මට තරුවක් වෙන්න උවමනාවක් නැහැ... - චානුක ප්‍රබුද්ධ

 


චානුක... මේ දිනවල කාර්යබහුලයි වගේ?

ඔව්... ඇත්තටම මේ දිනවල “මායාවී”‍, ”සින්ටෝ”, “විසේකාරී” සහ “සිහින ගෙනෙන කුමාරි”‍ නිසා ටිකක් කාර්යබහුල වෙලයි ඉන්නෙ.


සංකල්ප මේ දිනවල හරි ජනප්‍රියයි නේද?

ඔව්නෙ. “මායාවී”‍ ටෙලිනාට්‍යයේ මම රඟපාන්නෙ සංකල්ප කියන චරිතයයි. එම ටෙලිනාට්‍යයේ පිටපත් රචකයා මහේෂ් රත්සර මද්දුමආරච්චි. “මායාවී”‍ ප්‍රබල වෙන්නෙ ඒ තිර පිටපත නිසයි. මම මේ ක්ෂේත්‍රයට පිවිසෙන්නෙ ඔහු මාර්ගයෙන්. ඒ නිසා මගේ ගුරුවරයා ඔහුයි. සංකල්ප, හිතෛශි ඇතුළු හැම චරිතයක්ම ගොඩනැගුණේ ඔහුගේ අතින්. ඒ වගේම මෙම ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයා සඳුන් රාජකරුණා. මේ සඳුන් අයියා එක්ක සම්බන්ධ වුණු මගේ පළමු නිර්මාණයයි. ඔහු වෙනස් අධ්‍යක්ෂවරයෙක්. ඔහු ළඟ හරි අපූරු හොඳ ගුණාංග තියෙනවා. ඔහු හරි නිහතමානී අධ්‍යක්ෂවරයෙක්. හොඳ බුද්ධියක් හා හොඳ අවබෝධයක් තියෙන අධ්‍යක්ෂවරයෙක්. මායාවී ටෙලිනාට්‍යයේ මම වැඩිපුර රඟපාන්නෙ දුශේනි එක්කයි. ඇය දක්ෂ නිළියක්. ඇයගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. ඒ වගේම අනිත් සියලු‍ දෙනාවම මම ආදරයෙන් මතක් කරනවා.


රංගන ශිල්පියෙක් වීම පුංචි කාලේ ඔයා දැකපු හීනයක්ද?

නැහැ. පුංචි කාලේ මම ව්‍යාපාරිකයෙක් වෙන්න ආසා කළා. මම රංගන ශිල්පියෙක් වීම මගේ තාත්තාගේ හීනයක්. තාත්තයි මාව නිරූපණ ක්ෂේත්‍රයට, රංගන ක්ෂේත්‍රයට යොමු කරන්න හීන දැක්කෙ. මාව කලාවට සම්බන්ධ කරන්න තාත්තාට ලොකු උවමනාවක් තිබුණා. තාත්තාගේ මඟපෙන්වීමෙන් මම කලාවට සම්බන්ධ වුණා. හැබැයි මගේ අවාසනාවට මම රංගන ශිල්පියෙක් වෙන්න කලින් මගේ තාත්තා නැතිවුණා. අදටත් කොහේ හරි තැනක ඉඳගෙන තාත්තා බලාගෙන ඉන්නවා ඇති.


චානුක ව්‍යාපාර ක්ෂේත්‍රයට යොමුවෙන්න ආසා කළේ ඇයි?

මගේ තාත්තා යුද හමුදාවේ උසස් නිලයක් දරපු කෙනෙක්. තාත්තාට අපි තුන්දෙනාට හොඳට උගන්වන්න ඕනෑ වුණා. මට අක්කලා දෙන්නෙක් ඉන්නවා. අපේ අම්මා නැතිවෙද්දි මම පොඩියි. එතැන ඉඳන් අපිට හොඳට උගන්වන්න තාත්තාට ඕනෑ වුණා. ඒ විදිහටම අපේ තාත්තා අපිට හොඳට ඉගැන්නුවා. මාව විදෙස් රටකට යවලා උපාධියක් ලබාගන්න හැම වියදමක්ම දැරුවා. ඒ දේත් එක්ක විදෙස් රටක ව්‍යාපාරයක් කරන්නත් මට ඕනෑ වුණා. ඒක මගේ සැලසුම වුණා. හැබැයි දෛවය කියන දේ හරි සුන්දරයි කියලා දැන් මට හිතෙනවා. ඒ හැමදේම වෙනස් වුණා. මගේ අක්කලා දෙන්නා අද විදෙස්ගතවෙලයි ඉන්නෙ. ඒ දෙන්නම හොඳින් සතුටින් ඒ අයගේ ව්‍යාපාරික කටයුතු, රැකියාවල් කරගෙන සතුටින් එහේ ජීවත් වෙනවා.


