එයාලා නත්තල සැමරුවේ පුදුම සුන්දර විදිහකින් - ප්‍රීති රන්දෙණිය

 



කිවිඳියක, සොඳුරු ගී පද පබඳින්නියක මෙන්ම නවකතා රචිකාවක ද වන ඇය ප්‍රවීණ රංගන ශිල්පී රවීන්ද්‍ර රන්දෙණිය මහතාගේ ආදරණීය ජීවන සහකාරියයි. ඉතින් ඇය එක් යුගයක සිනමාවට අවතීර්ණ වූ සිනමා නිළියක ලෙසද හැඳින්වීම නිරවද්‍යය. ඇය ප්‍රීති රන්දෙණියයි. ළඟ ළඟම එන නත්තලට සූදානම් වෙන අයුරු පිළිබඳ ඇය හදසර සමඟ කළ සුහද කතාබහයි මේ.


කොහොමද මේ දවස්වල වැඩ කටයුතු?

සුපුරුදු විදිහට ජීවිතය ගත වෙනවා. මම සාමාන්‍යයෙන් බාහිර දේවල්වලට වැඩිය මගේ පවුලට, ගෙදරට පළමු තැන දෙන කෙනෙක්. පුරුද්දක් වශයෙන් දිනපතා උදෑසන අවදි වෙලා මිදුලේ ටිකක් ඇවිදිනවා. උදේට මල් පිපිලා, පිනි වැටිලා තියෙන විදිහ දැක්කම හිතට ලොකු සතුටක් දැනෙනවා. හැබැයි මට තියෙන්නෙ බොහොම පොඩි මිදුලක්. මම හිටවපු ගොඩක් පළතුරු ගස් තියෙනවා. ඒවා දැන් පීදිලා. ඒ ගස්වල පොඩි පොඩි මල්, ගෙඩි දිහා බලලා මම ලොකු ආත්ම තෘප්තියක් ලබනවා. එහෙම තමයි දැන් ජීවිතය ගත වෙන්නෙ.


නත්තල් උත්සවය ළඟ ළඟම එනවා. මෙවර නත්තලට ඔබගේ සූදානම මොන වගේද?

මම විවාහ වුණු දවසේ ඉඳලා පවුලේ සිරිතක් ලෙස මගේ පවුලේ සියලු‍ දෙනාත් රවින්ද්‍රගේ පවුලේ සියලු‍ දෙනාත් එකතු වෙන්නෙ අපේ ගෙදරට. ඒක විශේෂ දවසක්. මම නත්තල වෙනුවෙන් කලින්ම සූදානම් වෙනවා. නත්තල් සැරසිලිවලින් මුළු ගෙදරම ඉතාම අලංකාරව සූදානම් කරනවා. මට නත්තල් මාසය කියන්නෙ හරිම කාර්යබහුල මාසයක්. නමුත් දැන් වයසත් එක්ක ඉස්සර වගේ දුවලා පැනලා ඒ දේවල් කරන්න ශක්තියක් නැහැ. හැබැයි පුරුද්දක් විදිහට ඒ දේවල් අතහරින්නෙත් නැහැ.


ඔබ පවුලේ සාමාජිකයන් සමඟ නත්තල සමරන්න කැමති කොහොමද?

