ආදරය කියන දේ ඔයාට දැනෙන විදිය කියන්න. ආදරයට නිර්වචනයක් දෙන්න?
මම හිතන්නෙ ආදරය කියන්නෙ අපි ආදරය කරන අයට වඩා අපිට ආදරය කරන අය ලබාදෙන ආදරයයි. අපිට ආදරය කරන අය ලැබුණොත් බොහෝ විට ඒ ආදරය හොඳින් පවතිනවා.
ආදරය නිසා ජීවිතයට ලැබුණු ජයග්රහණ හා වටිනාම දේවල් මොනවාද?
මුලින්ම ගෙදරින් ලැබුණු ආදරය මට හරියට වටිනවා. ඒක මට ලැබුණු ජයග්රහණයක්, වටිනාකමක් කියලයි මම හිතන්නෙ. ඒ ආදරයත් එක්ක කලා ක්ෂේත්රයට එන්න මට අවස්ථාව ලැබුණා. විශේෂයෙන් මගේ අම්මා මට කලා ක්ෂේත්රයට එකතු වෙන්න ගොඩක් උදව් කළා. ඒ නිසා ගෙදරින් ලැබුණු සහයෝගයත් එක්ක නිළියක් වෙන්න ලැබීමත් ලොකු ජයග්රහණයක්. කලා ක්ෂේත්රයේ යාළුවන්ගෙන් ලැබෙන ආදරයත් මට ගොඩක් වටිනවා.
ආදරය නිසා ජීවිතයට ලැබුණු රිදුම්, අහිමිවීම් මොනවාද?
මට ඇත්තටම එක්තරා ආදරයක් නිසා කලා ක්ෂේත්රයෙන් ටික කාලයක් ඈත්වෙලා ඉන්න සිද්ධ වුණා. ඒක මට ආදරය නිසා වුණු අවාසනාවන්ත සිදුවීමක් කියලා හිතෙනවා. කාලය කියන දේ අපිට ආයෙත් ගන්න බැහැ. ඒ නිසා ඒ කාලය අපරාදේ කියලා මට හිතෙනවා. ඒ ගෙවුණු කාලය මම කලා ක්ෂේත්රයට යොදවලා තිබුණා නම් මීට වඩා නිර්මාණවලට මට දායක වෙන්න ඉඩකඩ තිබුණා. ඒ කාලය තුළදී මට නිර්මාණ කිහිපයකටම ආරාධනා ලැබුණත් මම ඒවා බාරගත්තෙ නැහැ. ඒ නිසා අද ඒවා ගැන දුක් වෙනවා. ආදරය නිසා ඒ අහිමිවුණු කාලය ගැන අද මට තියෙන්නෙ ඇත්තටම දුකක්.
ආදරය නිසා රිදෙන තැන් දරාගන්න හොඳම විදිහ මොකක්ද?
මම හිතන්නෙ ඒ දරාගත්ත හොඳම විදිය මගේ යාළුවන්ගෙ ආදරයයි. මට හොඳ යාළුවො කණ්ඩායමක් ඉන්නවා. හැමදේම දරාගන්නෙ ඒ යාළුවො නිසයි. ඒ අය මට හැමවෙලේම කතා කරනවා. විශේෂයෙන් නයෝමි තක්ෂිලාව ආදරයෙන් මතක් කරන්න ඕනෑ. එයා තමයි මගේ හොඳම යාළුවා. නයෝමි මගේ ජීවිතේ හැම ප්රශ්නයකදිම මාත් එක්ක හිටියා. යාළුවන් කියන්නෙ සතුටෙදි වඩා දුකේදි ඉන්න ඕනෑ කට්ටියයි. සමහරු නම් කියන්නෙ කලා ක්ෂේත්රයේ හොඳම යාළුවො නැහැ කියලයි. හැබැයි කලා ක්ෂේත්රයෙත් මට හොඳම යාළුවො ගොඩක් ඉන්නවා. ඉතින් ඕනෑම ප්රශ්නයකදී ඒ යාළුවො තමයි මට ඉන්න ලොකුම ශක්තිය.
‘සෙක්ස්’ හා ‘ලව්’ අතර වෙනස ඔයා දකින්නෙ කොහොමද?
ආදරයත් එක්ක තමයි ‘සෙක්ස්’ එන්නෙ. හැබැයි සෙක්ස්වලට විතරක් ළං වෙන කට්ටියක් ඉන්නවා. සෙක්ස්වලට විතරක් ජීවිතයට ළං වෙන්නෙ නැතුව ආදරයත් තියෙනවා නම් හොඳයි. මුලින්ම පුද්ගලයාට ආදරය කරන්න ඕනෑ. ඊට පස්සේ අපිට ඉබේම අනිත් හැමදේම ළං කරගන්න පුළුවන්.
