ප්‍රේක්ෂක ආදරය මම කවදාවත් විකුණාගෙන කන්නෙ නැහැ - උමාලි තිලකරත්න

 


රූපණය සහ නිරූපණය වේදාත්මකව හඳුනා ගනිමින් රංගනය තුළ නිරායාසයෙන්ම තමන් අත්හරිමින් ඕනෑම චරිතයක් හා ආත්මීය හුස්මක් ගන්න සෞන්දර්යාත්මක රංගවේදිනියක් ලෙස මම ඇය හඳුනමි. මම ඇය කියවමි. සිනමාව, ගායනය, නර්තනය, වේදිකාව, මේ සියලු තැන්හි සම්, මස්, ලේ, නහර, ඇට මිඳුළු විනිවිද යන ආල ලීල සුවිසැරියක් තුළ සැරිසරන ඒ දුඹුරුවන් රංගන කුසුම මම උමාලි තිලකරත්න යැයි හඳුන්වමි.


උමාලි... නිළියක් වීම ඔබේ හදවතට දැනෙන්නෙ කොහොම හැඟීම් සමුදායක් එක්කද?

මම මෙහෙම තැනකින් ඔය ප්‍රශ්නයට උත්තර දෙන්න පටන් ගන්නම්. මම නිළියක් වෙන්න හිතාගෙන ඉගෙන ගත්ත කෙනෙක් නෙවෙයි. මම කැමති මනෝ විද්‍යාවට. ඒත් කාලයක් තිස්සේ මම හිතමින් ඉන්න දෙයක් තමයි නිළියක් කියන්නෙ කවුද කියන එක, නිළියක් වෙනවා කියන්නෙ මොකක්ද කියන එක. ඒත් මට නිළියක් වීමේ අවස්ථාව හම්බවෙනවා. ඒ භූමිකාව තුළ අද මම ඉන්නවා. රංගන ශිල්පියෙක් හෝ ශිල්පිනියක් මම දකින්නෙ ජීවිතය ප්‍රතිනිර්මාණය කිරීමේ භූමිකාවක් තුළ සිටින කෙනෙක් විදිහට. ජීවිතය ප්‍රතිනිර්මාණය කිරීමේ ක්‍රියාවලියට අදාළ කෙනෙක් විදිහට. සැබෑ රංගන ශිල්පියෙක්ට රූකඩයක් නොවී හැකියාව තියෙනවා හැඟීම් ප්‍රතිනිර්මාණය කරන්න. තමන් රූපණය කරන චරිතයට අදාළව නිරූපණයත් රංගනයත් අතර ගැඹුරු වෙනසක් තියෙනවා. ඒක ගැඹුරින් කතා කළ යුතු වෙනස්ම කාරණාවක්.


රංගනය තුළ ඔබ ආත්මීයව චරිතයක් සමඟ බැඳීම කොයි තරම් ප්‍රබල ලෙස දනවනවාද කියන එක හැඟෙන්නෙ ඔබ උමාලි තිලකරත්නව අපට අමතක කිරීම තුළින් කියලා මම විශ්වාස කරනවා. එය අනායාසයෙන් සිදුවන දෙයක්. ඔබ කොහොමද මෙහෙම ඔබව අත්හරින්නෙ?

