පවුලේ සැවොම එකට හිඳ නැරැඹිය යුතු ‘හදගැස්ම’ චිත්‍රපටයේ ‘යශෝධා’ගේ චරිතයට පණ පොවන ඇය දක්ෂ සුරූපි රංගන ශිල්පිනියක්. ශ්‍රී ලාංකේය කලාවට වේදිකාවෙන්, පුංචි තිරයෙන්, රිදී තිරයෙන් රසබර මතක එක් කරමින් ප්‍රේක්ෂක හදට ළෙන්ගතු වූ ඇය නමින් ‘ශාලිකා එදිරිසිංහ’.
කාලයකට පසුව ඔබව මේ දිනවල රිදී තිරයේ දකින්නට ලැබෙනවා නේද?
ඇත්තටම මම රිදී තිරයේ දකින්නට ලැබෙන්නේ අවුරුදු ගණනාවකට පසුව තමයි. නමුත් මම රංගනයෙන් දායක වූ ටෙලි නාට්‍ය හා වේදිකා නාට්‍ය නිරන්තරයෙන් රූපවාහිනියේ, වේදිකාවේ දැකගන්න පුළුවන් වුණා. ඉතින් අවුරුදු 8ක විතර කාලයකින් පසුව තමයි මම රංගන දායකත්වය ලබා දුන් ෆිල්ම් එකක් මේ දිනවල තිරගත වන්නේ.
ඔබේ සහෝදර රංගන ශිල්පියකු අධ්‍යක්ෂණය කළ ‘හදගැස්ම’ තිර පිටපත ගැන මොකද හිතෙන්නේ?
මගේ සහෝදර රංගන ශිල්පියෙක් අකිල සඳකැලුම්. ඔහු ලොකු විරාමයක් අරගෙන, ටිකක් රංගනයෙන් ඈත් වෙලා හොඳ අධ්‍යයනයකින් පසුව සත්‍ය කතාවක් ඇසුරෙන් හදගැස්ම චිත්‍රපටය ලියා තිබෙනවා. ඒ වගේම ඔහු තමයි මෙහි අධ්‍යක්ෂණයත් කළේ.
ඉතින් මට ගොඩක් සතුටුයි. ඔහු තරුණ අධ්යක්ෂවරයෙක්. අපට අද කාලයට ගැළපෙන අප්ඩේට් වෙන අලුත් අධ්යක්ෂවරු බිහි වෙන්න ඕනෑ. ඔහු අද කාලයට, අද සමාජයට ගැළපෙන විධියට සහ මේ පවුල් සංස්ථාව ඇතුළේ තිබෙන වැදගත්ම බැඳීමක් වන සහෝදර බැඳීම ගැන තමයි මේ නිර්මාණයෙන් කතාබහට ලක් කරන්නේ. මේ නිර්මාණයට මට දායක වීමට ලැබීම ගැන ගොඩක් සතුටු වුණා. මේ හරහා ආදරය, වෛරය, ආරක්ෂාව, සහෝදරයන් අතර තිබෙන ඒ ආදරණීය බැඳීම ගැන ගොඩාක් හොඳට කියැවෙනවා.
හදගැස්ම චිත්‍රපටය තරුණ පරම්පරාව නැරැඹිය යුතුම චිත්‍රපටයක් වන්නේ ඇයි?
අද කාලයේ ගොඩාක් වෙලාවට සහෝදර සහෝදරියන් අතර එවැනි ගැටුම්කාරී තත්ත්වයන් තිබෙනවා. ඕනෑවට වැඩිය කෙනකුට ආදරය කිරීමට යෑම තුළිනුත් එතැන පොඩි ගැටලුවක් ඇති වෙනවා. මුරණ්ඩුකමක් ඇතිවනවා. නමුත් අපි ආදරය කරන විට ඒ කෙනාට සියලු සැප සම්පත් දිය යුත්තේ ජීවිතය කියන දේ තේරුම් ගනිමින් . අපි සියලු දේවල් දුක්විඳලා ලබාගෙන තව කෙනකුට ඒ දේවල් එක්වරම දෙනවිට එහි වටිනාකම දැනෙන්නේ නැහැ. අපි ඒ කෙනාටත් ඒ දේවල් ලැබුණ විධිය ගැන අවබෝධ කර දෙන්න ඕනෑ. සහෝදර සහෝදරියන් අතර බැඳීම අද කාලයේ ගොඩක් අඩුවෙලා තිබෙනවා. ඉතින් අපේ ආදරණීය සහෝදර සහෝදරියන්ට දුවලා පුතාලට ජීවිතයේ මඟහැරුණු තැන් ගැන මේ නිර්මාණයෙන් ඉගෙන ගන්න පුළුවන්.
