පිරිමි ළමයි ටෙලිනාට්‍යයේ සැමියට ගහන නපුරු බිරිඳ ගැන පුංචි තිරය නරඹන ප්රේක්ෂකයො අතර මේ දවස්වල ගොඩක් කතාබහට ලක්වෙනවා. තරුණ රංගන ශිල්පිනී දසුනි සෙනෙත්මා තමයි මේ විදිහට පිරිමි ළමයි ටෙලිනාට්‍යයේ නපුරු බිරිඳ වෙලා තියෙන්නෙ. ඉතින් දසුනි නිතර රඟපාන ආදරණීය චරිතවලින් මිදිලා නපුරු බිරිඳක් වුණ එක ගැන දැනගන්න අපි හිතුවා දසුනි එක්ක කතා කරන්න.
දසුනි මේ දවස්වල පිරිමි ළමයි එක්ක වැඩකටයුතු කොහොමද ?
මේ දවස්වල පිරිමි ළමයි එක්ක තමයි වැඩිපුර කාලය ගතකරන්නෙ. මීට කලින් රඟපාලා නැති සෑහෙන්න නපුරු චරිතයක් පිරිමි ළමයි ටෙලිනාට්‍යයේ රඟපාන්නෙ. හැබැයි නපුරු කිව්වට ආදරණීය නපුරුකාරියක්. ඇත්තටම පිරිමි ළමයි ටෙලිනාට්‍යයේ සෙනුරි කියන්නෙ මාව චරිතාංග නිළියක් විදිහට ක්ෂේත්රයේ එකතුවෙන චරිතයක්. ඉතින් මට මේ චරිතය රඟපාන්න ආරාධනා කරපු චේතනී විජේතුංග මිස්ටත් සද්දාමංගල සූරියබණ්ඩාර සර්ටත් ජයප්‍රකාශ් ශිවගුරුනාදන් සර්ටත් ගොඩක් ස්තූතිවන්ත වෙනවා.
අලුත බැඳපු සැමියා එක්ක නිතරම රණ්ඩු වෙන එකමයි වැඩේ නේද ?
බලෙන් බන්දපු කසාදයක් නිසා නිතරම සැමියා එක්ක රණ්ඩු වෙනවා. බැඳපු දවසේ රෑ මධුසමය ගතකරනවා වෙනුවට කළෙත් කොට්ටවලින් ගහගෙන රණ්ඩු කරගත්ත එක. අපි දෙන්නාගේ රණ්ඩු බලන්නම පිරිමි ළමයි බලන ප්රේක්ෂකයො ඉන්නවා.
බිරිඳකගේ චරිතයක් රඟපාන්න ලැබුණ අත්දැකීම මොනවගේද ?
මේ තමයි ටෙලිනාට්‍යයක බිරිඳකගේ චරිතයක් රඟපාන්න ලැබුණ පළමුවෙනි අවස්ථාව. ඒකත් සැමියට ගහන රණ්ඩු කරන නපුරු බිරිඳකගේ චරිතයක්. කවදාවත් රඟපාලා නැති වෙනස් විදිහෙ චරිතයක් නිසා මට ඇත්තටම අභියෝගයක් වුණා. හැබැයි සද්දාමංගල සර්ගේ සහ ශිවගුරුනාදන් සර්ගේ උපදෙස් මත චරිතය ගොඩනගාගෙන ඉදිරිපත් කළා. ඒ වගේම කුමාර තිරිමාදුර අංකල්ගෙනුත් නයනා හෙට්ටිආරච්චි නැන්දාගෙනුත් චරිතය හරි විදිහට ඉදිරිපත් කරන්න මට ලොකු සහයෝගයක් ලැබෙනවා.
නපුරු බිරිඳට ලැබෙන ප්‍රතිචාර කොහොමද ?
මීට කලින් ටෙලිනාට්‍යවල මම ගොඩක් රඟපෑවෙ හැඟුම්බර චරිත. ඒ නිසා විශාල ප්‍රේක්ෂක පරාසයකට මට යන්න බැරිවුණා. හැබැයි පිරිමි ළමයි ටෙලිනාට්‍යයේ සෙනුරිගේ චරිතය රණ්ඩුකාර කටකාර චරිතයක් නිසා මේ තාක් හිටපු නැති ප්රේක්ෂකයො ගොන්නක් මම වටා එකතු වෙලා ඉන්නවා. ඉතින් හොඳ ප්‍රතිචාර එක්ක ඔවුන් ගොඩක් ආදරෙන් මාව වැලඳගෙන ඉන්නවා.