චානුකගේ පියා යුද හමුදාවේ ඉහළ නිලධාරියෙක්. ඔහුට චානුකව කලාවට යොමු කරන්න ඕනෑ වුණේ ඇයි?

තාත්තා මා තුළින් කලාකරුවෙක් දකින්න ඇති. පුංචි කාලේ මම හරි දඟයි. හැමදේටම ඉදිරිපත් වෙනවා. ඒ නිසාම තාත්තා තුළ මා ගැන දැක්මක් තියෙන්න ඇති.


රංගන ශිල්පියෙක් ලෙස ඔබ යෙදෙමින් ඉන්නෙ වෙහෙසකාරී රැකියාවක. විදෙස්ගතවෙලා උපාධියක් ලබාගත්ත ඔයාට මේ වෙහෙසකාරී හැඟීම දැනෙන්නෙ කොහොමද?

මගේ ප්‍රේක්ෂකයන්ගේ ආදරය මට ලැබෙන්න කලින් “මම මොකක්ද මේ කරන්නෙ? මීට වඩා ව්‍යාපාරයක් කරලා හොඳ ජීවිතයක් මට ගත කරන්න පුළුවන්නෙ”‍ කියලා හිතිලා තියෙනවා. ඇත්තටම මේක වෙහෙසකාරී රස්සාවක්. අපි මේ දේ කරන්නෙ අපේ හැඟීමත් එක්කයි. දුකක හිටියත්, සතුටක හිටියත් කැමරාව ඉස්සරහ අපිට ඒ මොහොතේ සිටිය යුතු විදිහට රඟපාන්න වෙලා තියෙනවා. මේක හරි අමාරු වැඩක්. හැබැයි ඒ කැපකිරීම් කරලා, ඒ දවසේ රූගත කිරීම් අවසාන කරලා එළියට බැස්සට පස්සෙ මනුස්සයෙක් අපි දිහා බලලා හිනාවෙනවනම්, අපි කරන චරිතයක් ගැන ප්‍රශංසා කරනවනම්, ඒ වෙහෙස මහන්සිය නැතිවෙලා යනවා. තව තවත් නිර්මාණවලට දායක වෙන්න හිතෙනවා. ඒ නිසා මේ කරන රැකියාව ගැන මම තෘප්තිමත්. සංකල්පගේ චරිතයත් එක්ක අද මට හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබෙනවා.


චානුකට සිනමාවට සම්බන්ධ වෙන්නත් අවස්ථාව ලැබුණා නේද?

ඔව්... මේ වෙද්දි මම සිනමා නිර්මාණ දෙකකට දායක වුණා. ඒ ප්‍රියන්ත කොළඹගේ මහතාගේ “මන්දාරා”‍ චිත්‍රපටයටත්, සුනිල් ආරියරත්න මහතාගේ “බුද්ධ මාතා”‍ චිත්‍රපටයටත්. මම දායක වුණු සිනමාපට දෙකේම ප්‍රධාන චරිතවලට දායක නොවුණාට ඒ නිර්මාණ දෙකම ලංකාවේ ඉන්න හොඳම ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරුන් දෙදෙනකුගේ නිර්මාණයි. ඒ ලැබුණු අවස්ථාව හරිම වටිනවා. තවත් චිත්‍රපට දෙකකට ආරාධනා ලැබුණා. මම හෙමින් ගමනක් යන කෙනෙක්. මට හදිසි නැහැ. මට එක රැයකින් තරුවක් වෙන්න ඕනෑ නැහැ. කොහොමටවත් මට තරුවක් වෙන්න වුවමනාවකුත් නැහැ. මම හෙමින් යමින් මට ලැබෙන චරිතවලට උපරිම සාධාරණයක් කරන්න උත්සාහ කරන කෙනෙක්.