නිළියක් විදිහට ලැබෙන ප්රේක්ෂක ආදරේදී හුඟාක් සංවේදී හෝ දැනුණු තැන් තියෙනවද?
පහුගිය කාලයේදී කලාවෙන් මම ඈත්වෙලා හිටපු කාලයක් තිබුණා. ඒ කාලයේදී මාව මුණගැහුණු බොහෝ දෙනා “ඔයා දැන් රඟපාන්නෙ නැත්තේ ඇයි? ලංකාවේ ඔයා හිටියේ නැද්ද?” වගේ දේවල් ඇහුවා. එහෙම මාව හඳුනා ගැනීමත් එක්ක ඒ කාලය අපරාදේ කියලා මම සංවේදී වුණු අවස්ථා තිබුණා. මම ටිකක් ජනප්රිය කාලයේදීම තමයි මේ ක්ෂේත්රයෙන් අයින් වෙන්න සිද්ධ වුණේ. ඒ නිසා ඒ කාලයේදී මුණගැහුණු රසික රසිකාවියන් කතා කරපු, දුක් වුණු, සිදුවීම් එක්ක මම සංවේදී වුණා.
ආයෙත් බලන්න ආස හිතුණු ආදරණීය චිත්රපටයක් තියෙනවද?
මම හරි ආසයි කාජල් සහ ශාරුක් ඛාන් රඟපාපු “දිල්වාලේ දුල්හානියා ලේ ජායෙන්ගේ” (Dilwale Dulhania Le Jayenge) කියන චිත්රපටයට. ඒ චිත්රපටය මේ වෙද්දි පනස්දහස් වතාවකට වඩා බලලත් ඇති. ඒ තරමට මම ඒ චිත්රපටයට ආසයි. දුකක් හිතුණොත් මම ඒ චිත්රපටය බලනවා. සමහර දවස්වලට තුන් හතර වතාවක් බලන අවස්ථා තියෙනවා. මෑත කාලයේදී ලස්සන අලුත් චිත්රපට ඕනෑ තරම් ආවත් මම තාමත් කැමති ඒ චිත්රපටයටයි. යාළුවෝ එකතු වුණාම “අපි අර ෆිල්ම් එක බලමුකෝ” කීවාමත් මම ඒ චිත්රපටය බලන්නයි කැමති. ඒ නිසා ඒක මගේ යාළුවන්ටත් වදයක් වෙන අවස්ථා තියෙනවා.
ආයෙ ආයෙත් නිතරම අහන්න කැමති ආදරණීය ගීතය මොකක්ද?
මම හරි කැමතියි සුභානි හර්ෂණී අක්කා ගායනා කරන “මට දුරින් ඉඳන්” ගීතයට.
මට දුරින් ඉඳන්
නුඹ දිහා බලන්
හිත හදාගන්න තිබුණා
ආදරේ වුණත් හිත ඇතුළෙ තියන්
නොකියාම ඉන්න තිබුණා
හරි පරිස්සමෙන් රහසේම හොරෙන්
ළඟ තියාගන්න තිබුණා
පෙම බලාගන්න තිබුණා
කොහොමටත් මම ඒ ගීතය දවසකට එක වතාවක්වත් අහනවා. සමහර දවස්වලට උදේට නැගිටපු ගමන් වුණත් මම ඒ ගීතය අහනවා. ඒ තරමට මම ගීතයට කැමතියි.
පබසරාට විරුද්ධ පාර්ශ්වයකට මුලින්ම ආදරයක් ඇතිවෙද්දි වයස කීයද? ඒ ආදරය මොන වගේ හැඟීමක්ද?
මම පාසල් යන කාලයේදී නම් ආදර සම්බන්ධකමක් තිබුණේ නැහැ. අපේ අම්මා ගුරුවරියක්. ඒ නිසා මම පාසල් ගියෙත් ආයෙත් ගෙදර ආවෙත් අම්මා එක්කයි. මම අමතර පන්ති ගියෙත් නැහැ. ඒ නිසා පිරිමි ළමයි ඇසුරක් මට ඒ කාලේ තිබුණේ නැහැ. කලා ක්ෂේත්රයට ආවට පස්සෙ තමයි එහෙම මුල්ම ආදරයක් ඇතිවුණේ. එයා මේ කලා ක්ෂේත්රයේ කෙනෙක් නෙමෙයි. ඒ කාලේ මට දුරකථනයක්වත් තිබුණේ නැහැ. ඒ නිසා අම්මගේ දුරකථනයට තමයි මුලින්ම sms පවා එව්වේ. මුලින්ම අහන්නෙවත් නැතුව ඒකට “I love you” කියලා ඩෝං ගාලා sms එකක් එවලා තිබුණා.
අදටත් තිබුණා නම් හොඳයි කියලා හිතෙන අහිමිවුණු ආදරයක් තියෙනවද?