එය එසේ වෙනවානම්, මගේ ප්‍රේක්ෂකයෙක් එසේ දකිනවානම් නිළියක් වීම තුළ මම උත්සාහ කරන අරමුණට එය ලොකු ගෞරවයක්. හැබැයි මම හුඟාක් පරිස්සම්වෙලා තියෙනවා උමාලි කියන කෙනාව එළියට නොදී ඉන්න. කවුරු කොච්චර කොහොම කීවත්, කොහොම බැලුවත් මම උමාලිව එළියට නොදී සිටීම බොහොම පරිස්සමින් කරන දෙයක්. මේ වනවිට සමාජය මාව නිළියක් ලෙස යම්තාක් දුරකට හඳුනාගෙන තියෙනවා. ඒ නිළිය කියන භූමිකාවට වන හානිය පුළුවන් තරම් අවම කරන්න තමයි මම හැකිතාක් හැංගිලා ඉන්නෙ. උමාලි කියන රංගන ශිල්පිනිය ඉන්න නිසා කෙනෙක් යම් නිර්මාණයක් බලන්න කැමතියි කියනවනම් ඒක වෙනම කාරණයක්. ඒත් උමාලි කියන පුද්ගලයා ඉන්න නිසා මම ඒක බලනවා කියනවනම් මම ඒකට කැමති නෑ. මම කැමති මම මඟහැරි, මා තුළ සිටින රංගන ශිල්පිනිය ඉස්මතු වෙනවා දකින්නයි. රංගනය කියන දෙය විධිමත්ව ඉගෙන ගන්න කලින්ම මට එහෙම ගුරුහරුකම් ලැබිලා තියෙනවා. ඕනෑවට වඩා පේන්න හිටියම වටිනාකම අඩු වෙනවා කියන එක ඔවුන් මට කියූ දෙයක්. විශේෂයෙන් ලලිත් රත්නායක මහතා, මා ගැන පළමුවෙන් පුවත්පතකට ලියූ දිනපතා ලංකාදීපයේ සමන්ත යහම්පත් අයියා, සත්‍යජිත් මාඉටිපේ ඇතුළු මට වචනයකින් හෝ ගුරුහරුකම් දුන්න හැම කෙනෙක්ම මේ මොහොතේ මම ගෞරවයෙන් මතක් කරනවා. ඇත්තටම ඕනෑවට වඩා පේන්න හිටියම අපි චරිතයක් කරද්දි ඒ චරිතයේ තියෙන ආශ්චර්යය සහ විස්මය නැතිවෙන බව මම විශ්වාස කරනවා. මාධ්‍ය හමුවකදි වුණත් මම ඒ කතා කරන්නෙ ප්‍රේක්ෂකාගාරයකට නෙවෙයි, මා සමඟ ඒ මොහොතේ සන්නිවේදනය කරන පුද්ගලයා සමඟ පමණයි කියන හිතුවිල්ලෙන් තමයි මම ඒ ඉදිරිපත් කිරීම් සහ අදහස් දැක්වීම කරන්නෙ. එතෙන්දි මම අවංකවම කතා කරනවා. නමුත් මම හිතන්නෙ නෑ ඒ කතාබහ තුළවත් සාමාන්‍ය ජීවිතයේ මාව හඳුනාගන්න පුළුවන් කියලා. ඒ හැම තැනකදිම මම පෙනී ඉන්නෙ නිළියක් විදිහට පමණයි.


රංගවේදියෙකුට ක්ෂේත්‍රය තුළ ඇති ගෞරවය ඔබට දැනෙන්නෙ කොහොමද?

රංගන ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබිලා එහි විවිධ අහුමුළු අතපත ගාලා එය ඉගෙනගෙන මේ ක්ෂේත්‍රයේ ඉන්න කෙනෙක් විදිහට මට දැනෙන්නෙ නෑ මේ ක්ෂේත්‍රයට මේ වෘත්තියට විශාල ගෞරවයක් තියෙනවා කියලා. මම හැමතිස්සෙම හිතපු සහ හිතන දෙයක්, උත්සාහ කරන දෙයක් තමයි මේ වෘත්තියට ගෞරවයක් සහ වටිනාකමක් එක් කරන්නෙ කොහොමද කියන එක. රංගන ශිල්පිනියක් කියන රාමුව ඇතුළේ මම හුඟාක් තෝරා බේරාගැනීම් කරනවා.


කලා ක්ෂේත්‍රය තුළ රංගවේදියෙක් අවභාවිත වීම මම දකින්නෙ අගෞරවයක් සහ ඛේදවාචකයක් විදිහට. උමාලි ඔබ එය දකින විදිහ මම කැමතියි දැනගන්න?

