මම දුව කියලා තාත්තා විශේෂයක් කරන්නේ -දෙවංගි නවෝද්‍යා

 



දෙවංගි නවෝද්‍යා වික‍්‍රමසිංහ. ඇය ප‍්‍රවීණ නර්තනාචාර්ය සහ නර්තන ශිල්පී චන්දන වික‍්‍රමසිංහ සහ දිල්හානි වික‍්‍රමසිංහ යුවලගේ කුලුඳුල් දියණියයි. ඔස්ට්‍රේලියාවේ වැඩිදුර අධ්‍යාපනය ලැබූ දෙවංගි මේ වෙද්දී උපාධිධාරිනියක් වගේම ගුරුවරියක්. දෙවංගි මේ දිනවල ලංකාවට ඇවිත්. ඒ සිය පියා වන ප‍්‍රවීණ නර්තනාචාර්ය සහ නර්තන ශිල්පී චන්දන වික‍්‍රමසිංහ 2025 වසරේ මුලින්ම වේදිකාවට ගෙන The Noir Queen Kuweni මුද්‍රා නාට්‍යය වෙනුවෙන්. දෙවංගි එහි භද්දකච්චායනා කුමරිය ලෙසින් ප්‍රසිද්ධ වේදිකාවට අවතීර්ණ වෙනවා. ඒ ගැන පිනිපලස සමග දෙවංගි කළ කතා බහයි මේ...




දෙවංගි කාලෙකින්, කොහොමද ඉතින්




හ්ම්... හොඳින් කාලය ගත වෙනවා.




මේ දවස් වල දිගටම පුහුණුවීම් නේද?




ඔව්. මේ දවස් ගත වෙන්නේ The Noir Queen Kuweni මුද්‍රා නාට්‍යයේ පුහුණු වීම් එක්ක.




භද්දකච්චායනා කුමරිය වෙන්න ලැබීම ගැන මොකද හිතෙන්නේ?








මම හිතන්නේ මම ගොඩක් වාසනාවන්තයි. මොකද මේ The Noir Queen Kuweni මුද්‍රා නාට්‍යයට සම්බන්ධ වෙලා ඉන්නේ ජ්‍යෙෂ්ඨ නර්තන ශිල්පීන්. විශේෂයෙන්ම තාත්තාගේ ගුරුවරු වන ආචාර්ය රවී බන්දු විද්‍යාපති සර් මහාචාර්ය මුදියන්සේ දිසානායක සර් වැනි නර්තන ලෝකයේ දැවැන්තයින් එක්කම එකම වේදිකාවේ නටන්න ලැබීමම මම ලබපු භාග්‍යයක්.




තාත්තා යටතේ පුහුණුව ලබන එකත් ලෙහෙසි පහසු නැහැ නේද?




මම ඉස්සරත් තාත්තගේ නැටුම් කණ්ඩායමේ නටලා තියෙනවා. නමුත් පළමු වතාවට තමයි මේ තරම් දැවැන්ත බැලේ ප්‍රඩක්ෂන් එකක වැඩ කරන්නේ. ඒ නිසා මේ තුළින් ලබන අත්දැකීම හරි වෙනස්. තාත්තා මම අඩියක් වැරැද්දුවොත් සහ අවධානය වෙන පැත්තක තියෙන්නේ කියලා දැනගත්තොත් කෑගහන වෙලාවන් තියෙනවා. කොහොමත් තාත්තා පුහුණුවීම් කරද්දී මම දුව කියලා විශේෂයක් කරන්නේ නැහැ. මම වැඩිපුර පුහුණුවීම් වෙන්නේ තාත්ත යටතේ පුහුණු වුණු පුහුණුකරුවන් එක්ක. ඇත්තටම මටත් පහසුයි ඒ අය එක්ක පුහුණුවීම් වෙන්න.


ප්‍රසිද්ධ වේදිකාවට එන්න මේ තරම් ප්‍රමාද වුණේ ඇයි?




මම වසර හයක පමණ කාලයක පටන් මේ වෙනකම් ඔස්ට්‍රේලියාවේ ඉන්නේ. උසස් පෙළ ඉවර වුණු ගමන් මම උසස් අධ්‍යාපන කටයුතු ලබන්න ඔස්ට්‍රේලියාවට ගියා. අතරින් පතර නිවාඩුවට ආවම තාත්තගේ ඉවෙන්ට්ස්වලට සහභාගි වෙලා තියෙනවා. නමුත් දිගින් දිගටම මට තාත්තගේ ප්‍රසංගවලට සහභාගී වෙන්න ලැබුණේ නැහැ. ඒ නිසායි මාව වැඩිපුර වේදිකාවේ නොදකින්නේ.




දැන් අධ්‍යාපන කටයුතු අවසන් ද?




