දහයක පමණ කාලයක් පරක්කු වුණා. නමුත් අපි ඒ චිත්‍රපටයේ ෂූටිං ඉතාම සාර්ථකව හා ලස්සනට නිම කළා. නමුත් තවම ලංකාවේ එහි ෂූටිං තිබෙනවා. ඒ වැඩකටයුතුත් අවසන් වුණාම ඒ චිත්‍රපටයත් ලබන අවුරුද්දේ ඉක්මනින්ම රිලීස් වෙයි.


“බුද්ධ මාතා” චිත්‍රපටයේදී ඉන්දීය ශිල්පීන්ගෙන් ලැබුණු සහයෝගය හා අත්දැකීම් කොහොමද?


මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතවලට රංගන දායකත්වය ලබා දුන් සියලු දෙනාම ඉන්දියාවේ රංගන ශිල්පීන්. ඉතින් ඔවුන්ට අපේ භාෂාව තේරෙන්නේ නැහැ. මම හිතන්නේ සුනිල් සර් ඔවුන්ට ඉතාම හොඳින් උපදෙස් දී ඉතාම ලස්සනට ඒ චරිත නිරූපණයට උදවු කළා. මම මුල්ම කාලයේ ඔවුන් සමඟ මුහුවුණේ නැහැ. පසු කාලයේ තමයි ඔවුන් සමඟ එකට වැඩ කටයුතු කළේ. ඔවුන් සහ අපි වැඩ කරන විධිය හාත්පසින්ම වෙනස්. නමුත් ඔවුන් හරි හොඳයි. ලංකාවේ චිත්‍රපට නිර්මාණය වන විධිය පිළිබඳව ඔවුන්ට ලොකු දැනුමක් නැහැ. ඔවුන්ගේ සහයෝගයත් සමඟ ලංකාවේ සියලුම දෙනා ගොඩක් මහන්සි වී ඉතාමත් දක්ෂ විධියට චරිත නිරූපණය කළා. මම ඒ සියලුම දෙනාව මතක් කරනවා. චිත්‍රපටයට දායක වූ ඉන්දීය නළු නිළියන් වගේම අපේ රටේ කලාකරුවන්වත් මම අගයන්න ඕනෑ.


ඔබ සිතන ආකාරයට වර්තමානයේ කලාකරුවාට ලැබිය යුතු නිසි ඇගයීම් ලැබෙනවාද?


වර්තමානයේ ලංකාවේ කලාකරුවන්ට නිසි ඇගයීමක් ලැබෙනවාද කියද්දී ප්‍රශ්නයක් තිබෙනවා. ලංකාව කියන රට තවම සංවර්ධනය වෙමින් පවතින රටක්. ඒ තුළ කලාකරුවකුට වුණත් කරන්න පුළුවන් සීමාව ඉතාමත් පටුයි. මම හිතන්නේ අපේ කලාව ඇතුළේ ගොඩක් දේවල් වෙනස් වෙන්න ඕනෑ. ගුරු වෘත්තිය, වෛද්‍ය වෘත්තිය වගේම එක වෘත්තියක් තමයි කලාව කියන්නේ. වැඩ කරන කාලයේ සීමාවක් නැතිව විවේකයක් නැතිව වැඩ කරන කෙනෙක් තමයි කලාකරුවා කියන්නේත්. ඉතින් දවසට සරිලන මුදල් ප්‍රමාණයක් කලාකරුවාට ලැබෙන්න ඕනෑ. මීට වැඩියෙන් කලාකරුවාට තැනක් තිබෙන්න ඕනෑ. ලංකාවේ සියලුම කලාකරුවන් ගොඩක් මහන්සි වී කැපවී කලාව ඇතුළේ වැඩ කරනවා. ඒ හැම දෙයක්ම කරන්නේ මිනිසුන්ගේ රසවින්දනය වෙනුවෙන්. ඉතින් ඔවුන් වෙනුවෙන් මීට වැඩිය හොඳ ඇඟයීම් ලංකාව තුළ ක්‍රියාත්මක කරනවා නම් කලාව තවත් දියුණු කරනවා නම් හොඳයි කියල මට හිතෙනවා.


නර්තනය සම්බන්ධව උපාධියක්  තබාගෙන ඒ  ක්ෂේත්‍රයෙන් යමක් නොකරන්නේ ඇයි?