නැහැ... මම නම් හිතන්නෙ ඒ තිබුණු ආදර කතා ඔක්කොම නැතිවුණු එක හොඳයි කියලයි. ඒවා තිබුණා නම් මාවත් නැතිවෙලා යන්න තිබුණා. ඒ අහිමිවුණු ආදරය ඇත්තටම අහිමිවීම හොඳයි. සමහරු අහිමිවුණු ආදරය නිසා දුක් වෙනවා. හැබැයි මට නම් එහෙම දුකක් දැනෙන්නෙ නැහැ. මට ඒ අහිමිවුණු ආදර කතා අහිමිවුණු එක හොඳයි. මට ආයෙ ඒවා අහන්නවත් දකින්නවත් ඕනෑ නැහැ.
ජීවිතයට වැඩියෙන්ම ආදරය දැනෙන තැන්වලදී ඔයා ඒකට ප්රතිචාර දක්වන්නෙ කොහොමද?
මම ඇත්තටම ආදරේදී රැක බලාගැනීම ගැන හොයන කෙනෙක්. සමහරු “ඉන්නෙ කොහෙද? කෑවද? බිව්වද?” කියලා හොයන එක හරි වදයක් කියලා හිතනවනෙ. හැබැයි මම එහෙම වදයක් වෙන තරමට ආසයි. මම ගැන හොයලා බලනවට, උදේට ”Good morning” කියන sms එකට, රෑට ”Good night” කියන sms එකට මම හරි ආසයි. මම ගැන බලා ගැනීම අඩුයි කියලා දැනෙන තැන්වලදී හිත රිදිලා රණ්ඩු වෙනවා. ආදරය කියන්නෙ කෑවද බිව්වද කියලා අහන එකම නෙමෙයි කියලත් මම දන්නවා. හැබැයි ඒ පොඩි පොඩි දේවල් ජීවිතේ හරි ලස්සනයි.
මඟතොටකදි හෝ යම් තැනකදි ඔයා දැක්ක ආදරණීයම සිදුවීම මොකක්ද?
මෑත දවසක මම මුහුණුපොතෙන් එක්තරා සිදුවීමක් දැක්කා. ඒ වයසක ආච්චි කෙනෙකුයි සීයා කෙනෙකුයි අතින් අල්ලගෙන බෙහෙත් ගන්න යන වීඩියෝවක්. ඒ සීයා රෝහලේදී අවසන් හුස්ම හෙළුවෙත් ඒ ආච්චිගේ අතින් අල්ලගෙනමයි. ඒ වීඩියෝව දකිද්දි ඒ ආදරය ගැන මම ගොඩක් සංවේදී වුණා. මැරෙනකම්ම එක ළඟ ඉඳිද්දි ඒ ආදර කතාව කොච්චර සුන්දර වෙන්න ඇත්ද?
ආදරය ඕනෑ කියලා වැඩියෙන්ම දැනුණු තැනක් තියෙනවද?
මම ක්ෂේත්රයට ආපු කාලයේ ඉඳන්ම ආදරයක් ඕනෑ කියලා දැනුණු අවස්ථා තිබුණා. දැනුණු මහන්සිය එයත් එක්ක කතා කරලා ටිකක් අඩු කරගන්න, හිතට එන ප්රශ්න එයා එක්ක කියවන්න මට ඕනෑ වුණා. රෑටත් දෙන්නා දුරකථනයෙන් කතා කර කර නින්දට යන්න හරි කැමතියි. ඉතින් එවැනි ආදරයක් තිබුණා නම් හොඳයි කියලා හිතෙන තැන් තියෙනවා.
ආදරය නිසා හිත රිදවන අයට වෛර නොකර ඉන්න කෙනෙකුට පුරුදු කරගන්න හොඳම විදිහ මොකක්ද?
අපිට අහිමි වෙන්නෙ අපිට ආදරය නොකරන කෙනෙක්. ඉතින් අපි ඒ මනුස්සයාට වෛර කිරීමෙන් පිරිහෙන්නෙ අපිමයි. අපිට ආදරය නැති නිසයි ඒ මනුස්සයා අපෙන් ඈත් වෙන්නෙ. ඒ නිසා ඒ මනුස්සයාට වෛර කළා කියලා ඇති වැඩකුත් නැහැ. ආදරේදී නොගැලපීම් වෙන්න පුළුවන්. ඒත් ඒ ආදරය අහිමිවුණා කියලා වෛර කරන්න අපිට බැහැ.
ආදරේදී සංසාරගත බැඳීම් විශ්වාස කරනවාද?
නැහැ... මට එහෙම සංසාරගත බැඳීම් ගැන ලොකු විශ්වාසයක් නැහැ.
• දිශානි ජයමාලි