දසුනි සැබෑ ජීවිතයේදී මොනවගේ කෙනෙක්ද ?
මම සෙනුරිට වැඩිය හාත්පසින්ම වෙනස් සංවේදී කෙනෙක්. කවුරුහරි වචනයක් සැරට කතා කළත් දුක හිතිලා අඬනවා. අඩු තරමෙ බනින්නවත් මට තේරෙන්නෙ නැහැ. ගහන්න නම් කොහාමත් බැහැ.
දසුනි විවාහ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න පුද්ගලයා ගැන අදහසක් තියනවද ?
මට වයස අවුරුදු 19 යි. තාම මට පෙම්වතෙක්වත් නැහැ. ළාබල වයසක ඉන්න නිසා ප්‍රේමවන්තයො ගැනවත් විවාහය ගැනවත් තාම අදහසක් නැහැ.
පවුලෙ අය දසුනිගේ හැකියාව දැකලා මොනවද කියන්නෙ ?
පවුලෙ ඉන්නෙ අම්මයි මමයි අයියයි නංගිලා දෙන්නයි. තාත්තා දැනට අවුරුදු පහකට කලින් නැති වුණා. දැන් රඟපෑවට පුංචිකාලෙ මම ගොඩක් දක්ෂ නර්තනයට. ඉතින් අම්මයි තාත්තයි මගේ හැකියාව අඳුනගෙන දිගටම මාව නර්තනය පැත්තට යොමු කළා. පුංචි කාලෙදි දෙරණ ලිටිල් ස්ටාර් තරගයට පවා යොමු කරලා මට නර්තනය පැත්තෙන් ඉස්සරහට යන්න අම්මයි, තාත්තයි උදව් කළා. ඒ විදිහට පටන්ගත්ත කලා වෘත්තීයෙන් ඉස්සරහට ඇවිත් අද නිළියක් වෙලා ඉද්දි තාත්තා මගේ ළඟ නැති වුණත් අම්මා හෙවණැල්ල වගේ ඉඳගෙන මට ලොකු සහයෝගයක් දෙනවා. අම්මගේ ලොකුම හීනය මම චරිතාංග නිළියක් විදිහට ඉදිරියට ගිහින් සම්මානයට පාත්‍ර වෙනවා දකින එක. අම්මා වගේම නංගිලා දෙන්නාගෙනුයි අයියාගෙනුයි මට ලොකු සහයෝගයක් ලැබෙනවා. එයාලාගේ සහෝදරී ප්‍රේක්ෂකයන්ගේ ආදරය ලබමින් ඉස්සරහට යනවට ගොඩක් සතුටු වෙනවා.
දුවගේ දක්ෂතා දකින්න ඉන්නම ඕනෙ කාලෙ නේද තාත්තා නැත්තෙ ?
නංගිලා දෙන්නයි අයියයි මමයි ගැන තාත්තට හීන තිබුණා. ඒ හීන සැබෑ කරගන්න පවුලෙ ආර්ථිකය වෙනුවෙන් මහන්සිවෙලයි තාත්තා නැති වුණේ. කලා ක්ෂේත්රයේ ඉහළට ගිහින් ප්‍රසිද්ධ කෙනෙක් වෙනවා දකින්න තමයි තාත්තට මම ගැන තිබුණ හීනය. ඉතින් අද ඒ හීනය යම් තාක් දුරකට සැබෑ වෙලා තියනවා. අද තාත්තා හිටියා නම් අනිවාර්යයෙන් සතුටු වෙනවා. හැබැයි තාත්තා නැති වුණත් තාත්තාගේ ආශිර්වාදය හැමදාම මට තියනවා කියලා මම දන්නවා.
වයසින් අඩු ළාබල ගෑනු ළමයෙක් වීමත් එක්ක ක්ෂේත්රයේ රැඳිලා හිටියෙ කොහොමද ?