නර්තනය සම්බන්ධ උපාධියක් තිබුණට මම ඒ දෙයින් ඇත්තටම ප්‍රයෝජනයක් අරගෙන නැහැ. ඊට හේතු වුණේ මම රංගන ක්ෂේත්‍රයට අහම්බයෙන් ඇවිත් මේ ක්ෂේත්‍රයට ආදරය කරන්න පටන් ගත්තා. මම මේ දේ කරන්නේ හරිම ආසාවෙන් සහ මේ තැන මට දැනෙන තැනක්. ඉතින් දිනෙක බලමු ඉගෙන ගත්ත දෙයින් ප්‍රයෝජනයක් ගන්න දෙයක් පටන් ගන්න හිතාගෙන ඉන්නවා. ඒ අංශයෙනුත් ප්‍රයෝජනයක් ගනීවි ඉදිරියට.


ඔබ බටහිර ආරයේ චරිත තුළ වැඩිපුර දකින්නට ලැබෙනවා නේද?


සමහර වෙලාවට අපි එක චරිතයක් කළාම ඒ වගේම චරිතවලට අපට කතා කරනවා. සමහර වෙලාවට අපි අඳින පලඳින විධියත් එක්ක ඒ දේ වෙන්නත් පුළුවන්. මට ගොඩක්ම ලැබුණේ බටහිර ආරයේ චරිත. ඇත්තටම මම හරිම අකැමැතියි ඒ විධියෙම චරිත මට ලැබෙනවාට. ගැමි චරිතයක් කරන්න මම හරිම ආසාවෙන් ඉන්නවා. එකම විධියේ චරිතයකට කොටුවීම වෙනස් කරන්න පුළුවන් වෙන්න ඕනෑ.  අධ්‍යක්ෂවරු හැමදාම අපිව එකම කෝණයකින් දැක්කොත් අපි එකම විධියේ චරිතවලට කොටු වෙනවා. එය දක්ෂතා සැඟවී යන අපරාධයක් කියලා තමයි මට දැනෙන්නේ.


තරුණ රංගන ශිල්පිනියක් විධියට වයිට්නින්ග් උන්මාදය හා සිරුරේ අංගෝපාංග රූපලාවණ්‍ය සැත්කම් හරහා වෙනස් කර ගැනීමේ ලංකාවේ රැල්ල ගැන ඔබේ අදහස?


මිනිසුන්ට තමන් කැමැති දේවල් කිරීමේ අයිතිය අනිවාර්යයෙන්ම තිබෙනවා. මේ ලෝකයේ ඕනෑම මනුස්සයෙක් අවලස්සන වන්න දේවල් සොයන්නේ නැහැ. අපි සියලුම දෙනා ලස්සන වෙන්න තමයි හැම දෙයක්ම කරන්නේ. ඉතින් ලස්සන වෙන්න මිනිසුන්ට කැමැති දේවල් කරන්න පුළුවන්. නමුත් ඒ දේ කරන්න ඕනෑ හරි ප්‍රවේශමෙන්. ගොඩක් ලස්සන වෙන්නේ ගිහින් සමහර වෙලාවට තිබෙන ලස්සනත් නැති වෙනවා. හැම දෙයකටම සීමාවක් තිබෙනවා. ඒ සීමාවෙන් එහා ගියොත් තමයි අපිට දේවල් අහිමි වන්නේ. ඒ සීමාවේ ඉඳලා ලස්සන වෙන්න දේවල් කරන්න පුළුවන්. මගේ නම් ඒ දෙයට කිසිම විරුද්ධත්වයක් නැහැ. මම හිතන්නේ අපට ලැබුණු කාලය අපි සතුටෙන් ඉන්න ඕනෑ. ලස්සනට ඉන්න ඕනෑ. ජීවත්වන කාලයේ ලස්සනට විඳවන්නේ නැතිව ජීවිතය විඳිමින් අපට ලස්සනට ඉන්න පුළුවන්. අපේ සීමාව ඇතුළත ලස්සන වෙන්න හරි ප්‍රමිතියෙන් යුක්ත දේවල් තෝරාගෙන සොයා බලා භාවිත කරන්න පුළුවන්.


ඉදිරි වැඩකටයුතු ගැනත් මතක් කරමු?


ඉදිරියේදීත් මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට මාව සිනමාවෙන් දැකබලා ගන්න පුළුවන් වෙයි. ඉතින් ඉදිරියට සිනමා නිර්මාණ කිහිපයක් තිරගත වීමට නියමිතයි. පියවරෙන් පියවරට මගේ වැරැදි, අඩුපාඩු හදාගෙන ඉදිරියට යන්න තමයි බලාපොරොත්තුව. ඉදිරියේදී ටෙලි නාට්‍යයකට දායක වන්නත් අලුත් අවුරුද්දේම සූදානම් වනවා.



Previous Post Next Post