කිසිම වෙලාවක පාතාලය උත්කර්ෂයට නඟන්න එපා-හර්ෂ තෙන්නකෝන්

 



ඔහු ලාංකේයක කලා ක්ෂේත්‍රය තුළ තම අනන්‍යතාව තහවුරු කළ කලාකරුවෙක්. රංගන ශිල්පියෙක් ලෙස විවිධ චරිත රඟ දක්වමින් ප්‍රේක්ෂක සන්තානය කැලඹූ ඔහු විසල් රංගන හැකියාවක් ඇති රංගන ශිල්පියෙක්. මේ දිනවල තම නව නිර්මාණය වෙනුවෙන් කාලය කැපකර සිටින ඔහු අධ්‍යක්ෂණයට පිවිසෙන බවට ආරංචියක් අපිට දැනගන්න ලැබුණා. අද ඒ පිළිබඳව තතු බෙදා ගැනීමට එක්වන්නේ ප්‍රවීණ රංගන ශිල්පී හර්ෂ තෙන්නකෝන්. 


මේ දවස් ගෙවී යන්නේ කොහොමද?


මේ දිනවල මම රංගනයෙන් දායකත්වය සපයන මී මැස්සා ටෙලිනාට්‍ය සමඟ කාලය ගෙවී යනවා. ඒ වගේම මම ටෙලිනාට්‍යයක් නිර්මාණයක් කළා. ඉතින් එය නාළිකා කිහිපයකට ලබා දීලා ඔවුන්ගෙන් පිළිතුරක් එනතුරු බලා සිටිනවා.


ඔබේ රංගනයේ තිඹිරිගෙය වන්නේ වේදිකාවයි. මේ ගැන කතා කරමු?


මම මගේ රංගන දිවිය අරඹන්නේ වේදිකාවෙන්. ඒ කාලේ මට විවිධ වැඩවලට ආරාධනා ලැබුණා. නමුත් මම ඒවා ප්‍රතික්ෂේප කරමින් වේදිකාව තුළ රංගනය කියන කලාව ප්‍රගුණ කළා. වේදිකාව හරහා තමයි අපි සාමූහික වැඩ කරන්න ඉගෙන ගන්නේ. ඒ වගේම අපිට ඉවසීමෙන් යුතුව වැඩ කරන්න විශාල පරිචයක් වේදිකාව තුළින් ලැබෙනවා. එය ඉතා වැදගත්. අපිට ඩිජිටල් මාධ්‍ය තුළ එය දකින්න බැහැ. මොකද ඉන්පසුව බොහෝ අය ජනප්‍රියත්වය සොයන්න මුදල් පසුපස හඹා යන්න පටන් ගන්නවා. මම වේදිකාව තුළ තිබෙන සාමූහිකත්වයට වගේම එකිනෙකා අතර තිබෙන බැඳීමට ඉතා ආදරේ කරන කෙනෙක්. එය ජීවිත කාලයටම වැදගත් වන කාරණයක්.


නේත්‍රා දේවි ගැන කියමු. නවකතාවක් සිනමාවට ගෙන ඒම මොන වගේ අභියෝගයක්ද?


අමිල උක්වත්ත කියන මගේ මිත්‍රයාගේ පළමු නවකතාව තමයි නේත්‍රා දේවි කියන්නේ. ඉතින් අපි දෙදෙනා අතර ජීවිතය, කලාව සහ දේශපාලනය ගැන ලොකු කතාබහක් තිබුණා. අමිල මට කිව්වා ඔහුට තිරපිටපතක් ලියන්න ආසයි කියලා. ඉන්පසුව අපි ඔහුගේ නවකතාව ටෙලිවිෂනයට උචිත ආකාරයට වෙනස් කළා. ඉතින් අපි දෙදෙනා කතාබහ කරමින් ඔහු මෙහි තිරපිටපත රචනා කළා. අපි අත්විඳ තිබෙන විධියට පොත්වලින් හැදුණු නිර්මාණවලට බොහෝ දෙනෙක් කැමැති නැහැ. මට පවා එහෙමයි. මේ මාධ්‍ය දෙක වෙනස්. පාඨකයා පොත විඳින ආකාරයයි අධ්‍යක්ෂවරයා එයින් නිර්මාණයක් කරන ආකාරයයි එකිනෙකට වෙනස්. ඉතින් මේ දෙක පටලවා ගන්න හොඳ නැහැ. ඉතින් පාඨකයාගේ සිහින නොමරා නිර්මාණයක් කිරීම විශාල අභියෝගයක් විධියට මම දකිනවා.