මේ වෙද්දී මම පශ්චාත් උපාධිය අවසන් කරලා ඉන්නේ. මම ඉදිරියට තව ඉගෙන ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා මාස්ටර්ස් සහ PHD එක දක්වා. හැබැයි මම මේ වෙද්දී ගුරුවරියක් විදියට වැඩ කරන නිසා මගේ ඉගෙනීම් කටයුතුවලින් පොඩි විරාමයක් අරගෙන තියෙනවා.


ඉදිරියේ දී සිනමා නිර්මාණවලින් දකින්න ලැබෙන බවට ආරංචි තියෙනවා?




මේ වෙද්දීත් තාත්තට ගොඩක් ඇරයුම් ලැබිලා තියෙනවා මාව නිර්මාණවලට දායක කරන්න කියලා. නමුත් වැඩි කාලයක් මම ඔස්ට්‍රේලියාවේ ඉන්න නිසා ගොඩක් වැඩ මග හැරෙනවා. හැබැයි මම හැම නිවාඩු කාලයකම ලංකාවට එනවා. ඒ ආවත් ඉතින් අවුරුද්දකට මාසයකට අඩු කාලයක් තමයි මම ලංකාවේ රැඳෙන්නේ. ඉතුරු මාස 11ම මම ඉන්නේ ඔස්ට්‍රේලියාවේ. ඒ නිසා තමයි ලැබෙන හොඳ ඇරයුම්වලට පවා කාලය වෙන් කරගන්න බැරුව මග හැරිලා යන්නේ. බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා.




දිගටම කලාව කරන්න ආස නැද්ද?




නිවාඩුවට ආවම අවස්ථාව ලැබෙන විදියට මම කලා කටයුතු කරනවා. ඕස්ට්‍රේලියාවේ දී මම ඉන්දියාවේ ආටිස්ලා එක්ක වැඩ කරනවා. මේ ළඟදී මම ලොකුතායි ඉන්දියන් ඩිසයිනර් වෙයාර් ලේබල් එකක් එක්ක වැඩ කළා. මම ඕස්ට්‍රේලියාවේ හිටියත් එහෙදි ලැබෙන අවස්ථාවන් ප්‍රයෝජනයට ගන්නවා. මෙහෙ ආවම ලැබෙන අවස්ථාවන්වලට සම්බන්ධ වෙනවා.




තාත්තා නම් කිව්වෙ දෙවංගි අම්මගේ ඉල්ලීම් සහ ආශාවන් ඉටුකරා, දැන් තාත්තාගේ බලාපොරොත්තු ඉටු කරන්න කාලය ඇවිත් කියලා, ඒ ගැන මොකක් ද කියන්න තියෙන්නේ?




ඔව්. තාත්තා හරි ආසයි මම නටනවා සහ රඟපානවා බලන්න. එයාට ඕනේ මාව කලාවට ගේන්න. හැබැයි අම්මි හැම වෙලාවේම කිව්වේ මොනවා තිබ්බත් අධ්‍යාපනය නැත්නම් වැඩක් නැහැ කියලා. මට දැන් අවුරුදු 24ක් ඉවරයි. අවුරුදු 25 ලබන්නේ. මට දැන් තේරෙනවා අම්මා කිව්වා වගේම අධ්‍යාපනයේ තියෙන වටිනාකම. මොනවා වුණත් මම මගේ අම්මට තාත්තට ගරු කරනවා, මට හොඳ අධ්‍යාපනයක් ලබාගන්න මාව උනන්දු කලාට සහ උපරිම සහයෝගය ලබා දුන්නාට. මේ වෙද්දී මට උපාධියක් තියෙනවා. ඒ එක්කම මට ගුරුවරියක් විදියට කටයුතු කරන්න අවශ්‍ය කරන සුදුසුකම් සපුරාගෙන තියෙනවා. මට ඒ හැම අධ්‍යාපනයක්ම ලබන්න උදව් කළේ අම්මා තාත්තා. මට තව ඉගෙන ගන්න ඕනේ. ඒ එක්කම අම්මාගේ බලාපොරොත්තු ඉටු කළා වගේම තාත්තාගේ බලාපොරොත්තුත් ඉටු වෙයි. මේ බැලේ එකත් එහි ආරම්භය වෙන්න පුළුවන්.


දෙවංගි ජනප්‍රිය චරිතයක් වෙන්න කැමැති නැද්ද?




ඔව් මම ජනප්‍රිය වෙන්න ඕනේ කියන තැන එදත් නැහැ අදත් නැහැ. මම සරලව නිදහසේ මගේ පාඩුවේ වැඩක් කරගෙන ඉන්න කැමැති කෙනෙක්.




ඔස්ට්‍රේලියාවේ ගතවන ජීවිතය කොහොමද?