දැන් රංගවේදීන් අවභාවිත වෙන්න තියෙන සම්භාවිතාව වැඩියි. මම සාමාන්‍යයෙන් ගීත රචනාවල රූප රාමු සඳහා ඉදිරිපත් වෙන්නෙ නැති තරම්. හේතුව මට එතන ප්‍රබලව චරිතයක් ගොඩනංවන්න සිදු නොවන නිසා. මටත් එහෙම මගේ වගකීමකින් හෝ අනුදැනුමකින් තොරව අවභාවිත වෙන්න සිදුවූ අවස්ථාවක් තියෙනවා. කෙටි චිත්‍රපටයක මගේ රංගනයක් ගීතයකට අදාළ කරගෙන සමාජ මාධ්‍ය (Social media) කියන මාෆියාව අස්සෙ පාවිච්චි කරලා තිබුණා. රංගන ශිල්පිනියක් විදිහට මට තවම වරප්‍රසාදයක් ලැබිලා නෑ මගේ ඒ ශ්‍රමයට, නිර්මාණශීලීව මම දායක කරපු දෙයට, මම දුන්න කාලයට, මගේ රූපය සහ කටහඬ ලබාදීමට අදාළ වටිනාකම ලබන්න. මට ලැබුණේ කෙටි චිත්‍රපටය සඳහා මා ලබාදුන් දායකත්වය වෙනුවෙන් ඒ දවසට අදාළ වේතනය විතරයි. එතනින් එහා ප්‍රචාරණයට මට මුදල් ලැබී නෑ. ඒත් මට මගේ වටිනාකම නොදී වෙනත් ආකාරයකින් ඒ ප්‍රචාරණය සිදු වෙනවා. අපි නොදැනීම අපි අවභාවිත වෙලා. මම මුලින් කීවෙත් ඒකයි. මේ ක්ෂේත්‍රය තුළ ගෞරවය රැඳුණු තැන් අවමයි.


වෘත්තිය ගරුත්වය හා වටිනාකම රංගවේදියෙකුට නොලැබීමේ අර්බුදය ගැන අපි කතා කරමු?

මම පාසල් යන කාලයේ මට උදයකාන්ත වර්ණසූරිය මහත්තයාගේ රෝස වසන්තය චිත්‍රපටයට සම්බන්ධ වෙන්න ලැබුණා. ඉන්පසු ලේ කිරි කඳුළු කියන චිත්‍රපටයට මම සම්බන්ධ වුණා. තුන්වැනි අවස්ථාව මම උසස් පෙළ ඉද්දි රංගන දායකත්වය ලබාදුන් “මදර් තෙරේසා ඔෆ් කල්කටා” කියන චිත්‍රපටය. මගේ මව්පියන් මම පාසලේදි නර්තනයට ගායනයට වේදිකාවට සම්බන්ධ වී සිටි නිසා මට අවශ්‍ය පහසුකම් ලබාදීලා මට අත්දැකීමක් ලබන්න මේ ක්ෂේත්‍රයට සම්බන්ධ කළේ ඇත්තටම මගෙන් මුදල් උපයවන්න හෝ මම නිළියක් කරන්න නෙවෙයි. “මදර් තෙරේසා ඔෆ් කල්කටා” බ්‍රිතාන්‍ය සහ ඉතාලියානු සම නිෂ්පාදනයක්. ඔලීවියා හසේ කියන ප්‍රධාන රංගන ශිල්පිනියත් ආවා. ඒ චිත්‍රපටයේදි තමයි මම මුලින්ම “ඔඩිෂන්” එකක් ගැන “Screen test” එකක් ගැන “Make up” ගැන ඉගෙන ගත්තෙ. ඒ ක්‍රියා පටිපාටිය හරි වෙනස්. ගැඹුරුයි. හරි ක්‍රමවේදයක් තිබුණා. හරි පිළිවෙළයි. නිලන්ති විජේසිංහ කියන අපේ ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිනිය තමයි එහිදි හුඟාක් මාත් එක්ක හිටියේ. ඉන් පස්සෙ ආරාධනා ලැබුණු ටෙලිනාට්‍යවලට මම සම්බන්ධ වුණේ නෑ. මම හිතන්නෙ මම නිහඬව හුඟාක් දේවල් නිරීක්ෂණය කළා. මම ජපානයට ගිහින් ඇවිත් උසස් පෙළ කළා. ජපානයට ගිහින් ඇවිත් මගේ පළමු ටෙලිනාට්‍ය අත්දැකීම ලැබුවා. ඒ උදයකාන්ත වර්ණසූරිය මහතාගේ ටෙලිනාට්‍යයක. රවින්ද්‍ර රන්දෙණිය සහ වසන්ති චතුරාණි, විජය නන්දසිරි, කුසුම් රේණු වැනි වෘත්තිය රංගවේදීන් හා රංගනයේ යෙදෙන්න තරම් මම එහිදී වාසනාවන්ත වුණා. නමුත් විශේෂයෙන් “මදර් තෙරේසා ඔෆ් කල්කටා” චිත්‍රපටය කරද්දි තිබුණු පිළිවෙළ, ක්‍රමවේදය බලද්දි අපේ රංගන ක්ෂේත්‍රයේ වටිනාකම නොලැබීම සහ අර්බුදය පැහැදිලිවම දකින තැන් බොහෝ හමුවී තිබෙනවා.