රංගන ශිල්පියෙක් වීම අධ්‍යක්ෂවරයෙක් වීමට ලබාදෙන ආලෝකය මොනව ගේද?


මම මුලින්ම නළුවෙක් වෙන්න හිතාගෙන හිටියේ නැහැ. මම අධ්‍යක්ෂවරයෙක් වෙන්න තමයි සිතාගෙන සිටියේ. මම වේදිකා නාට්‍ය කිහිපයක් අධ්‍යක්ෂණය කරලා තිබෙනවා. මගේ පෙනුම මත හෝ කුමක් හෝ කාරණයක් මත මට ටෙලිවිෂනයේ වැඩ කරන්න ආරාධනා ලැබුණා. ඉතින් මට අධ්‍යක්ෂණය ගැන හිතන්න බැරි තරමට වැඩ කන්දරාවක් ලැබුණා. ඒ නිසා මට අධ්‍යක්ෂණය කියන දෙය මඟහැරුණා. මම ටෙලිවිෂනයට ඇවිල්ලා වසර 12ක් විතර. මම කැමැති අධ්‍යක්ෂණය කරන්න. මගේ සිහිනය වුණේ අධ්‍යක්ෂණය කරන්න. මට එයින් විශාල තෘප්තියක් ලැබෙනවා කියා මම සිතනවා.


කලාකරුවා දේශපාලනික විය යුතුද ඒ වගේම නව දේශපාලනික වෙනස කලාවට මොන වගේ බලපෑමක් කරයිද?


මම විවිධ අවස්ථාවල දේශපාලනිකව මැදිහත් වෙලා තිබෙනවා. නමුත් මම එලෙස මැදිහත් වී තිබෙන්නේ පක්ෂ දේශපාලනයකින් තොරව කියන දෙයත් පැහැදිලිව මතක් කරන්න ඕන. මම ප්‍රතිපත්තියක් ලෙස ජීවිතය සහ කලාව තුළ නොකරන දේවල් කිහිපයක් තිබෙනවා. මම පක්ෂයක් වෙනුවෙන් වැඩ කරන්නේ නැහැ කියන තීරණයේ දැඩිව සිටින කෙනෙක්. මට විවිධ පක්ෂවලින් ආරාධනා ලැබිලා තිබෙනවා. ඒ වගේම සමහර පක්ෂ සමඟ මගේ නම ඈඳිලා තිබෙනවා. නමුත් මම කවදාවත් පක්ෂ දේශපාලනය කළේ නැහැ. තමන්ට අවශ්‍ය දේශපාලනයක් සිදුකිරීම ඒ කලාකරුවාගේ අයිතිය. ලෝකයේ කලාකරුවා සිටින්නේ දේශපාලනයට උඩින්. ජීවිතය තිබෙන තුරාවට රටේ ඕනෑම තීරණාත්මක මොහොතක මම රටේ අභිවෘද්ධිය වෙනුවෙන් පෙනී සිටිනවා.


රාජගිරිය පැටී අදටත් සමාජ මාධ්‍ය තුළ වරින් වර මේ චරිතය පිළිබඳව අපිට දකින්න ලැබෙනවා ගිනි අවි සහ ගිනි කෙළි ගැනත් මතක් කරමු?