අපේ පවුලේ හැමදෙනාම එකට එකතුවෙලා, එක කෑම මේසයක කෑම කාලා සාමූහිකව නත්තල සමරන්න හරිම කැමතියි. අපි ළඟ හිටපු දූ දරුවෝ මේ වෙනකොට විවාහ වෙලා තමන්ගේ වැඩ කටයුතුත් එක්ක කාර්යබහුල වෙලා ඉන්නවා. අපේ පවුල්වල ඇතැම් දරුවන් විදේශගත වෙලා ඉන්නවා. දැන් නිවෙස්වල ඉතුරුවෙලා ඉන්නෙ වැඩිහිටි පිරිස විතරයි. ඉතින් වැඩිහිටියන් නත්තලට එකතු වුණාම දරුවන්ට වීඩියෝ කෝල් අරගෙන රස මතක බෙදාගන්නවා. පුංචි කාලයේ එකතු වුණු විදිහ ගැන දරුවන්ටත් රස මතක තියෙනවා. අපේ ගෙදර නත්තල් උත්සවය දවසට නත්තල් ගහ යට තෑගි ගොඩක් තියලා තියෙනවා. පුංචි දරුවන්ට ඒ තෑගි දීලා ඒගොල්ලො තෑගි දැකලා සතුටුවෙන දිහා බලලා අපි ගොඩක් සතුටු වෙනවා. ඇත්තටම ඒ දරුවො පුංචි කාලෙදි ඒ අතීතයේ ගෙවුණු නත්තල් මතක හරිම රසවත්. කොහොම වුණත් ඉන්න කට්ටිය නත්තල් දවසට අපේ ගෙදරට එකතු වෙනවා. ඉස්සර නම් අපේ ගෙදර හැමෝටම නත්තල් කෑම මේසයක් පිළියෙළ කරනවා. දැන් අපි වැඩිහිටි පිරිස නිසා ඉස්සර වගේ වෙහෙස වෙන්න අමාරුයි. එක එක්කෙනා එදාට කෑම වර්ග බාරගෙන හදාගෙන එනවා. අපි සාමකාමීව බෙදා හදාගෙන කෑම මේසය භුක්ති විඳිනවා


ගෙවී ගිය අවුරුදුවල ඔබට ඇති හොඳම නත්තල් මතකය කුමක්ද?

මගේ පුතා විවාහ වුණු දුවගේ ගෙදර පවත්වපු නත්තල් උත්සවයට අපිට ආරාධනා ලැබුණා. ඒ නත්තල හරිම සුන්දර මතකයක්. අපි දැකලා නැති කෑම බීම වර්ග රාශියක් එයාලා පිළියෙළ කරලා ඒ මේසය ලොකු රෙද්දකින් වහලා තිබුණා. අපි ගියාට පස්සෙ තමයි කෑම මේසය විවෘත කළේ. ඉතින් අපිට හරි පුදුමයි එයාලා ඒ නත්තල සමරපු විදිහ ගැන. ඒක ඇත්තටම හරිම සුන්දර මතකයක්. ඊට පස්සේ පුතාලා ඕස්ට්‍රේලියාවට පදිංචියට ගියා. අපේම දරු මුනුපුරොත් එක්ක ඕස්ට්‍රේලියාවේ සමරපු නත්තලත් හරිම සුන්දරයි. හරිම සතුටින් ගෙවුණු කාලයක් තමයි ඒක.


නත්තල සමරන විට ඔබ පිළිපදින පාරම්පරික රීති සහ අංගයන් තියෙනවද?

මම උපතින් බෞද්ධ කෙනෙක්. මම විවාහ වෙලා සම්බන්ධ වුණේ කතෝලික පවුලකට. මහ ගෙදර නත්තල සමරපු විදිහ මම දැක්කා. අම්මා තාත්තා ඉන්නකොට බොහොම උත්සවාකාරයෙන් මහ ඉහළින් නත්තල සැමරුවා. අම්මා තාත්තා නැතිවුණාට පස්සෙත් අපේ ගෙදර ඒ විදිහටම නත්තල සමරනවා. අපි එදාට පල්ලියට ගිහිල්ලා ආශිර්වාද ගන්නවා. ඒ වගේම පවුල්වල අය, නෑදෑ හිතවතුන්, දූ දරුවෝ එකට එකතුවෙලා හරිම ආදරෙන් සහ සාමූහිකව නත්තල සමරනවා. තෑගි බෝග හුවමාරු කර ගන්නවා.


නත්තල් උත්සවය ඔබගේ ආත්මීය සංවර්ධනයට ලබා දෙන්නෙ කුමන ආකාරයේ පිටිවහලක්ද?