වයසින් අඩු වුණත් වැඩි වුණත් බුද්ධිමත්ව වැඩ කරනවා නම් ක්ෂේත්රයේ ආරක්ෂාකාරිව ඉස්සරහට යන්න පුළුවන් කියලා මම හිතනවා. නිර්මාණ බාරගන්නකොට වුණත් වැඩිහිටියන්ට පමණයි දර්ශන තියන නිර්මාණ බාරගන්නෙ නැහැ. ඒ වගේම අධ්යක්ෂවරයා සහ නිෂ්පාදක කණ්ඩායම ගැන හොයලා බලලා ඔවුන් එක්ක වෘත්තීමය විදිහට වැඩ කරන්න පුළුවන් නම් විතරයි මම නිර්මාණ බාරගන්නෙ. ඒ නිසා ක්ෂේත්රයේ රැඳිලා ඉන්න මට එච්චර ප්‍රශ්නයක් වුණේ නැහැ.
රංගනය නිසා දැන් නර්තනය මගහැරිලද ?
මේ වෙද්දි ටෙලිනාට්‍යය චිත්‍රපට රූපවාහිනී වෙළෙඳ දැන්වීම් මියුසික් වීඩියෝවල රංගනයට තමයි වැඩිපුර කාලය වෙන්කරලා තියෙන්නෙ. ඒ නිසා නර්තනයට වැඩි කාලයක් යොදවන්න අමාරු වෙලා තියනවා.
තරුණ ගෑනු ළමයෙක් විදිහට ලස්සන වෙන්න මොනවද කරන්නෙ ?
සමාජ මාධ්‍යවල සමහරු හිතනවා කෘත්‍රිම නිෂ්පාදන පාවිච්චි කරලා මම සුදුවට ඉන්නවා කියලා. රූපලාවණ්‍ය නිෂ්පාදන ගැන සමාජ මාධ්‍යවල මම ප්‍රවර්ධනය කළාට ඒ හැම එකක්ම පාවිච්චි කරන්නෙ නැහැ. රූපලාවණ්‍ය නිෂ්පාදන පාවිච්චි කරන්නෙ නැතුව ස්වභාවිකව රූපය නඩත්තු කරන්න තමයි මම වැඩිපුර කැමැති. ඇඟ සිහින් හැඩයට තියාගන්න වුණත් මම ව්‍යායාමවත් කෑම පාලනයවත් කරන්නෙ නැහැ. පුංචි කාලෙ ඉඳලා නර්තනය කරන නිසා සිහින් හැඩයේ ඇඟක් මට පිහිටලා තියනවා. ඒ නිසා ඇඟ ලස්සන කරගන්න වෙන දේවල් කරන්න ඕන නැහැ.
විලාසිතා කරන්න වැඩිපුර කැමැති මොන විදිහටද ?
තරුණ ගෑනු ළමයෙක් විදිහට විලාසිතාවලට මම ගොඩක් කැමැතියි. අලුත් විදිහෙ විලාසිතා නිතරම අඳිනවා. පවුලෙ අය වුණත් මගේ විලාසිතාවලට කිසිම සීමාවක් දාන්නෙ නැහැ. ඒ නිසා දිග ඇඳුම් වගේම කොට ඇඳුනුත් අඳිනවා.
විලාසිතාවලට විවේචන එල්ල වූ අවස්ථා තියනවද ?
ඔව්. රූපලාවණ්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහගේ උපන්දින සාදය වෙනුවෙන් ඇඳගෙන ගිය ඇඳුම ගැන ගොඩක්දෙනා මාව විවේචනය කළා. ඇඟ එළියේ දාගෙන නිරුවත පෙන්නනවා කියලා තමයි මට විවේචන එල්ල වුණේ.
හැබැයි ඒ ඇඳුම උඩුකයවත් යටිකයවත් විවෘත නැති බඩ ප්‍රදේශය විතරක් විවෘතව පේන ඇඳුමක්. නිරුවත පේන්න නැති වුණත් නිරුවතින් ඉන්නවා කියලා මඩ ගහන්නෙ මාත් එක්ක ඊර්ෂ්‍යාවට කියලයි මම හිතන්නෙ. වයසට ගිහින් ඇඟ වැහැරුණාට පස්සෙ විලාසිතා කරන්න බැරි නිසා තරුණ කාලෙදි මම අලුත් විදිහෙ විලාසිතා කරනවා. පවුලෙ අයත් ඒ ගැන තේරුම් අරගෙන මට ඉඩදීලා තියනවා. එල්ලවෙන විවේචන ගැන නම් මම ගණන් ගන්නෙ නැහැ. විවේචන එල්ලවෙන තරමට තව තවත් ලස්සන විලාසිතා කරන්න මට ධෛර්ය ලැබෙනවා.