මේ හෙමින් ආපු ගමනේදී කලකිරීමක් ඇතිවෙලා මේ ක්ෂේත්‍රයෙන් ඉවත් වෙන්න හිතිලා නැද්ද?

මට තාම නම් එහෙම හිතිලා නැහැ. “මෙයා රඟපෑවා ඇති” කියලා මිනිස්සු මගේ නිර්මාණ බලන්නෙ නැත්නම්, ඒවා අගය කරන්නෙ නැත්නම් අන්න එදාට මම මේ ක්ෂේත්‍රයෙන් සමුගන්නවා.


අද වෙද්දි චානුකගේ සහෝදරියන් දෙදෙනාම පදිංචිවෙලා ඉන්නෙ විදෙස් රටවලයි. ඔවුන්ගෙන් ලැබෙන සහයෝගය කොහොමද?

ඒ ලැබෙන හයිය, සහයෝගය නිසා තමයි අද මම මෙහෙම සතුටින් ඉන්නෙ. තාත්තා හැමදාමත් කිව්වේ අපි තුන්දෙනා පොල් කටුවේ තියෙන ඇස් තුන වගේ කියලයි. අපි තුන්දෙනා කොච්චර දුර තැන්වල හිටියත් මොකක් හරි ප්‍රශ්නයක් මට වුණොත් මගේ අක්කලා දෙන්නා මගේ හෙවණැල්ල වගේ මගේ ළඟම ඉන්නවා කියලා මම දන්නවා. ඒ නිසා මේ ගමනේදී මට කවුරු නැති වුණත් කිසිම වෙලාවක මම වැටෙන්නෙ නැහැ. මගේ සහෝදරියන් දෙදෙනා මගේ පැත්තෙ ඉන්නවා කියලා මම විශ්වාස කරනවා. මම දන්නවා අපි තුන්දෙනා රටවල් තුනක හිටියට ඕනෑම අවස්ථාවක අපි තුන්දෙනාට එක්කෙනෙක් වෙන්න පුළුවන්.


ඔයාගේ ජීවිතේ ලැබුණු ලොකුම සතුට මොකක්ද?

මම හිතන්නෙ ඒ ප්‍රේක්ෂක ආදරයයි. මුලින්ම මාව ඒ අය හඳුනා ගනිද්දි මට නිහතමානි පුංචි ආඩම්බරකමක් දැනුණා. මේ ප්‍රේක්ෂක ආදරය නැතුව අපි කිසිම වැඩක් කරලා වැඩක් නැහැ.


පුංචි තිරයේ පෙම්වතා සැබෑ ජීවිතයෙත් මේ විදිහේ පෙම්වතෙක්ද?

නැහැ... ඇත්තටම මම පෙම්වතෙක් නෙවෙයි. මම දැන් පුංචි තිරයටයි සිනමාවටයි ආදරය කරනවා. මට හොඳ ප්‍රථම ප්‍රේමයක් තිබුණා. ඒක පාසල් ජීවිතේ ඇතිවුණු ප්‍රේමයක්. ඒ ආදරය වසර නවයක් තිබුණා. ඒ නිසා මට සුන්දර මතක තියෙන අහිමිවුණු ප්‍රථම ප්‍රේමයක් තියෙනවා.


මෑත කාලයේදී සැබෑ කරගත්ත හීනය මොකක්ද?

පසුගියදා මගේ එක හීනයක් සැබෑ වුණා. ඒ මෙවර පැවති රිදී රැයක් ප්‍රසංගයට සම්බන්ධ වීම. රංගන ශිල්පියෙක් විදිහට අපි ඉස්සරහට යන්න හීන දකිනවා. රිදී රැයක් ප්‍රසංගයට සම්බන්ධ වීම හැමෝටම ලැබෙන්න අවස්ථාවක් නෙවෙයි. ඒක ප්‍රවීණ අය සම්බන්ධ වෙන ප්‍රසංගයක්. එහි නිර්මාණයකට ආධුනිකයෙක් වුණු මාව සම්බන්ධ වීම මගේ හීනයක්. ඒ හීනය මෙවර මම සැබෑ කර ගත්තා. තව බොහෝ හීන මගේ තියෙනවා. බලමු ඒවා ඉස්සරහට සැබෑ කර ගන්න පුළුවන් වේවි.



Previous Post Next Post