කළු සහ සුදු යන දෙවර්ගයේම චරිත ඔස්සේ ප්‍රේක්ෂකයා වෙත සමීප වන ඔහු කලා ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක්. ඒ වගේම මේ දිනවල විකාශය වන ‘රස රහසක්’ ටෙලි නාට්‍යයේ සහ තවත් ටෙලි නිර්මාණ කිහිපයකින්ම ඔබ අතරට පැමිණෙන ඔහු දක්ෂ රංගන ශිල්පියෙක්. මේ දක්ෂ කලාකරුවා හදගැස්ම අපත් සමඟ කතාබහට එක් වුණා. ඔහු නමින් රංගන ශිල්පී මිලින්ද මඩුගල්ල.
‘රස රහසක්’ ටෙලිනාට්‍ය ගැන කතා කරමු?
මේ ටෙලි නාට්‍යයේ රූගත කිරීම් පටන් අරගෙන අවුරුද්දක් පමණ වෙනවා. අරුණ ජයවර්ධන අයියා, සුනෙත් මාලිංග ලොකුහේවා අයියත් සමඟ කතා කරලා තමයි මෙහි තිරපිටපත ලිව්වේ. මේ ටෙලිනාට්‍ය චිත්‍රපටයක් ඇසුරෙන් නිර්මාණය වුණත් මමත්, සජිතත් දෙන්නම ඒ චිත්‍රපටය බලලා තිබුණේ නැහැ. අපි ඒ චිත්‍රපටයේ තිබුණු දේවල් ඇක්ටින්වලට ගත්තෙත් නැහැ. ලෝකයේ සාමාන්‍යයෙන් වෙනත් නිර්මාණයකින් අනුවර්තනය වන, පරිවර්තනය වන ටෙලි නාට්‍ය, චිත්‍රපට ඕනෑ තරම් නිර්මාණය අපිට දකින්න
පුළුවන්. මම දැක්කා ෆේස්බුක් පේජස්වල මේ ටෙලි නාට්‍ය සම්බන්ධයෙන් ගොඩක් විවේචන දාලා තිබුණා. ගොඩක් අය ටෙලි නාට්‍ය බලන්නෙත් නැතුව තමයි එහෙම විවේචන දාන්නේ. ලෝකෙම දුවන්නේ එක චක්‍රයකට. යම් නිර්මාණයක අනුවර්තනයක් බිහිවන එක සාමාන්‍ය කාරණාවක්. මම ඒ දෙය සාමාන්‍යකරණය කරනවා නෙවෙයි. නමුත් ඒක නොකියා බැහැ. අපි ටෙලි නාට්‍යයේ භාවිත කරලා තිබෙන දර්ශනතල පවා මිනිස්සුන්ට ප්‍රිය උපදවන වෙනස්ම ආකාරයක ස්ථාන.
ඔබට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර ගැනත් කතා කරමු?
කපිල සුගත් විජේරත්න අධ්‍යක්ෂණය කළ ‘අහස්’, චරිත් අබේසිංහ අධ්‍යක්ෂණය කළ ‘බඹරෙක් ඇවිත්’ කියන ටෙලි නාට්‍යවලට මම මේ දවස්වල රංගනයෙන් දායක වෙනවා. ‘බඹරෙක් ඇවිත්’ ටෙලි නාට්‍යයේ මම ඩොක්ටර් කෙනකුගේ චරිතයකට රංගනයෙන් දායක වෙනවා. මම රංගනයෙන් දායක වන ටෙලි නාට්‍ය වටා සිටින ප්‍රේක්ෂක පිරිස එකිනෙකාට වෙනස්. ‘අහස්’ සහ ‘රස රහසක්’ කියන ටෙලි නාට්‍ය දෙකේම මම ප්‍රති වීරයාගේ චරිතවලට රඟපානවා. නමුත් බඹරෙක් ඇවිත් ටෙලි නාට්‍යයේ හරිම හොඳ ඩොක්ටර් කෙනෙක්ගේ චරිතයකට තමයි මම රඟපාන්නේ. ඒ චරිතයට තමයි ඉතා හොඳ ප්‍රතිචාර ලැබෙන්නේ.
ප්‍රති වීරයාගේ චරිතය තුළින් ප්‍රේක්ෂකයා අතරට පැමිණීම අභියෝගයක් නොවේද?