ලංකාවේ වේදිකා නාට්‍ය කලාවේ ඉදිරි ගමන ගැන ඔබේ අදහස?
ලංකාවේ මේ වනවිට තව තවත් වේදිකා නාට්‍ය නිර්මාණ බිහි වෙනවා සහ බොහෝදෙනකු වේදිකා නාට්‍ය නැරැඹීමට පුරුදු වෙලා තිබෙනවා. ඉතින් වේදිකාව කියන්නේ ආර්ථික වශයෙන් ලොකු ආදායමක් ගෙනෙන දෙයක් නෙවෙයි. නමුත් බොහෝ වෙලාවට වේදිකාවෙන් මිල මුදලට වඩා දේවල් අපි හම්බ කරගන්නවා. විශාල ප්‍රේක්ෂක ආදරයක්, වගේම වේදිකා නාට්‍ය තුළින් අපි ජීවිතයට බොහෝ අත්දැකීම් ලබා ගන්නවා. වේදිකාව රංගන පාසලක් වගේ. දැනට පවතින තත්ත්වයට වඩා ඉහළ තැනක තිබෙන්න ඕනෑ දෙයක් තමයි වේදිකා නාට්‍ය කියන්නේ. ලංකාවේ වේදිකා නාට්‍ය පෙන්වීමට අවශ්‍ය රංග ශාලා පහසුකම් සීමිතයි. ඒ නිසා මියුසිකල් ෂෝ එකක් පෙන්වනවා වගේ අපට වේදිකා නාට්‍යයක් පෙන්වන්න බැහැ. ඉතින් සුළු මුදලකට තමයි වේදිකා නාට්‍ය පෙන්වන්නේ. මේ වන විට ලෝකය වටාම වේදිකා නාට්‍ය හරිම ජනප්‍රියයි. වේදිකා නාට්‍ය ඉදිරියට නැතිවම බැරි දෙයක් වෙයි. වේදිකාව කියන්නේ සුබවාදී හැඟීම් ඇති කරන තැනක්. මම ගොඩක් වේදිකාවට ආදරෙයි. මොකද මම වේදිකාවෙන් කලාවට පිවිසුණ කෙනෙක්.
ආදරය හා විවාහය ගැන ඔබේ කියැවීම ගැන කතා කරමුද?
ආදරය කියලා කියන්නේ මනෝභාවයක්. හිතට දැනෙන දෙයක්. ඇත්තටම ආදරය කියන්නෙම අනෙකාගේ සතුට. අපට කෙනකුට හදවතින්ම ආදරය කරන්න පුළුවන්. සමහරවිට ඒ ආදරය කරන විට දෙදෙනාගේ නොගැළපීම් මත වෙන් වුවත් අපට ආදරය කරන්නට පූර්ණ අයිතියක් තිබෙනවා. තමන්ගෙන් නොලැබෙන දෙයක් නිසානේ කෙනකු තවකකු ළඟට යන්නේ. අපට ඒ කෙනාගේ සතුටෙදී ඒ දිහා බලලා සතුටු වෙන්න පුළුවන් නම් ඒක පරිත්‍යාගයක්. අපේ මවුපිය ආදරය දිහා බැලුවත් එතැනත් පරිත්‍යාගයක් තමයි
තිබෙන්නේ. ඔවුන් කිසිම දෙයක් බලාපොරොත්තු නොවී ඕනෑම දෙයක් දරුවන්ට පරිත්‍යාග කරනවා. ඒ දෙයට තමයි ආදරය කියන්නේ. ආදරය ඇත්තටම සාගරය වගේ කියලා අපි කියනවා. එහි සීමාවක් නෑ. නමුත් වෙලාවකට ආදරය කියන්නේ වේදනාවක්. ඒ වේදනාව හිතට දැනෙන්නෙත් අපි සාගරය වගේ ආදරය කරපු නිසා. මම හිතන්නේ ආදරය ගැන දැනගන්න නම් විරහව විඳලා තිබෙන්නම ඕනෑ. විවාහය කියන්නේ සංස්කෘතිමය වශයෙන් නීත්‍යනුකූලව ඇතිවන බැඳීමක්. ආදර බැඳීම් කියන්නේ මගේ ජීවිතයට ලොකු වේදනාවක් ගෙනාව දෙයක්. මම විවාහ වෙන්න බලාපොරොත්තුවක් නෑ. තනිකඩ ජීවිතය හරිම සරලයි.