උමාලි... ජීවිතය උඩු යටිකුරු කළ, නොහිතුව නැවතුම් ඔබ අත්විඳලා තියෙනවද?

ඔව්... මගේ ජීවිතයේ මම අත්විඳලා තියෙනවා. මම විද්‍යා විෂයන් ඉගෙනගෙන වෛද්‍යවරියක් වෙන්න ඉන්දියාවට යන්න සියල්ල සූදානම් කරලා තියෙද්දි තාත්තා මාව සින්දුවක් කියන්න ආචාර්ය ප්‍රේමසිරි කේමදාස මාස්ටර් ළඟට එක්ක ගියා. ඒ වෙලාවේ කේමදාස මාස්ටර් කීවා සින්දු කියන්න ඉස්සර ප්‍රාසාංගිකත්වය ඉගෙන ගන්න කියලා. ඉතින් ඉන්දියාවට නොයා අවුරුද්දකට මම නැවතුණා. 2016 මම මාස්ටර් ළඟට ගියේ. මාස්ටර් අග්නි ඔපෙරාව කරන්න පටන් ගත්තා. ඒ කාලෙම උදයකාන්ත වර්ණසූරිය මහතා මට කතා කළා ආසයි මං පියාඹන්න චිත්‍රපටයට. පූජා උමාශංකර් අක්කි එක්ක මට රඟපාන්න තිබුණේ. ඒත් මාස්ටර් කැමති වුණේ නැහැ. මම වාණිජ චිත්‍රපට ධාරාව තුළ රඟපානවට. මොකද මාස්ටර් ඒ කලාව තුට්ටු දෙකකටවත් ගණන් ගත්ත කෙනෙක් නෙවෙයි. මම උඩරට නර්තනය බොහොම ශාස්ත්‍රීයව, ගෞරව පූර්වකව හදාරපු කෙනෙක්. ඒ නිසා නර්තනයකදි මම ඒ ගැනත් හිතනවා. අවසානයේ කේමදාස මාස්ටර්ට කරුණු පැහැදිලි කරලා ලොකු ලියුමක් ලියලා අවසර අරගත්තේ. ලොකු ආයාචනයකින් පසුව වඩා කැමැත්තක් නොවූ කැමැත්තකින් මාස්ටර් අවසර දුන්නා. අග්නි ඔපෙරාව පළමු වතාවට මේ වෙද්දි කරලා ඉවරයි. ඒ වේදිකාව හරිම නිදහස්. මේ අතරේ මගේ පෞද්ගලික ජීවිතයේ ලොකු වෙනසක් වුණා. මේ වෘත්තියට සම්බන්ධ කෙනෙක් එක්ක මම හාදකමක් ඇතිකර ගත්තා. ඒ ඔස්සේත් මට රංගනය කියන එක තවත් කෝණයකින් දකින්න ලැබුණා. තිසර ඉඹුලානගේ නිනෝ ලයිව් චිත්‍රපටයේ මේ අතරේ මම රඟපෑවා. ලලිත් රත්නායකගේ නාට්‍යයක රඟපෑවා. මට එතෙන්දි දැනුණා රංගනයේදි හදවත හෙල්ලෙනවා. එය කොයි තරම් හදවතට බලපෑම්කාරකයක් වන සංකීර්ණ ක්‍රියාවලියකින් යුක්ත දෙයක්ද කියලා. මම එතෙන්දි බැලුවා මොකක්ද මේ වෙන්නෙ කියලා. රඟපෑම කියන්නෙ මොකක්ද කියලා මට ලෙයටම දැනුණු දේ ඔස්සේ මම ගවේෂණය කළා. මට මාව අමතක කරන්න වෙන බව දැනුණා. ලලිත් රත්නායක මහතාගේ අධ්‍යක්ෂණ විලාසය හරි අමුතුයි. එය භාවනාවක් වගේ. උපරිම මානසික නිදහස දුන්නා. භෞතික පරිසරය උපරිමයෙන් හදලා දුන්නා. උදයකාන්ත වර්ණසූරිය මහතාගේ නිර්මාණවලදි ඒ නිෂ්පාදන ක්‍රියාවලියෙදිත් ඒ පහසුව තිබුණා. වේදයක් ලෙස රංගනය හදාරද්දි තමයි මම රංගවේදියෙක් සැබෑ ලෙස හඳුනා ගත්තෙ. මගේ ආදර සම්බන්ධතාව තුළ සහ රංගනය වේදයක් ලෙස ඉගෙන ගන්න පෙර චරිතය තුළින් මම ගිලිහී ගිය තැන් තිබුණා. ඇත්තටම රංගනය කියන්නෙ ගැඹුරු ශිල්පයක්. ආත්මීය හුස්මක් හා යා වූ දෙයක්. ජපානයේ ඉද්දි වැඩ කරද්දි එහි ක්‍රමවේදය හරිම විධිමත්. අපි වෙනුවෙන් වගකියන්න කෙනෙක් ඉන්නවා. ඒත් ලංකාවෙදි අපිම අපි වෙනුවෙන් කතා කරන්න ඕනෑ. අවසානයේදි පෞද්ගලික ජීවිතයත් නෑ. වෘත්තිය ජීවිතයත් නෑ. ඇත්තටම නිසි ක්‍රමවේදයක් තුළ ඉන්නවනම් පෞද්ගලික ජීවිතය හා වෘත්තිය ජීවිතය වෙන්ව තියාගෙන කටයුතු කළ හැකියි කියන එක මම දැන් හඳුනා ගනිමින් ඉන්නවා. නළුවෙක් හෝ නිළියකට වියදම් කරන්න ලංකාවේ බොහෝ නිෂ්පාදකවරු හරි ලෝභයි. පිටරටවලට සාපේක්ෂව හරි අඩු මූල්‍ය වටිනාකමක් ලබා දෙන්නෙ. පිටරටවල මූල්‍ය වටිනාකමට අමතරව රංගවේදියෙක් මානසිකව ගොඩනංවන්න සියලු භෞතික අවශ්‍යතා සපුරනවා. මනෝ උපදේශකවරයෙක් ලබා දෙනවා. “මදර් තෙරේසා ඔෆ් කල්කටා” චිත්‍රපටයේදිත් එහෙම මනෝ උපදේශකවරයෙක් ලබා දී තිබුණා. ඒත් ලංකාවෙදි හුඟාක් වෙලාවට කරන්නෙ හැඟීම් එක්ක සෙල්ලම් කරන්න උත්සාහ දැරීමක්. අපි යමක් විනිශ්චය කරන්නෙ අපේ පෞරුෂත්වය අනුව.