බඹරෙක් ඇවිත් ටෙලි නාට්‍යයේ මම රඟපාන්නේ ඩොක්ටර් කෙනෙක්ගෙ චරිතයක්. ඒ චරිතය ටෙලි නාට්‍යයේ සිටින ඉතාම හොඳ චරිතයක්. ‘See you’ ටෙලි නාට්‍යයේ දේශපාලනය හා සම්බන්ධ චරිතයත් හොඳ චරිතයක්. එක් එක් චරිතයේ ලක්ෂණ ගත් විට මේ චරිත කරන හැමෝම යක්ෂයෝ නෙවෙයි. ලෝකයේ කළු මිනිස්සුත් නැහැ. සුදු මිනිස්සුත් නැහැ. ඉන්නේ අළු පාට මිනිස්සු. ඒ කියන්නේ හැමෝටම හොඳ නරක දෙකම තිබෙනවා. අපි නිර්මාණයක් ඇතුළේ යම් කිසි චරිතයක් රඟපෑවට, එළියෙ සමාජයේදී සරල සාමාන්‍ය මිනිස්සු. මමත් විහිළුවක් එහෙම කරලා සාමාන්‍ය විධියට ඉන්න මනුස්සයෙක්. ඉතින් එළියේදී කවුරුවත් මට එහෙම බැනලා නැහැ. බොහෝ වෙලාවට ජනප්‍රිය වෙන්නෙත් අපි රඟපාන කළු චරිත.
ඔබ දකින ආකාරයට කලා ක්ෂේත්‍රය තුළ විය යුතු වෙනස්කම් මොනවාද?
අවුරුද්දක දෙකක වගේ ඉඳන් කලා ක්ෂේත්‍රය තුළ යම් පුනරුදයක් තිබෙනවා. විවිධාකාරයේ නිර්මාණ බිහි වෙනවා. ඒ සමඟ ටෙලි නාට්‍යවල ගුණාත්මක බව වැඩිවෙලා තිබෙනවා කියලා මට හිතෙනවා. අද වෙනකොට අලුත් අධ්‍යක්ෂවරු ක්ෂේත්‍රය තුළ දකින්නට ලැබෙනවා. ඒ වගේම කලාව තුළ තරගකාරිත්වයක් දකින්න තිබෙනවා. නමුත් ක්ෂේත්‍රයේ තිබෙන ගැටලුවක් තමයි ටෙලි නාට්‍යවලට ගෙවන මුදල ඉතා අඩු වීම. අන්න ඒ දෙය හැදුණොත් තමයි නිෂ්පාදකයාට තවත් හොඳ නිර්මාණයක් කරන්න හැකියාව ලැබෙන්නේ. ඉදිරියේදී මේ දේවල්වලට රජය මැදිහත් වේවි කියලා මම හිතනවා. ඉන්දියාවේ ගුණාත්මක බවින් අඩු නිර්මාණ වගේම ගුණාත්මක නිර්මාණත් බිහි වෙනවා. නමුත් ලංකාවේ නාළිකාවලින් තෝරා ගන්නේ හොඳම ටෙලි නාට්‍ය ටික විතරයි. වෙනත් රටවල නිර්මාණය වන සමහර ටෙලි නාට්‍ය බලන්නවත් බැහැ. ඒවා ඒ තරම් ගුණාත්මක බවින් අඩු ටෙලි නාට්‍ය. ඇත්තටම අපේ රටේ එහෙම දෙවල් නිර්මාණය වෙන්නෙ නැහැ. අපේ රටේ නිර්මාණය වන ටෙලි නාට්‍ය බලන්න පුළුවන් මට්ටමේ තිබෙනවා. ඇත්තටම අපි සාමාන්‍යයෙන් මාර කොලිටියි කියන නිර්මාණ බිහි වෙන්නෙ නැත්තේ නිර්මාණයක් වෙනුවෙන් යොදවන පිරිවැය අඩු නිසා. අපි රඟපාන්න ගියහම දවසට සීන් දහය පහළොව ගන්නවා කියන්නේ අපිටත් හරි අමාරුයි. එතකොට අපේ මුහුණෙන් පේන්නේ වෙහෙසකර බවක්. අන්න ඒ දේවල් තමයි හැදෙන්න ඕනෑ. ඒ දේවල් හදන්නේ නැතිව මුකුත් හදන්න බැහැ.
කලා ක්ෂේත්‍රය තුළට පැමිණෙන නවක රංගන ශිල්පීන්ශි-ල්පිනියන් ගැන ඔබේ අදහස?