ලංකාවේ අධ්යක්ෂවරු මෙරට කලාවට ඔබෙන් ලබාගත් දායකත්වය ගැන ඔබ තෘප්තිමත්ද?
මම හිතන්නේ කලාවට මගෙන් ලැබුණු දායකත්වය ප්‍රමාණවත් නෑ. මොකද නිර්මාණ කරන්න ඕනෑ තරම් චරිත අප වටා තිබෙනවා. එහෙම බැලුවම මම දායක වෙලා තිබෙන්නේ හරිම සීමිත ප්‍රමාණයකට. අපට කරන්නට තිබෙන දේවල් මිය යන තෙක්ම කරලා අවසන් කරන්නට නොහැකියි කියලා මම හිතනවා. මම විවිධාකාර චරිත නිරූපණයට කැමැතියි. තව කරන්නට දේවල් බොහෝ තිබෙනවා.
අද වන විට සමාජ මාධ්‍ය කෙනකුගේ ජනප්‍රියත්වයට වගේම චරිතයට හානි කරන්නත් යොදා ගන්නවා. ඔබේ අදහස?
සමාජ මාධ්‍ය අද ලෝකයේ ජනප්‍රියම සන්නිවේදන මාධ්‍ය බවට පත්වෙලා තිබෙනවා. ඒ නිසාම ගැටලුකාරී තත්ත්වයක් මතුවෙලත් තිබෙනවා. ෆේස්බුක් තුළ වුවත් ව්‍යාජ ගිණුම් හරහා කෙනකුගේ ජීවිතයට හානි කරන්න පුළුවන්. සමාජ මාධ්‍ය තුළ ඉතා ශීඝ්‍රයෙන් ඕනෑම දෙයක් ප්‍රචාරය කිරීමට හැකියාවක් තිබෙනවා. එය ව්‍යාජ ප්‍රචාර සඳහා යොදා ගැනීම කොතරම් හානිදායකද?
යහපත් හා නිවැරැදි දේ තමයි අප ප්‍රචාරය කළ යුත්තේ.යුරෝපීය රටවල පොලිසිවල නිල ෆේස්බුක් හා ට්විටර් වෙබ් අඩවි තිබෙනවා. ඒ නිසාම කටකතා පැතිරීම් අඩුවෙලා තිබෙනවා. ලංකාවේ රාජ්‍ය ආයතන මීට වඩා සමාජ මාධ්‍ය ඔස්සේ ක්‍රියාකාරී වීම අත්‍යවශ්‍යයි කියලා තමයි මම හිතන්නේ. සමාජ මාධ්‍ය දැන් මුදල් උපයන මාර්ගයක්නේ.
වීවර්ස්ලා, සබ්ස්ක්‍රයිබර්ස්ලා වැඩි කර ගැනීම වෙනුවෙන් ලංකාවේ බොහෝ වෙලාවට භාවිත කරන්නේ නෙගටිව් මාර්කටින්. ඒ හරහා තව කෙනකුගේ චරිතයකට කොයිතරම් හානියක් වෙනවාද කියලා හිතන්නේ නැහැ. නමුත් නිවේදකයෙක් හෝ නිවේදිකාවක් විධියට යම් ශික්ෂණයක් තිබෙන්න ඕනෑ. යම් වැඩසටහනක් ඉදිරිපත් කිරීමේ දී වුවත් අනෙකාගේ පෞද්ගලිකත්වයට හානියක් නොවන විධියට තමයි එය හැසිරවිය යුත්තේ. එතැනදී විනයානුකූලව සහ ලස්සන, සුන්දර තැන් කතා කරමින්, කලාකරුවකුගෙන් සමාජයට එකතු කරගත හැකි දේවල් කතාබහට ලක් කරන්න පුළුවන්. ඉතින් අපි දැනුවත්ව, හරි අවබෝධයකින් සමාජ මාධ්‍ය භාවිත කරන්න ඕනෑ.
ඉදිරියේදී ප්‍රේක්ෂකයාට ගෙන එන අලුත් නිර්මාණ වැඩකටයුතු ගැන මතක් කරමුද?
ටෙලි නාට්‍ය හා චිත්‍රපට කිහිපයක්ම ඉදිරියේදී ප්‍රේක්ෂකයන්ට ලැබීමට නියමිතයි. මේ දිනවලත් අලුත් චිත්‍රපටයක වැඩකටයුතු කරගෙන යනවා.