රංගනය වෙහෙසක් ලෙස දැනෙන මොහොතක් තියෙනවද?

එක දිගටම වැඩ කරනවනම් රංගනය වෙහෙසක් ලෙස අත්විඳින්න පුළුවන්. ඒ වෙහෙස මඟහරවා ගන්න හුඟාක් අය පාවිච්චි කරන්නෙ හරිම කෙටි ක්‍රම. සෞඛ්‍ය සම්පන්න නොවන මත්ද්‍රව්‍ය, මත්පැන් භාවිත කරනවා වෙනුවට සෞඛ්‍ය සම්පන්නව විවේකය ගෙවන්න ආර්ථිකයක් බහුතරයක් රංගවේදීන්ට නෑ. වෘත්තිය මට්ටමෙන් රංගවේදියෙක් වෙන කෙනෙක්ට පැහැදිලිවම ආර්ථික අර්බුදයක් තියෙනවා. මම වෙළෙඳ දැන්වීම්වලට පෙනී ඉන්නෙ නෑ. මට බඩු විකුණන නිළියක් වෙන්න හෝ මිනිසුන්ගෙන් ලැබෙන ආදරය විකුණාගෙන කන්න ඕනෑ නැහැ. මම එතෙන්දි ඉන්නෙ වෙනම ප්‍රතිපත්තියක සහ ස්ථාවරයක. ඇත්තටම තවමත් ලංකාවේ කලාව   සහ සිනමාව කර්මාන්තයක් ලෙස ගොඩනැගී නැහැ. ඒත් සියල්ල ඉවසගෙන දරාගෙන ආව අය නිසා තමයි අදටත් අපි මෙහි රැඳී ඉන්නෙ. ක්ෂේත්‍රයට ඇති අවංක ආදරය තමයි මට තවදුරටත් නිළියක් ලෙස ක්ෂේත්‍රය තුළ හුස්ම ගන්න පාර හදලා දීලා තියෙන්නෙ.




Previous Post Next Post