මම මේ චරිතයට පණ පෙව්වේ 2012දී වගේ. ගිනි අවි සහ ගිනි කෙළි ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය කළේ සාරංග මෙන්ඩිස්. ඔහු මට හමුවුණු විශිෂ්ට ගණයේ අධ්‍යක්ෂවරයෙක්. ඔහු මාව වෙනස් විධියකට දැක්කා. මම රෝමාන්තික පෙම්වතා සහ හිතුවක්කාර කොල්ලා ලෙස රඟපාන විට ඔහු මට මේ අවස්ථාව ලබාදුන්නා. නමුත් එහෙම නොවුණා නම් මට ඒ දවස්වල ලංකාවේ සිහින කුමාරයා බවට පත් වෙන්න තිබුණා. නමුත් මට කිසිසේත්ම සිහින කුමාරයා වෙන්න වුවමනාවක් තිබුණේ නැහැ. අද උදෙත් මම එළියට ගියාම මට මිනිස්සු පැටී කියලා කතා කරනවා. මම ඉපදුනේ මරදානේ. මම හැදුණේ වේයන්ගොඩ. ඉතින් පාතාලේ ජීවිතය ගැන මම දැකපු දේවල් ගොඩක් තිබෙනවා. හැබැයි නව පරපුරට මම කියන්න ඕන පාතාලය කිසිම විටක උත්කර්ෂයට නඟන්න එපා. එය අවුල් සහගත වැඩක්. එහෙම වීරයෝ නැහැ. මගේ මිත්‍රයෝ පවා ඔය දේවල් නිසා නැති වුණා. ඉතින් එවැනි දේවල් උත්කර්ෂයට නැඟිය යුතු නැහැ. සමහර අය මමත් එහෙම කෙනෙක් කියලා හිතනවා. ඒත් මම එහෙම කෙනෙක් නෙවෙයි.


ඔබ කැමැතිම ලේඛකයා සහ පොත කුමක්ද?


මම මේ මොහොතෙත් පොතක් කියවන ගමන් ඉන්නේ. මම අන්තිමටම කියෙව්වේ කැලුම් වැලිගම ගේ අසීමා කියන පොත. එහෙම එක පොතක් තෝරන එක හරිම අපහසු වැඩක්. මාව ගොඩක් ෂොක් කරපු පොතක් තමයි ලියනගේ අමරකීර්තිගේ අටවක පුත්තු කියන්නේ. ඇට මැස්සා, ජීවිතය අන් තැනක, යතුරු සිදුරෙන් එබී බලන්නා වැනි පොත්වලට මම හරිම කැමැතියි. මම ගොඩක්ම කියවමින් සිටියේ පරිවර්තන කෘති. නමුත් දැන් මම ලාංකේය සාහිත්‍යයත් කියවනවා. මාව ලාංකේය සාහිත්‍ය කියවන්න පෙලඹවූයේ මගේ පෙම්වතිය වන උපේක්ෂා ගලප්පත්ති.


ඔබේ ජීවිතයට විශාල ලෙස බලපෑමක් කළ නිර්මාණයක් ගැන කියමු?


ගිනි අවි සහ ගිනි කෙළි මගේ ජීවිතයට විශාල බලපෑමක් කළා. මගේ රංගනය වෙනස් විධියකට ප්‍රේක්ෂකයා වෙත රැගෙන ගිය නිර්මාණයක් විධියට එය පෙන්වා දෙන්න පුළුවන්. සූරිය කුසුම ටෙලිනාට්‍යයේ මගේ චරිතයටත් මම කැමැතියි. ඒ නිසාම තමයි මට උපේක්ෂාවත් මුණගැසුණේ. ඒ නිසාම මට ඒ නාට්‍ය හරිම වැදගත්. මේ ටෙලිනාට්‍ය දෙක මගේ ජීවිතය වෙනස් කළා.


අනාගත බලාපොරොත්තු මොනවාද?


මම පැහැදිලිවම මේ වන විට මගේ අධ්‍යක්ෂණය වෙනුවෙන් මගේ කාලය වෙන් කර තිබෙනවා. බොහෝ දුරට මගේ ඊළඟ නිර්මාණය  සිනමාපටයක් වෙයි කියා සිතනවා. ඒවගේම මම මගේ ඊළඟ නිර්මාණයේ තිරපිටපත රචනා කිරීමට ලෑස්ති වෙමින් සිටිනවා. ලංකාව වගේ රටක ලොකු බලාපොරොත්තු තියාගන්න බැහැ. මගේ ජීවිතයේ ඉදිරි කාලය ඉතා සාමකාමීව ගෙවන්න මම අදහස් කරනවා. ඉතින් ඉදිරි කාලය තුළ මම මගේ ජීවිතයේ සතුට මා තුළින්ම සොයාගන්න උත්සාහ කරනවා.


ගිහාන් සචින්ත



Previous Post Next Post