ඉතාම හොඳට රඟපාන්න පුළුවන් දක්ෂ පිරිසක් සිටිනවා. ටික්ටොක් වගේ සමාජ මාධ්‍යවලින් ඇවිල්ලා බය නැතුව රඟපාන අය ගොඩක් ඉන්නවා. නමුත් ගැටලුව වෙන්නේ ඒ වගේ සමාජ මාධ්‍යවලින් පැමිණි අයගේ විනය හදා ගන්නේ කොහොමද කියන එකයි. මම විනය කියලා අදහස් කරන්නේ ඒ අය අඳින පලඳින විධිය නෙවෙයි. රංගන ජීවිතයේදී චිත්‍රපටය හෝ ටෙලි නාට්‍ය ඇතුළෙ ගොඩනඟා ගත යුතු විනයක් තිබෙනවා. අනෙකාට වගේම තමන් නිරතවන වැඩේට ගෞරව කිරීම, වෙලාවට වැඩ කිරීම, භාර ගත්ත වැඩේ අවසන් කිරීම වගේ දේවල් මේ ක්ෂේත්‍රය තුළ තිබෙනවා. අපි තුළ ඒ දේවල් ගොඩනැඟෙන්නෙ කාලයක් තිස්සේ ඒ දේවල් ඉගෙන ගත්ත නිසා. අන්න ඒ අභ්‍යාසය නැතිව දක්ෂතාව තුළින් පමණක් ක්ෂේත්‍රයට එන අය මඟදි ටෙලි නාට්‍ය අත්හැරලා යනවා. දින දෙන්නෙ නැතිව ඉන්නවා, එහෙම නැතිනම් ෆෝන් ආන්සර් නොකර ඉන්නවා. ටිකක් ජනප්‍රිය වුණාම, පේපර් ආටිකල් එකක් පළ වුණාම ඒක මාරයි කියලා හිතාගෙන විනය අතින් පහළට වැටෙනවා නම් ඒක ලොකු අවුලක්.
රංගන ශිල්පියෙක් එකම චරිතයකට කොටු වීම රංගනයෙන් ඉදිරියට යෑමට බාධාවක්ද?
ලංකාවේ විලන් කෙනෙක්ගේ චරිතයකට හෝ ස්ත්‍රී ලෝලියෙක්ගේ චරිතයට කාව හරි තෝරා ගන්නවා නම් ඒ කලාකරුවව දිගටම ඒ චරිතවලටම තෝර ගන්නවා. ඒක තෝරා ගැනීමේ තිබෙන ලොකු වැරැද්දක්. රංගන ශිල්පීන්ව ඒ අයට සුදුසු කුමන චරිතයද කියලා තෝරන්න ඔඩිෂන්වලට ගෙන්නන අවස්ථා තිබෙනවා. මම අදටත් ඒ වගේ ඔඩිෂන්වලට සම්බන්ධ වෙනවා. ඒ වගේම නිර්මාණයක අධ්‍යක්ෂණය ඉතාම වැදගත්. රංගන ශිල්පියෙක්ගේ හැකියාව එළියට එන්න අධ්‍යක්ෂකවරයාගේ සහ පිටපත් රචකයාගේ දායකත්වය ඉතාම වැදගත්.
ලාංකේය සිනමාව පිළිබඳ ඔබේ අදහස?
ජාත්‍යන්තර සිනමාව සහ ලාංකේය සිනමාව ගත්විට ලාංකේය සිනමාවට විශාල වාණිජමය සිනමාවක් දක්වා යන්න බැහැ. නමුත් කලාත්මක සිනමාව තුළින් අපි දැනටමත් ගොඩක් සම්මාන අරගෙන තිබෙනවා. ලෝකයේ වැඩිම පිරිවැයක් යොදවපු සිනමා නිර්මාණ වැඩිම ආදායමක් උපයා තිබෙනවා. එංගලන්තයේ ඩ්‍රාමා තියෙටර්ස් වගේම, මූවි තියටර්ස් වෙනම තිබෙනවා. ඉතින් රසිකයෝ ඒ අයට කැමැති චිත්‍රපට, ඒ ඒ තියෙටර්වලට ගිහින් බලනවා. දැන් ලංකාවෙත් එක් සිනමා ශාලාවක ටයිම් තුනකට චිත්‍රපට තුනක් පෙන්වනවා.
එතැනින් අපි කැමැති චිත්‍රපටයනේ අපි බලන්නේ. දේවි කුසුමාසන චිත්‍රපටයට කෝටි 18ක් වැනි පිරිවැයක් යොදවා තිබුණා. ලංකාවේ ඒ වගේ පිරිවැයක් වියදම් කරලා නිර්මාණ හැදෙනවා හරිම අඩුයි. සාමාන්‍යයෙන් ඒ රටවල සමහර ආටිස්ට්ලගේ බජට් එකත් කෝටි 20-50ක් පමණ වෙනවා. ඉතින් ඒ වගේ වාණිජ සිනමාවකට අපිට දැන්ම යන්න බැහැ. ඉදිරියේදී ඒ දේවල් නිර්මාණය වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.
රංගන කටයුතු සඳහා බිරියගෙන් ලැබෙන සහයෝගය ගැනත් මතක් කරමු?
ඇත්තටම මගේ බිරිය මට කිසිම වැඩක් කරන්න දෙන්නෙ නැහැ. මගේ වැඩ හැම දෙයක්ම ඇය කරලා දෙනවා. බබාලා දෙන්නවත් බලාගෙන ඇය මට දෙන සහයෝගය ගැන වචනවලින් කියන්න බැහැ.
නයෝමි ෂර්මිලා