නත්තල කියන්නෙ සාමයේ කුමාරයාගේ උපත සමරන දවස. ජේසුස් වහන්සේ ලෝකයට දුන්නේ සාමය, සමාදානය සහ ප්‍රේමය. ඉතින් නත්තලේදි අපි එකිනෙකාට ප්‍රේමයෙන්, යහපත්ව ජීවත්වෙන එක තමයි කරන්න ඕනෑ. හැමෝම එක්ක හොඳින් ඉඳලා හොඳ විදිහට ජීවිත ගත කරන එක තමයි අපිට කරන්න පුළුවන් ලොකුම දේ. පල්ලියේ දේවමෙහෙයන් තියෙනවා. ඇත්තටම පල්ලියේ දේවමෙහෙය ගොඩක්ම සුවිශේෂයි. ඒ දේවමෙහෙයන්වලට සහභාගිවෙලා යාඥා කරලා අපි ලෝකයටම සාමය, සමාදානය ප්‍රාර්ථනා කරනවා. සාමය කියන්නෙ යුද්ධයක් නැති එකවත්, ආරවුලක් නැති එකවත් විතරක්ම නෙමෙයි. අපේ අභ්‍යන්තර සාමය, හිත ඇතුළේ සාමයයි වැදගත් වෙන්නෙ. හිත ඇතුළේ අභ්‍යන්තර සාමයක් තියෙන කෙනාගේ අතින් කවදාවත් බාහිර පුද්ගලයන්ටවත්, සමාජයටවත් නපුරක් වෙන්නෙ නැහැ. අභ්‍යන්තර සාමයෙන් පිරුණු පුද්ගලයාගෙන් හැමවිටම සමාජයට, තමන්ගේ වටපිටාවේ ඉන්න අයට වෙන්නෙ හොඳක්, යහපතක් පමණයි. ඉතින් මේ නත්තලේ අපේ අභ්‍යන්තර සාමය රැකගන්න එක ගොඩක් වැදගත් කියලා මම හිතනවා. අනිත් කාරණය තමයි නත්තල කියන්නෙ එක්කෙනෙක් විතරක් හෝ කිහිප දෙනෙක් විතරක් සතුටුවෙන එක නෙමෙයි. ජේසු උපත කියන්නෙ මුළු ලෝකයටම ප්‍රේමයේ පණිවිඩය බෙදා දීමයි. පෞද්ගලිකව ගත්තොත් අපි අපහසුතා ඇති පුද්ගලයන්ට විවිධ ආකාරවලින් උදව් උපකාර කරනවා. නත්තල් දවසෙදි අපි සතුටින් ඉන්නවා වගේම තව කෙනෙක් සතුටින් තියන්න කටයුතු කරන එක ඉතාම හොඳ දෙයක්.


නත්තලට සූදානම් වෙන ඔබ විශේෂ විලාසිතා අනුගමනය කරනවද?

පල්ලියට යනකොට හොඳට පිළිවෙළට තැනට ගැලපෙන විදිහේ ඇඳුමක් ඇඳලා යනවා. නත්තල් දවසට හැමෝම වගේ කැපිලා පේන්න ලස්සන ඇඳුම් අඳිනවා. නත්තල් ඇඳුමට මම නම් විශේෂයෙන් ලොකු වියදමක් කරන්නෙ නැහැ. හැබැයි පිළිවෙළට ප්‍රසන්නව ඇඳලා පැළඳලා ඉන්නවා.


ශ්‍රී ලංකාවාසී ජනතාවට ඔබ දෙන නත්තල් පණිවිඩය මොකක්ද?

ශ්‍රී ලංකාවාසී, ලෝකවාසී සියලු‍ දෙනාට සුබම සුබ නත්තලක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. හැමදෙනාම දුකින් මිදේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ ලබන්නා වූ නත්තල සතුටින් සමාදානයෙන් පිරුණු සෞභාග්‍යමත් නත්තලක් වේවා. අපේ රට ණයතුරුස්වලින් නිදහස් වෙලා ලෝකයත් යුද ගැටුම්වලින් නිදහස් වෙන නත්තලක් වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මිනිසුන්ගේ හිතේ සමාදානය, අභ්‍යන්තර සමාදානය ඇතිවෙන ප්‍රීතිමත් නත්තලක් වේවා කියලා මම හැමදෙනාටම ප්‍රාර්ථනා කරනවා.


• මංගලා පවිත්‍රානි




Previous Post Next Post