දැන් අම්මයි මල්ලිලා දෙන්නයිත් ඉන්නවා. ඒ නිසා දැන් හරිම පහසුයි. මම උදේ වැඩට ගිහින් ගෙදර ආවම අම්මා තේ එක හදලා දෙනවා. කෑම බීම ඔක්කොම අම්මා හදනවා. ඉස්සර මම තනියම ඉන්න කාලේ ඒ ඔක්කොම දේවල් කර ගත්තේ මමයි. ඒ කාලය තුළ මට ෆැම්ලි එක කියන එක ගොඩක්ම මිස් වුණා. තාත්තත් නිවාඩුවක් ලැබුණු ගමන් ඔස්ට්‍රේලියාවේ එනවා. ඒ නිසා දැන් ෆැමිලි එක කියන එක තියෙනවා. හදිසියක් වුණත් කරදරයක් වුණත් අම්මා මා ළඟ කියන හැඟීම මට තියෙනවා. ඒ නිසා ඔස්ට්‍රේලියාවේ ගතවන ජීවිතය සුන්දරයි.




යෞවනයේ ඉන්න ඔබට ආදරේ දැනෙන්නේ කොහොමද?




අපේ පරම්පරාව ගත්තම ආදරේ දකින විදිය වෙනස්. ඒක ඇත්තටම මෙහෙමයි කියලා කියන්න හරි අමාරුයි. මම විශ්වාස කරන දෙයක් තමයි ඇත්තම ආදරේ තියෙන්නේ අම්මා තාත්තා ගාව. ඒ නිසා මට කෙනෙක් ආදර යෝජනාවක් ගෙනාවත් මම ඒ කෙනාට කැමැත්ත වුණත් දෙන්නේ අම්මගෙන් තාත්තාගෙන් අහලා. මොකද මම දන්නවා අම්මා තාත්තා අපිට වඩා සමාජය ගැන දන්නවා. ඒ නිසා එයාලගෙන් අහලා තමයි මම තීරණ ගන්නේ.




ආදරවන්තියක් ද?




තවම නැහැ




ජනවාරි 3 කුවේණි මුද්‍රා නාට්‍යයට ඇරයුම් කරන්න පුළුවන් ආදරණිය ප්‍රේක්ෂකයන් ට




මම මුල ඉඳන්ම මේ The Noir Queen Kuweni මුද්‍රා නාට්‍යයේ තිරෙන් පිටුපස සිද්ධීන් දැක්ක කෙනෙක්. තාත්තා ඉස්සර ඉඳන්ම ගෙදරදී කුවේණි ගැන කියනවා. පේෂල මාමා එක්ක වුණත් නිතරම කතා කරනවා. ඒ නිසා තාත්තා අවුරුදු ගාණක් තිස්සේ දරපු මහන්සියේ ප්‍රතිඵලයක් තමයි ජනවාරි 3 වේදිකාගත වෙන්නේ. තාත්තා කොච්චර මහන්සි වුණාද සහ තවත් මහන්සි වෙනවද කියන එක අපි දන්නවා. ඒ නිසා මට වැඩි වගකීමක් තියෙනවා චන්දන වික්‍රමසිංහගේ දියණිය විදියට. මොකද හැමෝම බලන් ඉන්නේ මම නටන්නේ කොහොමද? මට නටන්න පුළුවන් ද කියන එක පවා. ඒනිසා මම දකින්නේ The Noir Queen Kuweni මුද්‍රා නාට්‍යය මට පැවරුණු වගකීමක් විදියට. මම මේ කාලය කැප කරලා තියෙන්නේ ඒ වගකීමට සාධාරණය ඉෂ්ට කරන්න. ඉතින් ආදරණිය ප්‍රේක්ෂකයන්ට ආරාධනා කරනවා ජනවාරි 3 The Noir Queen Kuweni මුද්‍රා නාට්‍යය සියැසින් දැක බලා ගන්න නෙලුම් පොකුණ රඟහලට එන්න කියලා.




දැන් ආයෙමත් ලංකාවෙන් යන්නෙ කවදද?




අවුරුදු 7කට පස්සේ තමයි මාස දෙකක් වගේ කාලයක් ලංකාවේ ඉන්න ආවේ. ජනවාරි අන්තිම තමයි ආයෙම ඔස්ට්‍රේලියාවට යන්නේ. මේ කාලය මම වෙන් කරලා තියෙන්නේ The Noir Queen Kuweni මුද්‍රා නාට්‍යයේ පුහුණුවීම්වලට.



2025 බලාපොරොත්තු මොනවද?




ලොකු ලොකු බලාපොරොත්තු නැහැ. ඉදිරියේදී කලාවට සම්බන්ධ වෙන්න ආසාවක් තියෙනවා. ඒ එක්කම දැන් මම ගුරුවරියක් නිසා මගේ මුල් තැන දීලා තියෙන්නේ මගේ යටතේ ඉගෙන ගන්න ළමයින් වෙනුවෙන්. මම උත්සහ කරන්නේ මගෙන් ඉගෙන ගන්න ළමයින්ව හොඳ තැනකට ගෙන්න. බලාපොරොත්තු ඉතින් නිරන්තරයෙන් එකතු වෙන්න පුළුවන්. ඒ නිසා තව ඉස්සරහට එක එක බලාපොරොත්තු එන්න පුළුවන්. දැනට ඔය ටික තමයි.




Previous Post Next Post